Tuesday, April 14, 2020

රිචඩ් ද සොයිසා


මා ඔහුව දැක නැත. ඔහුව ඝාතනය වන්නේ මා උපත ලබා හරියටම වසර 1යි මාස 11කුත් දින 5කට පසුවය. එහෙත් කුඩා කළ සිටම රූපවාහිනියේ සහ චිත්‍රපටවල දුටු ඔහුගේ කඩවසම් රුව, ඒ අනන්‍ය හඬ නොමැකෙන ලෙසින් මතකයේ රැඳී තිබේ.

ඔහුව මුලින්ම මට දකින්නට ලැබෙන්නේ යුගාන්තය චිත්‍රපටයේ එන මාලින් කබලානගේ චරිතය හරහාය. එකල ගම්පෙරළිය-කලියුගය-යුගාන්තය තුන් ඈදුණු නවකතා මත පදනම් වූ චිත්‍රපට ත්‍රිත්වය මගින් සාකච්ඡා කැරෙන සමාජ දේශපාලන ගැටලු පිළිබඳව අවබෝධයක් නැතත් පවත්නා සමාජ අසාධාරණයට අභියෝග කරන මුහුණ පුරා වැඩුණු රැවුලක්ද තියුණු දෙනෙතක්ද ඇති ඒ කඩවසම් තරුණයා දෙස මම ආශාවෙන් බලා සිටියෙමි. ඒ රිචඩ් ද සොයිසා බවත් ඔහු 88-89 භීෂණ සමයේදී ඝාතනයට ලක්වූ බවත් මට කියා දුන්නේ අම්මාය.

ඔහු කවුරුන්දැයි හරිහැටි කියවාගන්නට අවකාශය ලැබෙන්නේ සරසවි සමයද ඉක්මවීමෙන් පසුවය. බොහෝ දෙනා රිචඩ් ද සොයිසා ගෙනගිය මතවාදී අරගලයේ බූදලයට අයිතිවාසිකම් කියමින් ඒ මත වැජබෙනු දක්නට ලැබුණද ඔහු පිළිබඳව කියැවීමේදී ඔහු කිසිවෙකුට අයිතිවාසිකම් කිව නොහැකි අනන්‍ය භූමිකාවක සිටි අයෙකු බව පෙනී යයි.

බොහෝ නිදහස් මතධාරීන් රාජ්‍ය මර්දනයට එරෙහිව හඬ නගා එම අරගලය යම් මට්ටමකින් ජයග්‍රහණය කිරීමෙන් පසුව ජයග්‍රාහී කඳවුරේ කොටස්කරුවන් වී වරප්‍රසාද ලබා පෙර තිබූ මර්දනයම වෙනත් මුහුණුවරකින් ක්‍රියාවට නගනු දක්නට ලැබේ. එවැනි අවස්ථාවාදීන්ට රිචඩ් ද සොයිසාට හිමිකම් කීමේ සදාචාරාත්මක අයිතියක් නැති බව මගේ හැඟීමයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පීඩිතයා වෙනුවෙන් රට කරවූ අවස්ථාවක් නැත. සෑම අවස්ථාවකදීම සිදුවූයේ පීඩිතයා වෙනුවෙන් පෙනී සිටින බව කියන පීඩකයන්, පීඩිතයාගේ ලේ, කඳුළු, දහදිය මතින් රට කරවීමය. එය රජ දවස එළිපිටමද, මෑත ඉතිහාසයේ සිට වර්තමානය දක්වා වඩාත් සූක්ෂමව පීඩිතයා රවටමින්ද ක්‍රියාවට නැගේ. රිචඩ් ද සොයිසා එරෙහි වූයේ එම ජරාජීර්ණ වූ ක්‍රමවේදයට බව මගේ මතයයි.

ඒ අනුව වර්තමානයේ රිචඩ් ද සොයිසා ජීවත් වුවද, ඔහුගේ අතීත කල්ක්‍රියාව පවත්වාගත්තේ නම වැඩි ඉඩක් ඇත්තේ සාම්ප්‍රදායික ඊනියා දේශප්‍රේමීන් විසින් එදා මෙන්ම අදද ඔහුව එන්.ජී.ඕ කාරයෙකු ලෙස හංවඩු ගැසීමට පමණි. එක්කෝ ඔහුව වාසුදේව නානායක්කාර මෙන් මර්දකයා විසින් අවශෝෂණය කරගන්නට තිබිණි. නැත්නම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, සුනිලා අබේසේකර වැනි අය මෙන් අධිපති මතවාදය සමග සිටගැනීම ප්‍රතික්ෂේප කිරීම මත මුළුගන්වනු ලැබීමට ඉඩ තිබිණි. ඊට වෙනස් මාවතක රිචඩ් ද සොයිසා ගමන් නොකරනු ඇතැයි කීමට නොහැකි. නමුත් එදා සිටි නිදහස් මතධාරීන් සියළුදෙනාම පාහේ අද වනවිට අඩු වැඩි වශයෙන් ඉහත කී මාවත් දෙකෙන් එකක ගමන් කරමින් සිටින බව පෙනේ.

කෙසේ වෙතත් ඔහු ජීවත්ව සිටියේ නම් කෙසේ වනු ඇත්දැයි අස්ථිර පුරෝකථන සිදුකරනවාට වඩා ඔහු එදා පෙනී සිටි භූමිකාව හරිහැටි අවබෝධ කරගැනීම වැදගත් වේ.

මාධ්‍යවේදියෙකු, දක්ෂ සහ ආකර්ශනීය නිවේදකයෙකු, කඩවසම් නළුවෙකු, නිදහස් මතධාරියෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙස ඔහුගේ පරපුර මුළුදුන් මාවත අදටත් අධිපති මතවාදයෙන් බැහැර වූවක් බව මට හැඟේ.

එබැවින් රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කර වසර 30ක් සපිරෙන අද දිනයේ ඔහු වෙනුවෙන් සිදුකළ හැකි උසස්ම උත්තම පූජාව වන්නේ, එදා ඔහු නියෝජනය කළ අධිපති මතවාදයේ මර්දනයට එරෙහි, ජනප්‍රිය නොවූ මතවාදය ශක්තිමත් කිරීම වේ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...