සුළං
පොදක් නැති දැඩි අව් රශ්මියෙන් පමණක් මාස ගණනක් තිස්සේ පහස ලද පොළෝ තලය
කබලේ ලා පිසූ රොටියකට නොදෙවෙනිය. ඒ මත තැන තැන ඇදහැලී වියැලී ගිය තේක්ක
කොල, කොස්කොල ඔහු රහසේ යන ගමනට සිතාමතා ස්වභාව ධර්මයා යෙදූ බාධාවක් වැනිය.
වියලි කොළ මත අඩිය තබන විට නැගෙන කරස් කරස් හඩට සිතින් බණිමින් වරින් වර
නිවෙස දෙසද හොරෙන් බලමින් හේ ලන්ද මැදින් පියමනින්නට වන්නේය.
අඩි දෙකහමාරක් පමණ දිග මන්නා පිහිය අතට ගත්තේ නම් මැනවැයි ඔහුට සිතුණි.
නමුත් ඒ සදහා කුස්සියට යාබද ගබඩා කාමරයට යා යුතු වෙයි. තමා කරන්නට හදන
සන්තෑසිය ගෙදර අනෙක් උදවිය සැළවීමට එයම ප්‍රමාණවත් වනු ඇත. ඒ වෙනුවට ඔහු
තෝරාගත්තේ වසර දහයක් පමණ පාවිච්චි කිරීමෙන් එක කෙළවරක් බාගෙට ගෙවී ගිය
ක්‍රිකට් පිත්තකි. එයද ප්රමාණවත්ය. බරද හොදය. දැඩි පහරක් දීමට ඕනෑවටත් වඩා
ඇතිය.
ඔහුගේ සීයා ජීවතුන් අතර සිටි සමයේ මේ ලන්ද මැදින් කුඩා
අඩිපාරක් තිබුණද දැන් එය බොහෝදුරට වැසී ගොස්ය. මානා පදුරු මැදින් අසීරුවෙන්
යන ගමනට වඩා කාපට් දමා මනාව සකසන ලද පාරේ ගමන් කිරීමට දැන් මිනිසුන්
කැමතිය. නමුත් තවමත් ඉදහිට කසිප්පු බූලියක් රැගෙන හොර රහසේ දිවයන එකෙකු
දෙන්නෙකු නිසාවෙන් අඩි පාරේ සේයාව නොමැකී තිබෙනු ඔහු නිරීක්ෂණය කළේය. පාරට
නැමී ඇති මානා පදුරු වලට ක්‍රිකට් පිත්තෙන් තලමින් හේ ගමන වේගවත් කලේය.
ඇත්දත් ආර හන්දියට තව මීටර් සියයක් පමණ වෙයි. බාධා රහිත කෙටි මාවතකනම් එය
ඔහුට තත්පර විස්සක පමණ දුරකි. නමුත් මේ ලන්ද මැදින් යන විට විනාඩි එකහමාරක්
පමණ ගතවීම නොවැලැක්විය හැක්කකි. ඊයේ දිනයේ ඔහුට ඉලක්කය මගහැරුණේ අන්තිම
තත්පරයේය. ඊයේ ඔහු අත වූයේ පොල් බිදීමට ගන්නා දැවැන්ත වක් පිහියයි. එය
ඔසවාගෙන දිවීම අපහසු බව ඔහුට පසක් වන විට පමා වුණා වැඩිය. ඉලක්කය ඔහුගෙන්
මිදී පලාගොස් අවසානය.
දෙවැට පාරවල් හතරක් මුණගැසෙන හන්දියක් වුවද
කිසිවෙකු නැති පාළු තුරු ගොමුවෙන් වැසුණු ඇත්දත් ආර හන්දිය තම දඩයමට උචිතම
ස්ථානය බවට ඔහු තෝරාගත්තේ බොහෝ කල්පනා කිරීමෙන් පසුවය. නමුත් එක් දිනක්
ඔහුට ගොදුර මගහැරී තිබුණි. අද කෙසේ හෝ දෙකින් එකක් බේරාගත යුතුමය. හිත දැඩි
කරගත් හේ ක්‍රිකට් පිත්තේ මිට දකුණතින් දැඩිව ග්‍රහණය කරගෙන මානා පදුරු
වලට වේගයෙන් තලමින් ගමන ඉක්මන් කලේය.
දඩබිමට යාර 20ක් පමණ
තිබියදී ගොදුර ළගා වන බව ඔහුට දැනුණේය. අවසාන යාර විස්ස දිවීමට සිදුවනු ඇත.
නැතහොත් මෙතෙක් වෙහෙස මහන්සියෙන් සිදුකළ සියලුම සැළසුම් අදත් අපතේ යයි. මේ
අවස්ථාව එළඹෙන්නේ තවත් පැය 24කින් බව ඔහු දනී. එය ඔහුගේ සිතේ රැදි දැඩි
කෝපාග්නිය සමග ඉවසා සිටීමට නොහැකි කාලයකි. අදම කෙසේ හෝ මෙහි දෙකින් එකක්
බේරාගත යුතුමය.
ත්‍රීරෝද රථයේ දඩ දඩ ශබ්දය සෙමෙන් සෙමෙන් ඇසෙද්දී
ක්‍රිකට් පිත්තේ මිට දැඩිව ග්‍රහණය කරගත් හේ ඇති වැර යොදා දුවන්නට විය.
අදත් ඔහුට දඩයම මගහැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව දැනී ඔහුට දත්මිටි කැවුණි.
එසේ වුවහොත් නිදි වර්ජිතව ගතකරන තවත් රාත්‍රියකට සූදානම් වීමට සිදුවේ. එය
වීමට ඉඩ දිය නොහැක. හේ වේගය වැඩි කළේය. දැන් ත්‍රීරෝද රථයේ වම් පස ඔහුට ගස්
අතරින් පෙනේ. තව ඇත්තේ මීටර් පහක පමණ දුරකි. නමුත් තමා ඒ දුර පසුකිරීමට
පෙර ඉලක්කය ඔහු පසුකර යා හැකිය.
අවදානමක් ගනිමින් දුර සිට පහර
දීමට ඔහු තීරණය කළේය. දුවන වේගය මදක් හෝ අඩු නොක දැඩිව ග්‍රහණය කරගත්
ක්‍රිකට් පිත්ත හිසවට කරකැවූ ඔහු එය ඇති වෙර යොදා දමා ගැසුවේය. මා තලය
කපාගෙන වේගයෙන් පිත්ත ඇදී යනවා ඔහු බලා සිටියේය. ඒ මත ඇති කඩතොළු වූ තැන්
වලට හුළං බැදීම නිසා ඇසෙන සියුම් සරසරය පවා ඔහුට ඇසුණේය. පිත්ත අතින්
ගිලිහී ගොස් ඉලක්කයට ළගා වනතුරු ඇති තත්පරයකටත් අඩු කාලය ඔහුට පැයක් මෙන්
දැනුණි.
සුළග කපාගෙන වේගයෙන් ඇදීගිය ක්‍රිකට් පිත්ත ඉලක්කය
හන්දිය පහු කිරීමට තත්පරයෙන් දහයෙන් එකක කාලයකට ප්‍රථම මහ හඩක් නගමින්
ත්‍රීරොද රථය ඉදිරියේ බිම පතිත විය. ඒ සමගම බියපත් වූ රියකරු කරාස් හඩින්
තිරිංග තද කරනු ඔහුට ඇසුණි. ඒත් සමගම දිව ආ වේගය පාලනය කරගැනීමට නොහැකි වූ
ඔහු බොරළු කැට දෙකතුනක් මත පය තැබුවේ ලිස්සා ගොස් ක්‍රිකට් පිත්ත අසළම බිම
පතිත විය. වම් දණහිස බිම ඇතිල්ලී ලෙලි ගැසුණු බවද දකුණු වැළමිට අසළද සමේ
පදාසයක් ගැලවී ගිය බවද ඔහුට දැනුණි. නමුත් මේ එවැනි දේගැන ළතැවීමට කාලය
නොවේ. ඔහු ත්‍රීරෝද රථය නවත්වා ඇත. කෙසේ හෝ නවත්වා ඇත. අසළ තිබූ ක්‍රිකට්
පිත්ත නැවත ග්‍රහණය කරගත් හේ වහා නැගීසිට රියකරුගේ මුහුණ දෙස කෙලින්
බැලුවේය.
රියකරුගේ මුහුණ සන්ත්රාසයෙන් පිරී තිබෙනු ඔහුට
ත්‍රීරෝද රථයේ වා මුවාව අතරින් පෙනුණි. ඔහු කෝපයට පත්වී ඇති සේය. ඔහුටත්
අවශ්‍ය රියකරුගේ කෝපයයි. ත්‍රීරෝද රථයේ එන්ජිම නැවැත්වූ රියකරු මුහුණේ වූ
සන්ත්රාසය උපහාසාත්මක පුදුමයකට පෙරලා ගනිමින් රියෙන් බැස්සේය.
"මොකද යකෝ පිස්සෙක් වගේ හැංගිල ඉදළ වාහන වලට බැට් වලින් දමල ගහල හරකෙක් වගේ පාරට පනින්නෙ? උඹට පිස්සුද?"
රියකරුගේ හඩෙහි යම් කෝපයක් මෙන්ම උපහාසයක්ද ගැබ්වී ඇති බව ඔහුට දැනුණේය.
දැන් සැලෙන්නට වේලාව නොවේ. ඔහු සටනින් අමාරු කොටස ජයගෙන ඇත. ඉතිරි කොටස
ඇත්තටම පහසුය. හේ තවත් තදින් ක්‍රිකට් පිත්තේ මිට ග්‍රහණය කරගෙන ක්‍රිකට්
පිත්ත ඔසවාගෙන රියකරු දෙසට යන්නට විය. හරියටම රියකරුට යාරයක් පමණ තිබියදී
පිත්ති වේගයෙන් කරකැවූ ඔහු එය පාර අයිනට විසිකර දැම්මේය.
"අයියෙ කිඹුලා බනිස් නැද්ද?"
වෙහෙස මහන්සිය නිසා වෙව්ලන කටහඩින් ඔහු ඇසුවේය.
"තියෙනවා. කීයක්ද ඕන?"
රියකරු මුඩුම මුහුණ ඉවත් කොට සිනාවක් නගාගෙන චූං පාං ත්‍රීරෝද රථයේ පසුපස කොටසට ගමන් කලේය.
"දෙකක් අයියෙ"
කියමින් සාක්කුවට අතදැමූ ඔහු සාක්කුවේ උණ්ඩි කොට තිබූ රුපියල් විස්සේ කොල තුනක් ගෙන චූං පාං රියදුරුට පෑවේය.
"අයියා මේ හරියෙන් යනකොට හෝන් එක ගහන්නෙ නෑනෙ. මට හැමදාම මිස් වෙනව. ඊයෙත් මිස් වුණේ තප්පරෙන්."
"මේ හරියෙ ගෙවල් නෑනෙ මල්ලි ඇත්දත් ආරෙන් එහාට තමා හෝන් එක ගහන්නෙ ඒක
හින්ද. මම හෙට ගහන්නම්කො. ඔය තුවාල වලට නම් බෙහෙත් දාගන්න වෙයි. ලෙලි
ගිහින් නේද?"
කියමින් මද රස්නය ඇති කිඹුලා බනිස් දෙකක් ෂොපින් උරයක දමා
ඔහුට දුන් රියකරු උණ්ඩි වුණ රුපියල් විස්සේ කොල තුන පරිස්සමින් දිගහැර
පසුම්බියේ තැන්පත් කරගෙන රථය පණගැන්වීය.
ඇත්දත් ආර හන්දිය
පසුවනවාත් සමගම බීතෝවන් ගේ ෆර් එලයිස් නාදය මහ හඩින් නගමින් චූං පාං රථය
ඈතට ඇදී යනු බලමින් කිඹුලා බනිසයක් එළියට ගත් හේ එයින් ලොකු පළුවක් කඩාගෙන
කමින් ක්‍රිකට් පිත්තද අහුලාගෙන නිවස කරා පියමනින්නට විය.
නිමි
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙ...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
-
රත්න ශ් රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්...

No comments:
Post a Comment