Monday, April 13, 2020

තිස්ස ජනනායකට ගල්ගැසීම

තිස්ස ජනනායක දිවයිනේ ජනප්‍රිය ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු ලෙස මා හඳුනාගෙන සිටියේ නැත. මා ඔහු හඳුනාගන්නේ බොහෝ ටියුෂන් ගුරුවරුන්ට මෙන්ම තමා කියන ⁣දේ අසන්නාගේ මනසේ අසන පමාවෙන් ධාරණය වන ලෙස කිවහැකි කෙනෙකු ලෙස youtube සමාජ ජාලය හරහාය.

ඔහු විසින් ඇතැම් අවස්ථා වල කියන දේ සම්බන්ධයෙන් මම එකඟ නොවුණද යමක් පැහැදිලි කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ඔහු සතු ප්‍රතිභාව මම අගය කරමි. රස විඳිමි. ඔහුගේ ප්‍රකාශ තුලින් උකහා ගතහැකි යමක් වේනම් උකහා ගැනීමට කිසි සේත් මැළි නොවෙමි.

පසුගිය දින කීපය පුරා තිස්ස ජනනායක එජාප පාක්ෂිකයන්ගේ ඉලක්කයක් වී ඇති අයුරු දුටුවෙමි. ඒ MCC ගිවිසුම සම්බන්ධයෙන් ඔහු සිදුකරන ලද විග්‍රහය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර ඇති එකී ගිවිසුම සමග පරස්පර බව හෙළිදරව් වීමත් සමගය.

මේ හේතුවෙන් තිස්ස ජනනායකට අවලාද නගන්නෝ, පෞද්ගලික මට්ටමින් පවා අපහාස කරන්නෝ පමණක් නොව නම් පටබඳින්නන් පවා සමාජ ජාලා වල දුටුවෙමි.

මෙතැනදී MCC ගිවිසුම සම්බන්ධයෙන් දුර්මත පැතිර යාම සහ ආන්දෝලනයක් ඇතිවීම සම්බන්ධයෙන් පූර්ණ වගකීම එජාප ආණ්ඩුව විසින් භාරගත යුතුය. ඔවුන් මෙහිදී වැරදි තුනක් කලෝය.

1. ජනාධිපතිවරණය අස්සේ මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට යොදාගැනීම.
2. ගිවිසුමේ සිංහල හා දෙමළ භාෂාවලින් වන පිටපත් සමාජගත කළයුතු බව නොසළකා හැරීම.
3. ගිවිසුම, එහි සඳහන් කොන්දේසි සහ ඊට අදාළ අනෙකුත් ආනුෂංගික කාරණා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් නොපැවැත්වීම.

ඉහත හේතු මත ගිවිසුමේ සඳහන් කරුණු රටට හිතකර වුවද අහිතකර වුවද මැතිවරණයක් ආසන්නයේ එය විරුද්ධ පක්ෂ සහ ඊට සම්බන්ධ කණ්ඩායම් විසින් විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරන බව ආණ්ඩුව කල් ඇතිව දැකිය යුතුව තිබුණි.

එජාප පාක්ෂිකයන් තිස්ස ජනනායකට අපහාස අවලාද නැගීම තුල සම්පූර්ණයෙන්ම ඇත්තේ දේශපාලන කුහක කමකි. එය සිදු නොකළයුතු දෙයකි. මන්ද දෝෂය ඇත්තේ ඔවුන් ප්‍රධානත්වය දරණ ආණ්ඩුව සහ එම පක්ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණය තුලමය.

මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයක් තුල වැඩි වැඩි වශයෙන් මතවාද සමාජගත කරන මිනිසුන් තම දේශපාලන ව්‍යාපාරයට දිනාගැනීමත්, තමන්ට අවශ්‍ය පරිදි සමාජ මතය සැකසීමට අවශ්‍ය දේශපාලන බුද්ධිමය අවි ආයුධ වලින් ඔවුන් සන්නද්ධ කිරීමත් අත්‍යවශ්‍ය කරුණකි. එය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කටයුත්තකි.

එක්සත් ජාතික පක්ෂය මෙය අවබෝධ කරගත්තේ නැත. මා පෙර ලිපියක දක්වන ලද පරිදි ඔවුන් විසින් ජනතා මතය හැඩ ගැස්වීමේදී මධ්‍යම පංතියේ භූමිකාව, විශේෂයෙන්ම උගතුන්ගේ භූමිකාව සළකන ලද්දේ ඉතා සැහැල්ලුවෙනි. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය මැනවින් අවබෝධ කරගෙන ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කරන ලදී.

තිස්ස ජනනායකගේ සුවිශේෂී වෙනසක් නැත. ඔහු පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වියත්මග, එළිය වැනි වැඩසටහන් හරහා සන්නද්ධ කරන ලද ටියුෂන් ගුරුවරුන් සැළකියයුතු ප්‍රමාණයක් තම තමන්ගේ පන්ති සහ දේශන ශාලා වලදී තම දේශපාලන මතවාදය සිසුන්ට කාවැද්දීම සඳහා අවම වශයෙන් පැය භාගයක් පමණ වෙන්කරති. පාඩම අතරතුරදී කියන අතුරු කතා රට, ජාතියෙන් සහ ආගමින් පටන්ගෙන ගෝඨාභයගෙන් ඉවර කරන ටියුෂන් ගුරුවරු ගණනාවක් මම පුද්ගලිකවම දනිමි. තිස්ස ජනනායක ඇතුළු එම පිරිස ඉටුකරන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන ව්‍යාපෘතියකි. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත්කල එහි කිසිදු වරදක් මා දකින්නේ නැත.

ඒ හරහා සිසුන්ගේ මනස දේශපාලනිකව හැඩ ගැස්වීමටද, ඔවුන් හරහා ඔවුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ ඥාති හිතවතුන් ආමන්ත්‍රණය කිරීමට ඔවුන් සමත් වී තිබේ. තිස්ස ජනනායකගේ එකම වෙනස ඔහු පන්ති වල කියන ඇතැම් දේ වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහැරීම පමණි. ඒ හරහා ඔහු තමාගේ ශ්‍රාවක පිරිස සැළකියයුතු ලෙස වර්ධනය කරගෙන තිබේ.
එය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී, විනිවිද පෙනෙන, සාමකාමී, අතිශය ඵලදායී දේශපාලන උපක්‍රමයකි. තිස්ස ජනනායක එය හොඳටම ඉටු කරන්නෙකි.

එජාපයට එවැනි වැඩපිළිවෙලක් නොමැති වූවාට තිස්ස ජනනායක පලි නැත. ඔහුට බැණීම හා අපහාස කිරීම තම යාන්ත්‍රණයේ ඇති අඩුපාඩුව වසාගැනීමට අනුන්ට බණින අතිශය දරදඬු දේශපාලන කුහක කමක් වන්නේ එබැවිනි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...