Monday, April 13, 2020

හරිම ක්‍රමය

ඒ 2005/06 වසරයි. මම රඹුක්කන පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ අංශයේ 12 ශ්‍රේණියේ උගනිමින් සිටියෙමි. 2004 අ.පො.ස සාමාන්‍යපෙළ විභාගය අවසාන වූ වහාම වාණිජ විෂය ධාරාවෙන් උසස්පෙළ පංති සදහා සහභාගි වූයෙමි. එමෙන්ම පාසැලේ උසස්පෙළ පංති ඇරඹෙන තුරු දවසක් ඇර දවසක් රඹුක්කන රෝහල හංදියේ පිහිටි එවකට හෙල්ත් වොච් (දැනට කප්තුර) ක්‍රීඩාගාරයේ කාය වර්ධන අභ්‍යාස වල නිරත වූයෙමි. මම අධ්‍යයන කටයුතු වලට මෙන්ම කායවර්ධන අභ්‍යාස සදහාද දැඩි රුචිකත්වයක් දැක්වූයෙමි. එම අභ්‍යාස වල නිරන්තරයෙන් යෙදීම පුද්ගලයෙකු තුල ඒ සදහා යම් ඇබ්බැහියක් නිර්මාණය කරයි. එනම් සාමාන්‍යයෙන් අභ්‍යාස කරන දිනයක එසේ කරන වේලාවක අභ්‍යාස කිරීම අතපසු වුවහොත් ශාරීරිකව මෙන්ම මානසිකවද යම් අපහසුවක් දැනේ. මෙය කායවර්ධන ක්‍රීඩාවට පමණක් නොව වෙනත් ඕනෑම ශාරීරික මානසික අභ්‍යාසයකටද පොදු දෙයකි.

ඒ අනුව පාසැලේ උසස්පෙළ පංති ආරම්භ වන කාලය වන විට මම සති අන්තයේ උසස්පෙළ වාණිජ විෂය ධාරාවේ පංති සදහාද සතියේ දිනවල සදුදාට බදාදාට සහ සිකුරාදාට කායවර්ධන අභ්‍යාස සදහා ක්‍රීඩාගාරයටද යාමට පුරුදුව සිටියෙමි. එම කාලසටහන මට ඉතා හොදින් ගැලපුණා පමණක් නොව මා ඉතා සෞඛ්‍ය සම්පන්න වයසට සාපේක්ෂව ගත්කල ඉතා නිරෝගී ශක්ති සම්පන්න පුද්ගලයෙකු බවටද පත්කලේය. කිසිදු පාඩමක් අතපසු වූයේද නැත.

නමුත් පාසැලේ උසස්පෙළ පංති ආරම්භ වීමත් සමග ඒ සියල්ල වෙනස් විය. 13 ශ්‍රේණියේදී පෞද්ගලික පුනරීක්ෂණ පංති සදහා සතියේ දිනවල සහභාගි වීමට සිදුවන හෙයින්ද උසස්පෙළ විභාගයට පෙනී සිටීම සදහා 80% ක පැමිණීම පාසැලෙන් සළකා බලන හෙයින්ද 12 ශ්‍රේණියේදී හැකි සෑම දිනයකදීම පාසැල් යා යුතු විය. මට පහසුවක් සහ අමතර උපකාරයක් වනු ඇතැයි සිතා අප්පච්චි විසින් අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දෙදින හවස්වරුව සදහා ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණ විෂයයන් සදහා තවත් අමතර උපකාරක පංති දෙකක්ද සූදානම් කරන ලදී. සදුදා බදාදා සහ සිකුරාදා දිනවල පස්වරුවේ පුරුද්දක් ලෙස මා ඉතා ආශාවෙන් කරගෙන ආ කායවර්ධන අභ්‍යාස වල යෙදීම අතහැරීමටද මගේ කිසිදු කැමැත්තක් නොවීය. ඒ අනුව පාසැල් පටන්ගැනීමත් සමගම මගේ මුළු සතියම අධික ලෙස කාර්ය බහුල වී ගියේය.

සදුදා බදාදා හා සිකුරාදා දිනවල පස්වරුවේ කායවර්ධන අභ්‍යාස කිරීම හේතුවෙන්ද අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පස්වරුවේ අමතර උපකාරක පන්ති හේතුවෙන්ද මට සෑම සතියේ දිනකම නිවසට යාමට සිදුවූයේ බොහෝ වෙහෙස වී හවස 5.30ට රඹුක්කනින් පිටත් වූ බස් රථයෙනි. එයින් නිවසට යන විට පස්වරු 6.00 වීම සාමාන්‍යය. ඒ අනුව නැවත අධ්‍යයන කටයුතු වල යෙදීමට හෝ යටත් පිරිසෙයින් පොතක් පතක් කියවීමටවත් මට ඉස්පාසුවක් සතියේ දින වල නොමැති තත්වයක් නිර්මාණය විය.

සති අන්තවල සෙනසුරාදා මුළු දිනයම සුපුරුදු පරිදි උසස්පෙළ වාණිජ සිද්ධාන්ත පන්ති සදහා වෙන්විය. ඉරිදා දිනය සම්පූර්ණයෙන්ම aat පාඨමාලාවට අදාළ පංති සදහා වෙන්කල යුතු විය. ඒ අනුව ඒ දෙදිනම මා නිවසට එනවිට පස්වරු 6 පසුවන අතර සතියේ දින හතම නිවසට පැමිණෙන්නේ අධික වෙහෙසට පත්ව හෙම්බත් වීගෙනය.

එහි ප්‍රතිඵල ක්‍රම ක්‍රමයෙන් මට දැනෙන්නට විය. සති අන්ත පන්ති වලදී අධික වෙහෙස නිසා පන්ති වල නින්ද යාම ආරම්භ විය. ඉන්පසු කෙමෙන් කෙමෙන් පංතිවල එවේලේ උගන්වන දෑ එවේලේ ධාරණය කරගැනීමට මට තිබූ හැකියාවද ක්‍රම ක්‍රමයෙන් හීන වන බව පෙනුණි. නමුත් මාගේ කාර්යබහුල රටාව අතහැරීමට මා කැමති වූයේ නැත. එය මට කළ හැකිය යන අධිෂ්ඨානයෙන් මුරණ්ඩු ලෙස එම කාල සටහනේම එල්බ සිටියෙමි. ඒ වෙනුවෙන් මගේම සිරුරට බොහෝ පීඩා කළෙමි. මාගේ ප්‍රතිඵල කෙමෙන් කෙමෙන් පහළට යන බව මට දැනී ගියේය. එය වඩාත් තදින් දැනුණේ ආර්ථික විද්‍යා දේශක ජයවීර සමරසිංහ මහතාගේ පංතියේ පැවැති විභාගයකින් මට අඩු ලකුණු ලැබීමත් සමගය. ඊට මසකට පමණ පෙර පැවති විභාගයෙන් මම ලකුණු 92.94ක් ලබා පංතියේ පළමු වැනියා වී සිටියෙමි. එම තත්වය මගේ බලවත් නොසතුටට හේතු විය. දැන්නම් කුමක් හෝ කළ යුතුමය.

ඒ පිළිබදව බොහෝ දුරට සිතා බැලුවෙමි. කායවර්ධන අභ්‍යාස මා එවෙලේ සිදුකරමින් සිටි දේවල් වලින් විවාදයක් නොමැතිවම මා වැඩිම කැමැත්තකින් කළ දෙය විය. නමුත් එය තවදුරටත් කරගෙන යාම ගැටලු සහගත බවත් මේ මොහොතේ ප්‍රමුඛතාවය වියයුත්තේ උසස්පෙළ විභාගය බවත් වටහා ගත්තෙමි. ඒ අනුව සතියේ දිනවලින් සදුදා බදාදා සහ සිකුරාදා දිනවල හවස් වරුව නිදහස් කරගත් මම 2ට පාසැල ඇරුණු පසු ගෙදර යාමට නැවතත් පුරුදු වීමි.

අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා අමතර උපකාරක පන්ති දෙක පවත්වන ලද්දේ මා හට බෙහෙවින් උදව් උපකාර කළ මාගේ ආදරණීය ගුරුතුමන්ලා දෙදෙනෙකු මෙන්ම අප්පච්චිගේද සමීප හිතවතුන් දෙදෙනෙකු විය. එබැවින් එම පංති මට අනවශ්‍ය බරක් වුවද එය අනවශ්‍යයැයි පැවසීමෙන් ඔවුන්ගේ සිත රිදෙනු ඇතැයි බියක් මට ඇතිවිය. නමුත් කළ යුත්ත කළ යුතුමය. මම ඒ පිළිබදව අප්පච්චිට පැවසුවෙමි. එම පංති අනවශ්‍යනම් නවත්වන ලෙස කී අප්පච්චි මා වෙනුවෙන් ඒ ගුරුතුමන්ලා දෙදෙනාට ඒ බව දන්වන බව කීවේය.

අධික කාර්ය බහුලත්වයකින් පිරුණු මගේ සතියේ දින පහේම පස්වරුව මම ඒ අයුරින් නිදහස් කොටගත්තෙමි. ප්‍රතිඵල සැබැවින්ම පෙනෙන්නට තිබුණි. අඩු මහන්සියකින් වැඩිම වැඩ කොටසක් කිරීම වඩාත් උචිතම ප්‍රතිපත්තිය බව පසක් විය. මගේ කාර්යසාධනය නැවත ඉහළ ගියේය. නැවතත් පංතියේ ඇසෙන සියල්ල එලෙසින්ම මතක තිබෙන පුදුම ශිෂ්‍යයෙකු බවට පත්වීමි. එය මාගේ බලවත් ආත්ම තෘප්තියට හේතු වූවා පමණක් නොව උසස් පෙළ විභාගය සදහා මගේ ආත්ම විශ්වාසයද වැඩි කළේය.

නොබෝ කලකින් aat ආයතනයේ අන්තර්මධ්‍ය විභාගයෙන්ද සමත් වීමි. අවසාන විභාගය උසස්පෙළින් පසුව සිදුකිරීමට ඉටාගත් මගේ ඉරිදා දවස ඒ අනුව 13 වසරට එළඹීමත් සමගම වාගේ නිදහස් විය. ඒ අනුව සතියේ දිනවල අගහරුවාදා බදාදා සහ සිකුරාදා පුනරීක්ෂණ පංති වලට සහභාගි වූ මම සදුදා සහ බ්‍රහස්පතින්දා පමණක් පාසැල් ගියෙමි. ඒ අතරින් බ්‍රහස්පතින්දා දිනයේ විද්‍යාලයීය වාණිජ විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස එම වගකීමද ඉටුකළෙමි. එම සමිතියේ බොහෝ දෙනා කීවේ සිංදුය. එය ආචාර්ය මණ්ඩලයේ නොසතුටට හේතු වූ හෙයින් විෂයානුබද්ධ කතා න්‍යාය පත්‍රයට ඇතුලත් කරගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. එබැවින් ඇතැම් දිනවල සමිතිය උප සභාපතිවරයාට මෙහෙයැවීමට දී මම සමිතියට වෙන්වූ කාලඡේදය සම්පූර්ණයෙන්ම විෂයානුබද්ධ මාතෘකාවක් ඔස්සේ කතා කළ අවස්ථාද තිබුණි.

සති අන්තයේ සෙනසුරාදා පුරුදු පරිදි සිද්ධාන්ත පංති සදහා සහභාගි වූ අතර ඉරිදා දිනයේ කිසිදු වැඩක් යොදාගැනීමෙන් වැලකී සිටියෙමි. එය මා උසස්පෙළ විභාගයට පෙනී සිටින කාලය දක්වාම සම්පූර්ණයෙන්ම හිස්ව තබාගතිමි. එදින කිසිවිටෙක පාඩම් නොකළෙමි. බරපතළ වැඩ කිසිවක් නොකළෙමි. කැමති කතාන්තර පොතක් කියවමින් හෝ චිත්‍රපට නරඹමින් දවස ඔහේ ගෙවා දැමුවෙමි. එය මනසේ නිරවුල් බවක් ඇතිවීමට බෙහෙවින් ඉවහල් විය. සතියේ ඉතිරි දින හය අධික ලෙස වෙහෙසීම ඉරිදා විවේකයෙන් සමබර වී ගියේය.

විභාගය ආසන්න වනවිට ඉරිදා හැර අනෙක් දින හයම වෙහෙස වී පාඩම් කළෙමි. බොහෝ විට එම දින හයම පංති පැවැත්වුණි. ඒවා අවසන් වී මා හවස 6ට නිවසට එන විට අම්මා රාත්‍රී ආහාරය සූදානම් කොට තැබුවාය. එය වහා අනුභව කළ මම පැය හතරක දෛනික නින්ද සදහා ඇදට පිවිසියෙමි. ඉන්පසු රාත්‍රී 10ට අවදි වී පසුදා පහන් වනතුරු එක දිගට අධ්‍යයන කටයුතු වල යෙදීම මගේ එදා සිරිත විය. (මාගේ විශ්ව විද්‍යාල සගයන් ඇතැම්විට මා උසස්පෙළට පාඩම් කළ අකාරය මෙය යැයි විශ්වාස නොකරනු ඇත. නමුත් සත්‍යය එයයි. සටහන එක්වරක් පමණක් කියවා විභාගය සමත් වීමේ කලාව මා උසස්පෙළදී හදුනාගෙන තිබුණේ නැත)

අදද මේ අතීතය පිළිබදව කල්පනා කරන විට සිහියට නැගෙන කරුණක් වන්නේ එක්කෝ මා බොහෝ ආශා කළ කායවර්ධන අභ්‍යාස කිරීම අතහැර දැමීම ප්‍රතික්ශේප කොට මුරණ්ඩු ලෙස එයට එල්බ සිටියේ නම් හෝ පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා යනු මිනිසෙකු නිදාගන්නා වෙලාවක් නොවේය යන මතයේ මුරණ්ඩු ලෙස එල්බ සිටියේ නම් අද මේ සටහන මට ලියන්නට සිදුවන්නට තිබුණේ බොහෝ විට මීට වඩා සැළකියයුතු ලෙස වෙනස් මිනිසෙකු ලෙසය.

අවශ්‍ය සහ ගැලපෙන අවස්ථා වලදී අවශ්‍ය සංශෝධන කරගත යුතුවේ. තමන්ගේ පෞද්ගලික සීමාව තුල හරි ක්‍රමය කියා දෙයක් ලොව නැත. තමාට වඩාත්ම පහසුවෙන් අඩුම වෙහෙසකින් උපරිම ඵලදායීතාවයක් ලැබිය හැකි ක්‍රමය කුමක්ද? නොවැරදීම එයයි හරිම ක්‍රමය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...