Monday, April 13, 2020

බුද්ධ ධර්මය හා බෞද්ධ සාහිත්‍යය

බුද්ධ ධර්මය සහ බෞද්ධ සාහිත්‍යය කියන්නෙ පැහැදිලිවම එකක් නොව දෙකක්. බුදුන්ගේ ඉගැන්වීම් ඇතුලත් වෙන්නෙ බුද්ධ ධර්මය තුල. ඒවා බුදුන් විසින් දේශනා කරන ලදුව පසු අවස්ථාවක ග්‍රන්ථාරූඪ කරන තෙක් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආපු බුද්ධ දේශනා.

බෞද්ධ සාහිත්‍යය තුල බුදුන් වහන්සේගේ ජීවිත කතාව මෙන්ම උන්වහන්සේ ජීවිතයේ මුහුණදුන් විවිධ සිදුවීම් ගැන කතාන්තර ඇතුලත්. ඒවත් ඇවිත් තියෙන්නෙ මුඛ පරම්පරාගතව තමයි.
බෞද්ධ සාහිත්‍යය තුලදි පශ්චාත් බුද්ධ කාලීන භාරතයේ පැවති අනෙකුත් ආගමික දර්ශනයන් සමඟ බුදු දහම එක් එක් තල වලදි සමපාත කරන්නට දරපු උත්සාහයන් පේන්න තියෙනව. එක විදියකින් බමුණු දහම් තුල ඇතැයි කියන අද්භූත බව නැත්නම් අද්භූත කික් එක බුදු දහම තුලත් ඇති බව පෙන්වන්නට යම් යම් තැන්වලදි බෞද්ධ සාහිත්‍ය කථකයා උත්සාහ දරා තියෙනව.

මහාමායා දෙවිය දුටු සිහිනය, උපන් වහාම නෙළුම් මල් හත උඩ ගමන් කිරීම සහ කොට කිව්වා යැයි කියන උදාන වාක්‍ය, අහසින් වැඩීම, නන්ද කුමරුට දිව්‍ය ලෝකය සහ දැවී ගිය වැඳිරිය මවා පෙන්වීම, යමා මහ පෙළහර වැනි දේවල් බුදුන් සාමාන්‍ය මිනිසෙකු නොවන බව පෙන්වීම සඳහා ඇතුලත් කොට තිබෙන බවයි මගේ හැඟීම. මන්ද අනෙකුත් ආගම් වල ශාස්තෘන් පිළිබඳව අද්භූත කික් එක සපයන කතා රාශියක් ඒ ආගම් සමඟ පැවතීම හේතුවෙන් දහමක් තුල ඇති හරය නොව අද්භූත කික් එක සොයන බුද්ධි මට්ටමෙන් යම් දුරකට හීන අය ආකර්ශනය කරගැනීම සඳහා ඒ එකතු කිරීම අවස්ථානුගතයි.

එහෙම අද්භූත කික් එක නැතුව බුදු දහම දකින්නට අසමත් අය තුන් කොටසක් අදත් ඉන්නව.

1. පළවෙනි කණ්ඩායම මුග්ධ භාවය හේතුවෙන් බුද්ධ ධර්මය තුල ඇති හරය පිළිබඳව වටහා ගැනීමට අසමත් වීම හෝ ඒ සඳහා වෙලාවක් නැති වීම හේතුවෙන් රටේ ලෝකයේ අනෙක් ආගමික මිනිසුන්ට මෙන් තමන්ටත් ආගමික යැයි කිවහැකි ගුප්ත අද්භූත යමක් තිබිය යුතුය යන විශ්වාසය නිසා බුද්ධ ධර්මය සහ අද්භූතබව සහිත බෞද්ධ සාහිත්‍යය එකක් කොට දකින්නන්.

2. දෙවන කණ්ඩායම බුදු දහම උපතින් උරුම කරගෙන ඉපදීම හේතුවෙන් තමා උපදින විටදී බුදු රුව හා සම්බන්ධ කොට ඊට පෙර පරම්පරාව විශ්වාස කළ දෑ එලෙසම පිළිගන්නා සහ එය ප්‍රශ්න කිරීමට හෝ තර්කානුකූලබව කිරා මැනීමට බිය වන අය.

3. තුන්වන කණ්ඩායම බිහිවන්නේ අධ්‍යාපන ක්‍රමයේ වරදින්. ශ්‍රී ලංකාවේ පාසල් වල අදටත් බෞද්ධ සාහිත්‍යය සහ බුද්ධ ධර්මය ඉගැන්වෙන්නේ විෂයයන් දෙකක් යටතේ නොව "බුද්ධ ධර්මය" මැයෙන් එන එකම විෂයයක් යටතේ එකම පෙළපොතක් ඇසුරින්. මෙය විශාල වරදක්.

බෞද්ධ සාහිත්‍යය සහ බුද්ධ ධර්මය එකක් ලෙස ගෙන කුඩා කල සිට ඉගෙන ගත් අයගෙන් 80%ක් පමණම තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාවටම ඒ දෙක දෙකක් ලෙස දැකීමට අසමත් වෙනවා. බෞද්ධ සාහිත්‍යය කතාන්තරක් බවත් බෞද්ධ ධර්මය අවබෝධයෙන් උගත යුත්තක් බවත් ඔවුන් කිසිසේත් තකන්නේ නෑ.

මේ කණඩායම් තුනම බුදු දහම වෙනුවෙන් ආයුධ අතට ගැනීමට, ලේ හැලීමට පවා පසුබට වන්නේ නෑ. "ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ" ලෙස බුදුන්ගේ නමින් සත්‍ය ක්‍රියාවක් සිදුකොට ජනඝාතක යුද්ධයකට යාමෙන් ජයගත හැකියැයි ඔවුන් විශ්වාස කරනවා. යම් විනාශකාරී කටයුත්තකට වුවද සෙත් පිරිත් මගින් සෙත් ශාන්තියක් සිදුවෙතැයි ඔවුන් සිතනවා.

නමුත් බුදුන් තමන්ගේ පිරිත් සහ සූත්‍ර දේශනාවන් පවත්වන ලද්දේ ⁣එය නොතේරෙන භාෂාවකින් ගයා එහි ශබ්ද රසයෙන් චූන් වීමට නොව එහි ඇති අර්ථය අවබෝධකොට ඒ අවබෝධය හරහා ලබන අග්‍ර ඵලය වන නිවන සාක්ෂාත් කරගැනීමට බව ඔවුන්ට එතරම් වැදගත් නැහැ.

පසුගිය දිනවල රටපුරා විවිධ ස්ථාන වල ජනයා ඒකරාශී කරගෙන රතන සූත්‍ර දේශනාවන් පැවැත්වුණා. සීග්‍රයෙන් බෝවෙන වසංගතයක් පැතිරෙන අවස්ථාවක පිරිතක් සඳහා හෝ පිරිසක් එක් රැස්වීම තරම් මෝඩ ක්‍රියාවක් තවත් නැහැ. ඉන්පසු බොහෝ පන්සල් වල මෙන්ම ඇතැම් ගෙවල් වලද මහ හඬින් රතන සූත්‍රය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඇසෙන්නට සළස්වා තිබෙනු දැකිය හැකියි. මෙය හොඳ ප්‍රවණතාවයක් ලෙස දකින අයත් සිටිනවා. එහෙත් එසේ කරන අයගෙන් රතන සූත්‍රයේ අදහස දන්නේදැයි ඇසූ කල එය දන්නා කෙනෙකු නැති තරම්.

බුදුන් අනෙකුත් දේශනාවන් මෙන්ම රතන සූත්‍රය ⁣දේශනා කරන ලද්දේද අවබෝධය පිණිසම මිස මන්ත්‍රයක් ලෙස ජප කිරීම සඳහා නොවේ. එය තේරුම නොදැන මායම් වූ කපුවන් මෙන් ජප කිරීම තරම් බුදුන්ට කළ හැකි අපහාසයක් තවත් නැහැ. එය හරියට තමාව මැරීමට සතුරෙකු එනු දැක දැක තම අතේ ඇති කඩුව ආරක්ෂාව සඳහා භාවිත නොකර එය පසෙක තබා එයට දණගසා වැඳීම වැනි නිෂ්ඵල මෝඩ ක්‍රියාවක්.

නමුත් විශ්වාසය සහ ගෞරවාදරය මත යම් සූත්‍ර දේශනාවක් අසන්නට ලැබීම නිසා සිතට යම් සහනයක් ශක්තියක් ඇතිවන බව ඇත්ත. අප ඉතා අසරණ වූ අවස්ථාවක දෙමාපියන්ගෙන් කෙනෙකු ආදරයෙන් නළලට අත තබා "පුතේ, දුවේ හෝ රත්තරනේ" යැයි කිවහොත් අපට කෙතරම් සහනයක් දැනෙනවා ඇත්ද? එයට හේතුව අද්භූත යමක් නොව දෙමාපියන් හා ගතකළ සුන්දර අතීත මතකය සහ ඔවුන් කෙරෙහි ඇති ආදරය ගෞරවය මත ඇතිවන හැඟීමක් බවත් එය අවස්ථාවට මුහුණදීමට මානසික ශක්තිය සපයන හැඟීමක් මිස ප්‍රශ්නය විසඳා දෙන මායා බලයක් නොවන බව සියළු දෙනා දන්නා කරුණක්. නොතේරෙන පිරිතක් ඇසීමෙන් සැළසෙන්නේද එවන් සහනයක් පමණයි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...