Sunday, April 12, 2020

නම වැරදි ලෙස උච්චාරණය හා අතාවුද පුරාණයෙන් බිදක්





(2017 මාර්තු 25 වැනි දිනැති පොස්ටුවකි)


මම මුලින්ම මෙහි 1 වන ඡයාරූපය නිකම්ම share කළෙමි. නමුත් පසුව ඒ ගැන යමක් ලිය යුතුයැයි සිතුණි. මන්ද මාගේ නමද බොහෝ දෙනා සියයට අනූපහක් අවස්ථා වලදී වැරදියට උච්චාරණය කරන බැවිනි. නමුත් එය ලියාගෙන යාමේදී අමතර කරුණු එකතුව එය මේසා විශාල දිගු article එකක් බවට පත්විය.

කෙනෙකුගේ අනන්‍යතාවය ඔහුගේ නමයි. පුද්ගලිකව මම පවා යමෙකුට මගේ නම පවසන්නේ ඉතා ඉහළ ආත්මාභිමානයකිනි. එබැවින් කෙනෙකුගේ නම වැරදියට උච්චාරණය කරමින් ඔහු ඇමතීම යනු දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුට කරන විශාල නිග‍්‍රහයකි. එමෙන්ම වරක් නිවැරදි නම කියා දුන් පසු නැවත නැවතද එය වරද්දන්නේ නම් ව්‍යංගයෙන් ගම්‍ය වන්නේ ඔබ ඒ අනෙක් පුද්ගලයා සිල්ලරට ගණන්ගෙන ඇති බවය. එය ඔහු තුල ඔබ පිළිබදව ඇති ආකල්පය සැළකිය යුතු අන්දමින් වෙනස් වීමට හේතුවක් වේ.

එබැවින් මහත්මයෙකු ලෙස ශිෂ්ට සම්පන්නයෙකු ලෙස කෙනෙකු ඇමතීමේදී ඔහුගේ නිවැරදි නමින් ඔහු ඇමතීමට ප‍්‍රවේශම් වීම මහත්මයෙකු තුල ඇති ඉතා වැදගත් වටිනා ලක්ෂණයක් බව අමතක නොකළ යුතුය.

මගේ නම අතාවුද ගෙදර අථිල කාංචන බණ්ඩාර අතාවුදය. අතාවුද යන සිංහල රාජ සමයේ අවි ආයුධ අත දරා මහරජුගේ ආරක්ෂාවට සිටින විශේෂ බලකායක් විය. එනම් එක්තරා අයුරකින් ප‍්‍රභූ ආරක්ෂක බලකායකි.

කාවන්තිස්ස රාජ සමයේ පවා රාජකීය පවුලේ ආරක්ෂාවට සිටි අතාවුදයන් පිළිබදව අසන්නට ඇති අතර පළමු වරට එය ලිඛිතව මා දුටුවේ ජයන්ත චන්ද‍්‍රසිරිගේ මහරජ ගැමුණු ග‍්‍රන්ථයේය. ඔහු එය එහි ඇතුලත් කරන්නට ඇත්තේ යම්කිසි ලිඛිත ඓතිහාසික මූලාශ‍්‍රයක් මතද, එසේත් නැතහොත් මා මෙන්ම මුඛ පරම්පරාගත මූලාග‍්‍රයකින් ඒ පිළිබදව දැනුවත් වීද යන්න මා නොදන්නා අතර යම් දිනෙක එය ඔහුගෙන් අසා දැනගැනීමට බලාපොරොත්තු වෙමි.

මා මෙන්ම මාගේ මුතුන් මිත්තන්ද පදිංචිව සිටි වල්ගම රඹුක්කන ප‍්‍රදේශය සතර කෝරළයේ පිහිටා ඇත. සතර කෝරළය පිළිබදව ජනකාන්ත ජනකතා කර්තෘ ඩී.පී. වික‍්‍රමසිංහයන් තම ''මගදිගට ජනකතා 2'' කෘතියේ එන 21 වන ජනකතාව වූ 'සතර කෝරළයේ මාන්න පස' හි මෙසේ සදහන් කරයි.

''අති පුරාණ කාලයේ සිටම සතර කෝරළය ඉතා දියුණු ප‍්‍රදේශයක් මෙන්ම වැදගත් ප‍්‍රභූන්ගේ වාසභූමිය විය......... පෘතුගීසි සමයෙන් පසු සතර කෝරළය තරම් යුද්ධ පීඩාවන්ට භාජනය වූ ප‍්‍රදේශයක් ලංකාවේ නොවීය. ඊට හේතු වූයේ කොළඹ සිට මහනුවර දක්වා ඇති පාර සතර කෝරළය මැදින් වැටී තිබීමයි. සතර කෝරළේ ජනයා යුධ ශිල්ප කලා ශිල්ප ආදියෙහි ඉතා දක්ෂයෝය. ඒ නිසාම සතර කෝරළය රජුන්ගේ ප‍්‍රසාදයට ලක්විය. දෙවන රාජසිංහ රජුගෙන් මාන්න තුනක්ද ඊට පෙර මාන්න දෙකක් යයි මාන්න පසක් සතර කෝරළය සම්මාන ලැබීය..........ඉරසද කොඩිය පළමු සත් කෝරළයට අයිතිව තිබුණ බවත් එය මහනුවරදී සතර කෝරළයේ ශක්තිමත් පුරුෂයන් විසින් සත් කෝරළේ ජනයන්ගෙන් පැහැරගත් බවත් සදහන් ජනකතාවක් තිබේ.''

ඒ අනුව සතර කෝරළයේ ජනයාගේ සංග‍්‍රාම ශූරත්වය අතීතයේ පටන් පිළිගැණුනක් වන අතර ඉංග‍්‍රීසීන් ශ‍්‍රී ලංකාව යටත් කරගැනීමෙන්ද සතර කෝරළයේ යුධ විරුවන්ගේ ජීවනාලිය බදු වූ අංගම් සටන් ශිල්පය ඉංග‍්‍රීසීන් විසින් ගැසට් පත‍්‍රයක් මගින් තහනම් කිරීමෙන්ද පසු සතරකෝරළයේ ජනයාගේ සංග‍්‍රාම ශූරත්වය කෙමෙන් වියැකී ගිය බව සිතිය හැකිය.

මාගේ මුතුන්මිත්තන් විශේෂ ප‍්‍රභූ ආරක්ෂක බලකායක සාමාජිකයන් වූ බවට දෙස් දෙන කරුණු තවමත් දක්නට ලැබේ. මා දන්නා මාගේ මෑතකාලීන් මුතුන් මිත්තන් සියල්ලම පාහේ අවම වශයෙන් අඩි 6කට ආසන්න උසින් යුක්ත වූවෝ වෙති. එමෙන්ම සැළකිය යුතු කාය බලයකින්ද යුක්ත වූවෝ වෙති. එපමණකුදු නොව එකී අසමාන කායබලය සනාථ කෙරෙන මාගේ මුත්තණුවන්ගේ වික‍්‍රමයක් පිළිබදව ජන කතාවක්ද ඇත්තේය.

අපගේ වත්ත පහළ පිහිටි ඇළමාර්ගය මතින් මාගේ මුතතණුවන් සහ එක්තරා ඇතෙකු එක් වී ගල් ඒදණ්ඩක් තැබූ බව එම ජනකතාවෙන් කියැවෙන අතර එහිදී මගේ මුත්තණුවන් එම ගල් ඒ දණ්ඩඩෙහි එක් පසෙකින්ද පෙරකී ඇතා එහි අනික්පසින්ද ඔසවා ඇළ මාර්ගය දෙපැත්තෙහි ඇති ගල් ඉවුරු දෙක යාවන පරිදි තැබූ බව වැඩිදුරටත් සදහන් වේ. මේ කතාවේ සත්‍යාසත්‍යතාවය කෙබදු වුවද එම කතාවේ එන අයුරු මදක් පුදුම සහගත අද්භූත ගල් ඒදණ්ඩක් අපගේ වත්ත පහළ තවමත් අදටත් දක්නට ඇත.




ඉහත කී පසුබිම් කරුණු පසෙක තිබියදී බොහෝ දෙනෙකුට සිදුවන්නාක් මෙන් මාගේ නමද වැරදිව උච්චාරණය කරන අවස්ථා එය නිවැරදිව උච්චාරණය කරන අවස්ථා වලට වඩා බොහෝ සෙයින් වැඩිය.

පළමුවෙන්ම මා මුලින් භාවිතා කළ ''කාංචන'’ යන නම මා පින්නවල ජාතික පාසැලට ඇතුලත්වූ පසුව 6 වසර භාර ගුරුතුමිය වූ සෙනවිරත්න මහත්මිය විසින් වැරදිව උච්චාරණය කරන ලද්දේ ''කංචන'’ නමිනි. ඇයගේම නියෝගය පිට මාගේ නම පොල්ගෙඩි අකුරෙන් ''කාංචන'’ යනුවෙන් ලියා කමිසයේ වම්පස් ඉහළ කෙළවරේ හැට්ට කටුවකින් රදවාගෙන තිබුණද ඇය හැම විටම මට කතා කළේ ''කංචන'' නමිනි. ඒ ඇය විසින් මාගේ name tag එක කියවීමට කාලය මිඩංගු කිරීමට අකැමැති වූ හෙයින්ද එසේත් නැත්නම් නිවැරදි නම ''කංචන'’ බවත් එය නොදැන මා විසින් ''කාංචන'’ යනුවෙන් භාවිත කරන බවත් සිතීම නිසාදැයි අදටත් නොදනිමි. නිකම් බොරුවට තරහ ගන්නා හොස්ස ළගින් මැස්සා යන්න බැරි තැනැත්තියක වූ ඇයට මගේ නිවැරදි නම එය නොවන බව පැවසීමට ධෛර්යයක් එකළ කුඩාවූ මා තුල නොතිබුණි හෙයින් ඇයට ''කංචන'’ කියන්නට ඉඩහැර නිහඩ වන්නට මට සිදුවිය.

මාගේ පාසැල් කාලය තුල මෙන්ම අදද බොහෝ දෙනා මා අමතන්නේ ''අතාවුද'’ නමිනි. මාගේ පාසැල් මිතුරන්ද ගුරුවරුන්ද බොහෝ දෙනෙකු මා දන්නේ ඒ නමිනි. නමුත් ඇතැම් ගුරුවරුන් මා ''ආතාවුද'’ යන නමින් ''ඇලපිල්ලක් සහිතව'’ ඇමතූ අවස්ථා සැළකිය යුතු ප‍්‍රමාණයකි. මෙහිදීද නිවැරදි නම ''ආතාවුද'’ බවත් මා එය ''අතාවුද'’ යනුවෙන් පාවිච්චි කරන්නේ නොදන්නා කම නිසා බවත් ඔවුන් සිතූ බව පැහැදිලි විය. මා එකළ මට වඩා මගේ නම දන්නා අය, තමන් දන්නවා යැයි සිතා එය වැරදියට උච්චාරණයක කරන විට එයින් උරණ වීමට වඩා නිහඩව සිත යටින් සිනාසීමට පුරුදු වූයෙමි.

මපියරජුන්ගේ නම ''කුලතුංග බණ්ඩාර''ය. ඒ අන්ව එතුමා ''කුලතුංග'’ නමින් බොහෝ දෙනා අතර ප‍්‍රසිද්ධය. නමුත් ''කුලතුංග'’ යනු නම මිස වාසගම නොවන්නේය යන්න වටහා නොගත් කිහිප දෙනෙක් මා හටද ''කුලතුංග'’ යනුවෙන් අමතන ලද අවස්ථාද මට සිහිපත් කළ හැකිය. මුලින් මුලින් මට ''කුලතුංග'’ යනුවෙන් නමක් නැති හෙයින් එයට ප‍්‍රතිචාර නොදක්වා සිටි මා එසේ සිටින කල ''කණ ඇහෙන් නැද්ද මිනිහෝ'’ යන්නෙන් ආරම්භ වී තවත් මිහිරි වදන් පෙළකින් සුන්දර වන දෝෂාරෝපණය අසන්නට ඇති අකමැතිත නිසා ''කුලතුංග'’ යන නමටද ප‍්‍රතිචාර දක්වන්නට පුරුදු වූයෙමි.

විශේෂයෙන් ගුරුවරයෙකු විසින් නමක් වැරදි ලෙස උච්චාරණය කිරීමේදී ශිෂ්‍යයෙකු ඉදිරිපත් වී එය නිවැරදි කිරීමට යම් පසුබෑමක් ඇතිවන හෙයින්ද, ''මගේ නම ඒක නෙවේ'’ යනුවෙන් කියමින් ඉදිරිපත්වන ශිෂ්‍යයා පිළිබදව සියයට අනූවක් අවස්ථා වලදී ස්වභාවයෙන්ම ගුරුවරයා ''මූ බලපල්ලකො යකෝ'’ වැනි හැගීමකින් අප‍්‍රසාදයක් ඇතිකරගන්නා හෙයින්ද තමා යටතේ සිටින සිසු දරුවන්ගේ නම් නිවැරදිව උච්චාරණය කිරීමට ගුරුවරයෙකු විශේෂයෙන් ප‍්‍රවේශම් විය යුතුවන අතර එහිදී තමා නිවැරදි නම යැයි සිතන නමින් නොව අදාළ සිසුවාගෙන් නිහතමානීව අසා දැනගෙන ඔහු භාවිතා කරන නමින් ඔහු ඇමතීම වඩා ආචාරශීලී බව මෙහිලා සදහන් කළ යුතුය.

එමෙන්ම මාගේ විශ්ව විද්‍යාල ජීවිතයේදී මා වඩාත් ප‍්‍රසිද්ධව සිටියේ ''අතාවුද'’ යන නමින් බිදී ආ ''අතා'’ යන නමිනි. මාගේ හිතවත්ම මිතුරන් අදද මා අමතන්නේ ''අතා, අතා අයියා හෝ අතා මල්ලි'’ නමිනි. නමුත් සරසවි ජීවිතයේදී මා හට හමුවූ සුවිශේෂ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම මා හට ඉතා ආරය කළ ළබැදි සොයුරෙකු වූ ''නීතිඥ අජිත් විතාන නොහොත් අජ්ජයියා'’ දිගින් දිගටම මා ඇමතුවේ ''අතයා මල්ලි'’ යනුවෙනි. එය කුමන හේතුවක් නිසා එසේ වී දැයි මා නොදන්නා අතර අදටත් මට ''අතයා මල්ලි'’ යනුවෙන් අමතන ලොව එකම පුද්ගලයා අජ්ජයියාය.

මා කුරුණෑගල ප‍්‍රදේශයේ නීතිඥ වෘත්තියට අවතීර්ණ වීමත් සමගම මගේ පළමු නම වූ ''අථීල'’ යන්න මාගේ වාසගම වූ ''අතාවුද'' යන්නත් සමග භාවිතා කිරීමට පටන්ගත්තෙමි. එයට හේතු කිහිපයකි. එකක් නම් මාගේ මුල් නම මෙන්ම අග නම යන දෙකම ''අ ''අකුරෙන් ආරම්භ වීම සුභදායක යැයි අසන්නට ලැබීමය. අනෙක් හේතුව ''අථිල'’ යන නම ඇති කිසිවෙකු මා හට මෙතෙක් හමුවී නැතිවා මෙන්ම එවැන්නෙකු පිළිබදව අසන්නට හෝ ලැබී නොතිබුණු හෙයින් එම නම ඇති ලොව එකම පුද්ගලයා වීම එක්තරා ආකාරයකින් අභිමානයට කරුණක් ලෙස මා සැළකීමය.

නමුත් එවැනි දුර්ලභ නමක් තිබීම හේතුවෙන් එම නම වැරදි ලෙස උච්චාරණය වන / අවභාවිත වන අවස්ථා බොහොමයකි.

සුළභ වශයෙන්ම සිදුවන්නේ මාගේ නම ''අථිල'’ නොව ''අකිල'’ වශයෙන් ඇතැම් අය විසින් ඒත්තුගෙන මා ''අකිල'’ යනුවෙන් ඇමතීමය. ඊළගට සිදුවන්නේ මා ''අථිල'’ මිස ''අකිල'’ නොවන බව මා කියා දුන් පසුව එය ලිවීමේදී ''අථිල'’ යනුවෙන් මහප‍්‍රාණ ''ථ'’ අකුර නොයොදා ''අතිල'’ යනුවෙන් ලියනු ලැබීමය. මෑත කාලීනව විවිධ අරමුණුු උදෙසා මගේ නම ලියන ලද බොහෝ දෙනා එය ''අතිල'’ යනුවෙන් ලියා ඇති අවස්ථා අනන්ත දුටුවෙමි.

තවද ඉතා සුළු පිරිසක් ''අථිල'' යනුවෙන් නමක් අසා නොතිබීම හේතුවෙන් එය ආසන්න උච්චාරණ සහිත ''අතුල'' වැනි නම් සමග පටලවා ගන්නා අවස්ථාද නැත්තේ නොවේ.
එසේ හෙයින් අවසාන වශයෙන්ද නැවත ඔබට ආදරයෙන් මතක් කරන වගනම්,
කෙනෙකුගේ අනන්‍යතාවය ඔහුගේ නමයි. පුද්ගලිකව මා පවා යමෙකුට මගේ නම පවසන්නේ ඉතා ඉහළ ආත්මාභිමානයකිනි. එබැවින් කෙනෙකුගේ නම වැරදියට උච්චාරණය කරමින් ඔහු ඇමතීම යනු දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුට කරන විශාල නිග‍්‍රහයකි. එමෙන්ම වරක් නිවැරදි නම කියා දුන් පසු නැවත නැවතද එය වරද්දන්නේ නම් ව්‍යංගයෙන් ගම්‍ය වන්නේ ඔබ ඒ අනෙක් පුද්ගලයා සිල්ලරට ගණන්ගෙන ඇති බවය. එය ඔහු තුල ඔබ පිළිබදව ඇති ආකල්පය සැළකිය යුතු අන්දමින් වෙනස් වීමට හේතුවක් වේ.

එබැවින් මහත්මයෙකු ලෙස ශිෂ්ට සම්පන්නයෙකු ලෙස කෙනෙකු ඇමතීමේදී ඔහුගේ නිවැරදි නමින් ඔහු ඇමතීමට ප‍්‍රවේශම් වීම මහත්මයෙකු තුල ඇති ඉතා වැදගත් වටිනා ලක්ෂණයක් බව අමතක නොකළ යුතු

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...