Sunday, April 12, 2020

ගාමිණී ෆොන්සේකාගේ තේජස්වීභාවය



(2017 මාර්තු 21 වැනි දිනැති පොස්ටුවකි)

අද මං බලනකොට අපේ නැගණි තොමෝ හෝ ගාලා නිධානය බලන්නෝය. ඉතින් මීට වසර 3කට පමණ පෙර නිධානය චිත‍්‍රපටය නැරඹූ මගේ මතකයද අලුත් වුණේය. දැන් ඉන්න සෙල්ලම් සූකිරි හුරතල් නළුවන් සමග බලද්දී ගාමිණී ෆොන්සේකා ඇත්තටම මාරය. එවන් පෞරුෂයක්, තේජසක් සහිත සැබෑ පිරිමි නළුවකු ශ‍්‍රී ලාංකීය සිනමාව තුල යළි කිසිදා බිහි නොවනු සහතිකය. දැන් සිටින main role කරන සෙවල පෙරෙන මල් කොල්ලන් තේජස යනු කුමක්දැයිවත් දන්නවාද සැක සහිතය.

ඔහුගේ තේජබලය රිදී තිරයට පමණක් සීමාවූවක් නොවන බව ඔහු සමග අන්තිම රාත‍්‍රිය චිත‍්‍රපටයේ රංගනයට දායක වී ඇති මාගේ ආදරණීය ජ්‍යෙෂ්ඨ නීතිඥ ආරිය බී රැකව මහතා මා සමග පවසා ඇත්තේ වරක් දෙවරක් නොවේය.

රැකව මහතා ප‍්‍රකාශ කරන අන්දමට ගාමිණී ෆොන්සේකා දර්ශන තලයට ගොස් දුම්වැටියක් උරමින් තිර පිටපත වරක් කියවන්නේය. ඉන්පසු කැමරා ආම්පන්න ක‍්‍රියාත්මක නොකර එක් වරක් පෙරහුරුවක් ලෙස රංගනයේ යෙදෙන්නේය. ඉන්පසු කැමරා ආම්පන්න ක‍්‍රියාවට නගා එක් වරක් පමණක් මනාව රංගනයේ යෙදී සේයාපට නාස්ති නොකිරීමට ඔහු මහත් සමතෙක් බව කියනු ලැබේ. ඉතින් එවන් අවස්ථාවකදී එකී දර්ශනයට දායක වන වෙනත් ශිල්පියෙකු රංගනය වැරදවූයේනම් ගාමිණී ෆොන්සේකාගේ ගැඹුරු කටහඩින් එල්ලවන දැඩි දෝෂාරෝපණයකට ලක්වීමට එම වරදකරුවාට සිදුවන්නේය. මෙම දොස් මුරයට සහ ගාමිණීගේ අසමසම තේජසට දැඩි බියක් දක්වන අනෙක් ශිල්පීහු හැකි උපරිමයෙන් තම රංගනයේ නිරවද්‍යතාවය සුරැකෙන පරිදි රංගනයේ යෙදීමට ප‍්‍රවේශම් වන්නේලු. බොහෝ අවස්ථාවල රංගනය වැරදවීම නිසා ගාමිණී ෆොන්සේකාේ දැඩි දෝෂ දර්ශනයට මෙන්ම උපහාසයට ලක්වූවකු වශයෙන් ප‍්‍රවීණ නළු ලකී ඩයස්ව රැකව මහතා සිහිපත් කරයි.

අන්තිම රාත‍්‍රිය චිත‍්‍රපටයේ රැකව මහතා නිරූපණය කළ වෛද්‍ය වරයෙකුගේ/ මහාචාර්යවරයෙකුගේ චරිතය හමුවට ලකී ඩයස් යම් සේවකයෙකුගේ විලාශයෙන් පැමිණෙන දර්ශනයක් තිබුණේය. ලකී ඩයස් මුල් වර එම දර්ශනය රූගත කිරීමේදී දඩාස් ගා දොර ඇරගෙන ඩොක් ඩොක් අනුකරණයෙන් බර අඩි තබමින් ඇවිදවිත් දඩස් ගා එකී වෛද්‍ය වරයා ඉදිරියේ අසුනක වාඩි වූයේලු. මෙය බලා සිටි ගාමිණී ෆොන්සේකා ''යකෝ තෝ තොපේ අම්මගෙ අප්පගෙ බූදලේ ඇවිදිනවා කියලා හිතාගෙනද එහෙම ආවෙ? තොට එහෙම එන්න බෑ. බලාගනිං.'' කියා අදාළ චරිතයේ බයාදු ස්වරූපය මනාව නිරූපණය වන සේ ඇදහිය නොහැකි දක්ෂතාවයකින් හා රංගන කෞෂල්‍යයකින් යුතුව එම කොටසද රගපා පෙන්වූයේලු.

තවත් වරක් ගාමිණී ෆොන්සේකාගේ දියණියට මහනුවර කුලීරථ රියදුරෙකු විසින් නොමනා කොලොප්පමක් කර තිබුණේය. මෙයින් දණ්ඩෙන් පහරලත් නාගයෙකු සේ කෝපාවිශ්ඨ වූ ගාමිණී ''එන්ඩ කියාපිය ඔය පරයට'' කියා එකී කුලීරථ රියදුරා කැදවා ඒමට තම බංගලාවේ අප්පු පිටත් කර යවන ලදී. ගාමිණී ෆොන්සේකා කෝපයෙන් කැදවන්නේය යන්න දැනගතහොත් එකී කුලී රථ රියදුරා මසුරන් දීලාවත් ගෙන්වා ගන්නට බැරි බව දන්නා අප්පු උපායශීලීව කල්පනාකොට කුලී ගමනක් යාමේ මුවාවෙන් අදාළ රියදුරා ගාමිණීගේ බංගලාවට කැදවාගෙන ගියේය.

රියදුරාද බංගලාවට ගොස් ඉහත කී තතු නොදැන කුලී ගමන යාමට යමෙකු එනු ඇතැයි අපේක්ෂාවෙන් මිදුලට වී සිටින අතර අප්පු ඇතුලට ගොස් තමා කුලී රථ රියදුරා කැදවාගෙන ආ බව ගාමිණීට සැළ කලේය. වහා එළියට පැමිණි ගාමිණී කුලී රථ රියදුරාගේ බොටුවෙන් අල්වා කණුවකට හේත්තු කොට ඔහුගේ දෙපා පොළෝ ස්පර්ශයෙන් විතැන් වන තුරු ඉහළට ඔසවා ''මොකක්ද බොල තොගේ නම?'' යැයි ඇසුවේය. හේතුව නොදන්නා නමුත් කුමක් හෝ කරුණක් නිසා තමාට වැඩ වැරදීමට යන බව දැනුණ රියදුරා තමාගේ සරම තෙත් කරමින් සුළුදිය සීරාව පොලෝ තළයට ළගා වෙද්දී බොහෝ අපහසුවෙන් ''ගාමිණී හාන්දුරුනේ'' කීවේය. එය ඇසූ වහාම රියදුරාගේ බොටුව අතහැර කණ හරහා පහරක් එල්ල කළ ගාමිණී සාක්කුවෙන් රුපියල් පන්සීයක් ඇද එය රියදුරාගේ උඩ සාක්කුවට දමා ''පළ ගියින් තොගේ නම වෙනස්කරගනිං'' කියා ඔහුට යන්නට හැරියේලු.

මෙම සිද්ධිය සැබැවින්ම කටකතාවක් වන අතර සත්‍යාසත්‍යතාවය මා නොදනිමි. නමුත් මෙම කතාවම මා යම් පොතක හෝ පුවත්පතක තිබී කියවූවා මට මතක ඇති අතර එකී වාර්තාවට අනුව සැබැවින්ම රියදුරාගේ නම ගාමිණී නොවුවද ඔහු තම ගෙල සිරවී තිබෙන විටක කීමට උත්සාහ දරා ඇත්තේ ''ගාමිණී හාමුදුරුවනේ මගේ බෙල්ල අතාරින්ඩ හොදයි'' කියා බවත් එසේ නමුත් ඔහුට කටින් පිටකරගන්නට හැකිවූයේ ''ගාමිණී හාන්දුරුනේ'' යනුවෙන් පමණක් බැවින් රියදුරාගේ නමද ගාමිණී යැයි සිතූ ගාමිණී ෆොන්සේකා ඔහුට යන්නට දී ඇති බවත් සදහන් වී තිබුණා මතකය.

මෙම කතාවම යම් යම් වෙනස්කම් සහිතව මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකයන්ගේ අතිශය ජනප‍්‍රිය තීරු ලිපියක් වූ ''පැණි වළලු'' හි ''ගාමිණී'' යන මැයෙන් වූ අගනා පැණිවළල්ලක සදහන්ව තිබී කියැවූ බවද මට මතක ඇත.

කෙසේ වුවද ගාමිණී ෆොන්සේකා අසහාය කළාකරුවාණන්ගේ රංගන දිවියේ මුදුන් මල්කඩ ලෙස මා පෞද්ගලිකව සළකන්නේ ''සරුංගලය'' චිත‍්‍රපටයයි. එම චිත‍්‍රපටයේ අතිශය කන්කළු ගීයක් වන ''ඉසුරු දෙවිදු උමයංගන සේ පෑහෙන්නයි'' ගීතයට මා අදටත් මහත් සේ ඇලුම් කරමි. ප්‍රෙම ගීයක් වුවද පපුවට මහත් යකුළකින් පහර එල්ල කරන්නාක් බදු බලපෑමක් කෙනෙකු තුල ජනිත කරවීමට එම ගීතය සමත්ය.

එම ගීතයට link එක https://www.youtube.com/watch?v=SmdIGnXyOB8

වර්ෂ 2001 හෝ 2002දී පමණ පැවැති රිදී රැයක් ප‍්‍රසංගයේදී ප‍්‍රවීණ රංගන ශිල්පිණී වීණා ජයකොඩි ඉහත කී ''ඉසුරු දෙවිදු'' ගීතයට තනිව රංගනයේ යෙදුණේ ගාමිණී ෆොන්සේකා නම් වූ අසහාය තේජස්වී මහා පුරුෂයා නියෝජනය කිරීමට හෝ සමත් කිසිවකු මිහිපිට නොමැති බව මනාව සංකේතවත් කරමිනි. එම ගීතයට තනිව රංගනයේ යෙදී ගීතය අවසානයේ වේදිකාව මත දැවැන්ත තිරයක මැවෙන ගාමිණී ෆොන්සේකාගේ රුව දෙස ගෞරව පෙරදැරිව වීණා ජයකොඩි හැරී බලන ආකාරය සැබැවින්ම දෙනෙතට කදුළු නංවනසුළු විය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...