Sunday, April 12, 2020

අදුන් දිවියා



(2017 මාර්තු 20 වැනි දිනැති පොස්ටුවකි)

බළල් පවුලේ සතුන් ගැන අධ්‍යයනය කිරීම හරිම ආකර්ශණීයයි. ඇත්තටම අපි නොදන්න දේවල් කොයිතරම් තියෙනවද. මීට වසර 6කට විතර පෙර මම ඇත්තටම හිතගෙන හිටියෙ අදුන් දිවියා කියන්නෙ Black Panther කියන සතා කියල. ඒකට හේතුවක් තිබුණ. අදුන් දිවියා කියන වචනයේ තිබෙන ''අදුන්'' කියන වචනය නිසා එයින් අදහස් වෙන්නෙ ''කලු'' කියල මම හිතුව. ඒ වගේම අදුන් දිවියා කියන්නෙ ටිකක් විශාල සතෙක් කියලයි මගෙ හිතේ තිබුණෙ. ඒකට හේතුව මම පොඩි කාලෙ කියවපු ආචාර්ය දොන් පීටර් පියතුමාගෙ වනගත ළමෝ කියන යොවුන් නවකතාවෙ තිබුණා මට මතක විදියට අදුන් දිවියෙකු විසින් කරන මුව දඩයමක් ගැන. ඉතින් මුවෙක් දඩයම් කරන්න නම් සතා සැළකිය යුතු විශාලත්වයකින් යුක්ත වෙන්න එපැයි. ඒ නිසා මම හිතුවෙම අදුන් දිවියා කියන්නෙ Blac Panther නමින් හදුන්වන ඒ ආකර්ශනීය සත්වයා කියල.
ඉතින් දෙහිවල සත්තු වත්තට යන්න ලැබුණ අවස්ථාවකදි මම බොහොම උනන්දුවෙන් හිටියෙ අදුන් දිවියා දැකබලාගන්න. හොයාගෙන හොයාගෙන කූඩුව ළගට ගියා. ගිහින් බලනවා බලනවා ඇති දිවියෙක් නෑ. මං හිතුවෙ ඌ මැරිලා එහෙම නැත්නම් ප‍්‍රතිකාර හෝ වෙනයම් දේකට කූඩුවෙන් පිටකරලා ඇති කියලා.



එහෙම හිතලා බලාපොරොත්තු සුන් කරගෙන එතනින් යන්න හදද්දි අහම්බෙන් තමයි දැක්කෙ අදුන් දිවියගෙ කූඩුවෙ ඉදන් අපේ ගෙදර පූසා මට ඔරවන් ඉන්න හැටි. ඌ හිටියෙ අඩි 2X2 විතර කුඩා පඩියක් උඩ නැගල. ඇරපු අතක් නෑ අපේ ගෙදර පූසමයි. මං ඉතිං හිතුව අදුන් දිවියගෙ කූඩුව තාවකාලිකව අයිති කරගත්තු අමුත්තෙක් තමයි මේ කියල.
 
එතකොටම එතනින් යන්න ආපු සත්තු වත්තෙ කාර්ය මණ්ඩලේ කෙනෙකුගෙන් මම ඇහුව කෝ අදුන් දිවිය කියල. අර ඉන්නෙ කියල මිනිහ මට අර පූසව පෙන්නුව. ටිකක් පරික්ෂාවෙන් බලනකොට තමයි පෙනුණෙ ඌ අපේ පූසට වඩා ටිකක් වෙනස් බව. ප‍්‍රමාණයෙන් බොහෝ දුරට එක සමානයි. පැහැයත් ගොඩක් දුරට ඒ වගේ. නමුත් මූණෙ හැඩයෙ තිබුණ පොඩි වෙනසක්. බොහෝ දුරට චීටා කියන සතාගෙ මුහුණෙ හැඩයට නෑකම් කියන හැඩයක්. ඒ වගේම කන් පෙති වලත් සැලකිය යුතු වෙනසක් තිබුණ. පූසට තියෙන උල් හැඩයෙ හුරතල් කන්පෙති වලට වඩා මදක් රවුම් තුඩු සහිත ශක්තිමත් කන්පෙති.



මම ඇත්තටම එදා තමයි දැනගත්තෙ අදුන් දිවිය කියන්නෙ දිවි පවුලෙ ඉන්න මධ්‍යම ප‍්‍රමාණයේ සතෙක් බව. පූසෙකුට වඩා ටිකක් ලොකුයි. ඒ වගේම පූසට සාපේක්ෂව ගොඩක් රෞද‍්‍ර සතෙක්. මම පසුව දැනගත්ත විදියට ඇතැම් අවස්ථා වල පූසන් ලෙස වරදවා වටහා ගැනීම නිසා මිනිසුන් ප‍්‍රහාරයට ලක්වූ අවස්ථාත් වාර්තා වෙලා තියෙනව. හැබැයි සත්තු වත්තෙ හිටපු අදුන් දිවිය නම් අපේ පූසගෙ සයිස්මයි. ඌ හිටියෙ තනියෙන්. තනියට දිවි නෑම්බියක් වත් නැතුව. පව් ඉතින්.



අදුන් දිවියා පිළිබදව පහත විස්තරය උපුටාගත්තෙ danuma.lk වෙබ් අඩවියෙන්
බිලාල පවුලට අයත් මෙම සත්ත්වයා මධ්‍යම ප්‍රමාණයේ සතෙකි. සත්ත්වයාගේ සම පුරා වලාකුළක් මෙන් පසුබිමක් නිර්මාණය වී තිබීම නිසා මෙ‍ම නම ලැබී ඇත. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් කලාපය ආශ්‍රිතව මෙම ජීවීන් දැකගත හැකි වේ. මීට අමතරව චීනය හා තායිවාන කලාපයේ හා ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයකද දක්නට ලැබේ. චීනයේ සම්ප්‍රදායික ඖෂධ නිපදවීම සදහා අදුන් දිවියා ගේ ශරීර කොටස් භාවිතා කරයි. මේ නිසා විශාල අදුන් දිවියන් දඩයම් කිරීමට එම ජනතාව පුරුදුව සිටී. මෙම සත්ත්වයා ලේනකු මෙන් ගස් නැගීමට ශූරයෙක් වේ. එසේම වෙනත් ගස් නගින සතෙකුට නැති විශේෂ කුසලතාවයක් ද ඇත. එනම් හිස පහලට සිටින සේ ගසින් බැසීමේ හැකියාවයි. ඒ නිසා ඉතා නිහඩව ගොදුරක් වෙත යාමේ ශූරයෙකි. අදුන් දිවි ධේනුවක් විසින් වරකට පැටවුන් 1 - 5 අතර ප්‍රමාණයක් බිහි කරනු ලබයි. දිවි ධේනුව සෑම වර්ෂයකට වරක් පැටව්න් බිහි කරයි. අලුත උපන් පැටවකු දින 10 ක් ගතවන තුරු පෙනීම නොලබයි. දින 10 ක් ගෙවී ගිය විට ලෝකය නීරීක්ෂණය කිරීම අරඔයි. පැටියාට සති 05 ක් ගෙවී ගිය විට සක්‍රීය ජීවිතයක් ගත කරයි. සාමාන්‍යයෙන් මෙම ජීවියෙකුගේ ආයු කාලය වසර 17 ක් පමණ වේ.

සත්ත්ව විද්‍යාත්මක වර්ගීකරණය
--------------------------------------
රාජධානිය - ඇනිමාලියාවංශය - කෝඩේටාවර්ගය - මැමේලියාකාණ්ඩය - කානිවෝරාපවුල - ෆිලිඩියේගණය - නියෝෆිලිස්විශේෂය - නියෝෆිලිස් (1821 දී හදුනා ගන්නා ලදී )

ඊට අමතරව විකිපීඩියා විශ්ව කෝෂයේ අදුන් දිවියා හෙවත් හදුන් දිවියා ගැන මෙහෙම සදහන් වෙනව:-

හදුන් දිවියා ශ්‍රී ලංකාවේ වෙසෙන බළල් කුලයේ දෙවැනි විශාලතම සත්ත්වයායි.ශ්‍රී ලංකාවේ සියලු දේශගුණික කලාප වල හදුන් දිවියා දැකිය හැකිය.රටේ හැම ප්‍රදේශයකම ඉන්නා සතෙකි.කොළඹ වැනි ජනගහනය වැඩි ප්‍රදේශ වල පවා මේ සත්ත්වයා වාසය කරයි.බහුලව දක්නට ලැබෙන්නේ තෙත් භූමි වලය. එසේම කඹුරැ ආශ්‍රිතවද දක්නට ලැබේනමුත් වර්තමානයේදි මෙම සත්ත්වයා ඇතැම් ප්‍රදේශ වලට පමණක් සීමා වී පවතිනවා.



හදුන් දිවියා යනු කොළ දිවියා මෙන් විවිධ වාසස්ථානයන්හි ජිවත් විය හැකි වල් බළළෙකු නොවේ.මොහුට ජිවත් වීමට විශේෂ වූ පරිසරයක් අවශ්‍ය වේ.හදුන් දිවියා වාසස්ථාන විශේෂී(Habitat specialist)සතෙක් ලෙස හදුන්වනවා.ජලාශ්‍රිත ස්ථාන වල පමණක් වෙසෙන,ජලයට ඇලුම් කරන,මේ සත්ත්වයාගේ වාසස්ථාන පහත රට තෙත් කලාපයේ පිහිටි වගුරු බිම්,කඩොලාන ප්‍රදේශ,කලපු හා සියලුම කලාප හරහා ගලා යන ගංගා,ඇළ දොළ,වැව් අමුණුයි.මොහු හොඳ දක්ෂ කිමිදුම් කරුවකුද වේ.හදුන් දිවියාට දිගු ශරිරයක් ඇත. භාගයට වර්ධන‍ය වුණ කොටියෙකු පෙනුමක් ඇත.ලොම් ලා දුඹුරැ පාටයි.එහි අපිළිවෙලට චිහිදුන තද දුඹුරැ ලප ඇත.උදර ප්‍රදේශය සුදුයි.කනෙහි පිටිපස්ස කලුයි.ඒ මධ්‍යයෙහි සුදු ලපයක් ඇත.හදුන් දිවියා නිශාචර සතෙකි.කෑම සොයන්නේ සැරි සරන්නේ රැටය.අහාර ලෙස මාලුන්,කුරැල්ලන්,කුඩා ක්ෂිරපායි.දඩයම් කරයි.

හදුන් දිවියාගේ ලොම් ස්ථර දෙකක් ඇත. එමනිසා මොහු වතුරේ සිටින විට සම දක්වාම තෙත් වන්නේ නැත.මෙ ලොම් වැස්ම හදුන් දිවියාට වියළිව හා උණුසුම්ව ඉන්න උදව් වේ.ඔවුන්ගේ පාද පිහිටා ඇති ආකාරය ඔවුන්ට පිහිනීමට උදව් ‍වේ. ඔහුගේ ඉදිරි පාද වල අසාමාන්‍ය ලෙස දික් වූ ඇගිලි හා නිය ඇත. බිළාල පවුලට අයත් අනිත් සතුන්ගේ මෙන් නොව මොවුන්ගේ නිය සම්පූර්ණයෙන් ආවරණය වී නැත.සාමාන්‍යයෙන් අන් බළල් මෙන් හදුන් දිවියා වතුරට අකමැති නැත.එමනිසා මොවුන් නොගැඹුරු ජලයේ පිහිනමින්
මාලුන්, ගෙමබන්, මැඩියන්,ගොලූබෙල්ලන්,කකුළුවන්,ඉස්සන් වැනි සතුන් දඩයම් කරනවා. මොවුන්ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ,ඉලුක් ගාල්,බෙන සහිත ගස් හා පර්වත වල පැලුණු තැන් වලය. දින 65-70ක ගර්භනි කාලයකින් පසු පැටව් ඉපදෙයි.මොවුන් අවුරුදු 12ක් පමණ ජිවත් වේ.මොවුන්ගේ තර්ජනයට ඇති ප්‍රධාන තර්ජනය වන්නේ ඔවුන්ගේ වාසස්ථාන වන තෙත් බිම් විනාශ වීමය.

ඉතින් මෙහි තියෙන පළවෙනි පින්තූරයෙ ඉන්නෙ මම මුලින් අදුන් දිවියා ලෙස වරදවා වටහාගත්ත Black Pantherහෙවත් ඇතැම විට Jaguar නමින් හැදින්වෙන සතා. සමහරු කියනව Black Panther සහ Jaguar දෙන්නෙක් කියලත්. ඒක ගැන මම තාම හරියටම දන්නෙ නෑ. ඌ ගැනත් ටිකක් අධ්‍යයනය කරගෙන යනව මේ දවස් වල. දෙවනි සහ තුන්වෙනි රූපවල ඉන්න සතා තමයි අදුන් දිවියා. හතරවෙනියට ඉන්නෙ කොළ දිවියා. ඌ අදුන් දිවියටත් වැඩිය කුඩා සතෙක්. පූසෙක් කියල රැවටෙන්න තියෙන අවස්ථාව ඉතාම වැඩියි. පස්වෙනියට ඉන්නෙ වල් බළලා හෙවත් වල්බාවා.

ඔන්න post කියවන්නෙ නැතුව Comment කරන අය comment කරයි ''පළවෙනි එකා අදුන් දිවියා නෙවෙයි බන්'' කියල. ඔන්න බොරුනම් බලන්න. උන්ව අන්නන්න මං හිතාමතාමයි මෙහෙම දැම්මෙ

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...