Monday, April 13, 2020

භික්ෂු දේශපාලනය

(2018 නොවැම්බර් 21 වැනි දිනැති පොස්ටුවකි)

භික්ෂුන් වහන්සේලා ක්‍රියාකාරීව දේශපාලන ක්‍රියාදාම වලට අවතීර්ණ වීම බොහෝ පාර්ශව වල විවේචනයට ලක්වුවත් ඒ සම්බන්ධයෙන් සැලකියයුතු ඓතිහාසික පසුබිමක් ඇත. දුටුගැමුණු රජුට යුද්ධයට යාමට පෙර පිරිත් කියා ආශිර්වාද කිරීම, කුමන්ත්‍රණයකින් වත්හිමි කුමරු ඝාතනයට අනුබල දීම හෝ දැක දැක නුදුටුවා සේ සිටීම, ඉංග්‍රීසි කොඩිය බිම දමා පාගා සිංහ කොඩිය එසවීම, බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය, හතරවැනි ඊළාම් යුද්ධයේදී එක් පාර්ශවයකට පිරිත් කියා බෝධිපූජා පවත්වා සෙත් පැතීම යනාදී වශයෙන් භික්ෂුන් වහන්සේලා දේශපාලන භූමිකාවන් නිරෑපණය කළ අවස්ථා රාශියක් ඉතිහාසයේ සිට මේ දක්වාම හමුවේ. ඒවා පිළිබඳව විවිධ පුද්ගලන්ගේ තක්සේරු එම තක්සේරු සදහා පදනම් කරගන්නේ බුදු දහමද ලක්දිව ඉතිහාසයද යන්න මත විෂම වනු ඇත. 

ඇතැම් අය මේ සම්බන්ධයෙන් ඉතාම දැඩි විවේචන ඉදිරිපත් කරමින් කියා සිටින්නේ භික්ෂුන් වහන්සේගේ භූමිකාව බෞද්ධයන්ව සසරින් එතෙර කිරීමට අනුශාසනා කිරීම මිස දේශපාලනය නොවන බවයි. එම අදහසට මම පෞද්ගලිකව එකග ⁣නොවෙමි. මන්ද භික්ෂුන් වහන්සේලාද අනෙකුත් පුරවැසියන් මෙන්ම මේ සමාජයේ කොටසකි. සිවුරු හැදි පලියට ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් අහිමි කිරීම සාධාරණ නොවනවා පමණක් නොව නීතියටද පටහැනිය.
එබැවින් සිදුවිය යුත්තේ භික්ෂුන් වහන්සේලාගේ දේශපාලන භූමිකාවට වැට බැදීම නොව ඔවුන් දේශපාලන සන්දර්භය තුලදී සුවිශේෂ නොවන බවට ආකල්පයක් පුරවැසියන් ඇතිකරගැනීම පමණි. ඒ අනුව ධර්මය සම්බන්ධයෙන් වන කාරණා සහ ධර්මය තුල දේශපාලන පිළිබඳව සදහන් කාරණා හැර භික්ෂුන් කියන අන් සියලු කාරණා වලට තබන බර සාමාන්‍ය මිනිසකුගේ මතයට තබන බර හා සමාන ලෙස සැලකීමට පුරවැසියන් හැකියාව ලබාගැනීම තුල භික්ෂු දේශපාලන අර්බුදය සෑහෙන දුරට විසදාගත හැකිය.

මේ අනුව අවිහිංසාවාදී සීමාවෙන් ඔබ්බට ගොස් උද්ඝෝෂණ විරෝධතා ආදියෙහිදී මෙන්ම වෙනත් අවස්ථා වලදීද මැරකම ප්‍රදර්ශනය කරන චණ්ඩි සාදුලාට ඕනෑම දහදුරා වැඩක් කර සාමාන්‍ය මිනිසෙකු එසේ කළවිට මුහුණදීමට සිදුවන ප්‍රතිවිපාක හමුවේ "හෝව් හෝව් මහත්තයෝ සිවුර" යනුවෙන් ඉදිරිපත් කිරීමට ඇති නිදහසට කාරණය නීති පැණවීමෙන් තොරව ජනතා අධිකරණය හරහා අහෝසි කළහැකි වනු ඇත. එසේ නොමැති වුවහොත් පසුගිය ආණ්ඩු යටතේ සිදුකලාක් මෙන්ද මෙම ආණ්ඩුව යටතේද සිදුවන්නාක් මෙන්ද අනාගතයේදීත් නොවැරදීම සිදුවිය හැකි ලෙස මැරකමට සිවුර නිදහසට කාරණයක් කරගැනීමේ අභියෝගයට දිගින් දිගටම මුහුණ දීමට සිදුවනු ඇත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...