(2018 නොවැම්බර් 20 වැනි දිනැති පොස්ටුවකි)
ඉස්සර අන්තර්ජාලය වගේ පහසුකමුත් නැති ඩෙක් පීස් එකක් අරන් දාගෙන බලන්න
ඩෙක් එකක් ගන්න සල්ලි නැති සතියකට පාරක් විතරක් අයි ටී එන් එකේ පෙන්නපු
චිත්‍රපටි දැවමුවා නිමාවක් තියන පරණ සැන්යෝ කළු සුදු රූපවාහිනියෙ බලන කාලෙ
ඉදලම මම චිත්‍රපටි පිස්සෙක් වුණා කිව්වොත් නිවැරදියි. මම විතරක් නෙවෙයි ඒ
කාලෙ යාන්තම් තරුණ වියට එළඹෙමින් සිටි කවුරුත් සතියට වතාවක් ටීවී එකේ
පෙන්නන චිත්‍රපටය බලන්න හරි ආසාවෙන් ඉන්නෙ.
නමුත් තාක්ෂණය දියුණු
වීමත් එක්ක ආසාව කෙමෙන් කෙමෙන් ඉංග්‍රීසි චිත්‍රපටි දෙසට ඇදී යන්න වුණාම
අර ඉස්සර තිබුණ හින්දි පිස්සුව නිකම්ම හොද වුණා. දැන් ඉන්න චිත්‍රපට නළු
නිළියො ගොඩක් නමින් කියන්න දන්නැති බව කියන්න මම ලැජ්ජා වෙන්නෙ නෑ. අපි
ආසාවෙන් ෆිල්ම් බලපු කාලෙ හිටපු මධුරි ඩික්සිත් ජුහී චව්ලා කාජල් කරිස්මා
කපූර් වගේ දුටු පමණින් මන බදිනා නිළියන් වගේම දැන් ඉන්න නළුවන් හැමෝටම වගේ
මස් පිඩුව ගානෙ වෙනම මාක් කරන්න බැරි වුණත් ඒ කාලෙ හිටපු ගෝවින්දා සන්ජේ
දත් ආක්ෂේ වගේ සුපිරි නලුවන්ටත් අපි බොහොම ආදරේ කලා.
වර්තමානයේ
තාක්ෂණය දියුණු වුණාට හින්දි චිත්‍රපටවලයි ඒ සදහා යොදාගන්නා සංගීතයෙයි
ලොකු වෙනසක් තියෙනව. ඒ නිසා පරණ හින්දි ගීත රසවිදින්න පුරුදු වුණ අයට අලුත්
ගීත වල කිසිම රසයක් නොදැනෙන්න පුළුවන්. ඒ ගැන හිතලමයි මම පැරණි හින්දි ගීත
රසික හවුල කියන ෆේස්බුක් මිතුරු සමාජය හැදුවෙත්.
හින්දි චිත්‍රපට
ගීතයක් හිතට වදින්න කාරණා ගණනාවක් හේතු වෙනව. මුලින්ම පිළිගන්න එපැයි ඒ
තේරුම හින්දා නෙවෙයි කියන එක. මොකද අප අතරින් වැඩි දෙනාට ඒ කියන වචනයක් වත්
තේරෙන්නෙ නෑ. නමුත් හින්දි භාෂාවෙ වචන ශබ්ද කරන විදිය හරිම ලස්සනයි. ඒ
ලස්සනත් එක්ක විශ්ව භාෂාවක් වෙච්ච සංගීතය කළවම් වෙලා ඇහෙනකොට තේරුම නොදැන
ගත්තත් සිංදුවෙ කියවෙන අදහස අපේ බොක්කටම වදිනව.
එහෙම බැලුවොත්
ප්‍රධාන වශයෙන් ශබ්ද රසය ඊට පස්සෙ යොදාගෙන තියන නර්තනයේ සිත් ඇදගන්නාසුළු
බව රූප රචනය වැනි හේතු නිසා හින්දි චිත්‍රපට සින්දුවක් හිතට වදින්න
පුළුවන්. මේ පහත ලැයිස්තුගත කරන්නෙ මෑත කාලීනව ඒ කියන්නෙ මම පුරුද්දක්
වශයෙන් ඇබ්බැහිකමට හින්දි චිත්‍රපට බැලීම අත්ඇරියට පස්සෙ ඇහුණ හින්දි
චිත්‍රපට ගීත අතරින් මගෙ හිතේ රදා හිටපු ගීත 10ක්. මම හැම චිත්‍රපටයම බලල
නැති හින්ද සමහරවිට මට සමහර ගීත මගහැරිල ඇති. සමහර ඔබේ ප්‍රියතම ගීත මම
මිස් කරගෙන ඇති. ඒවගෙ ලින්ක් එකක් පොඩ්ඩක් පහළින් දැම්මොත් මටත් අහල බලන්න
පුළුවන්.පෙළගස්වල තියෙන්නෙ අනුපිළිවෙලට නෙවෙයි. ලියන්න මොකක්හරි විදියක්
තියෙන්න අවශ්‍ය නිසා අනු අංක දාල තියෙන්නෙ.
01. The Student of the Year චිත්‍රපටයෙ disco diwanee සින්දුව
මුලින්ම මේ සින්දුවට හිත ඇදිල ගියෙ ඒකෙ ආකර්ශනීය නර්තනය හින්දා.
විශේෂයෙන් ආලියා භාත්, වැරුන් ධවාන් සහ අර කුච් කුච් හෝතාහේ එකේ හිටපු
පුංචි කෙල්ල (දැන්නම් පොඩි නෑ) නටන නැටුමට නිකම්ම හිත ඇදිල යනව. නමුත් ඒක
පරණ සින්දුවකින් හදපු remake එකක් බවයි පේන්නෙ. තනුවෙ විශාල ආකර්ශනීය බවක්
නෑ. නමුත් ඇහුවම නැටවෙනව.
02. 2 states චිත්‍රපටයෙ Mast Magan ගීතය
පුදුමාකාර හිත නිවන ශබ්ද රසයක් තියෙන සින්දුවක්. ඇස් පියාගෙන අහගෙන ඉන්න
පුළුවන් ආදරය වෑහෙන තනුවක් තියෙන්නෙ. චිත්‍රපටයෙ රූප රචනයත් හරිම ආදරණීය
එකක්. හැබැයි එතන ආලියා භාත් ඊට වඩා ලස්සන කරන්න තිබ්බ.
03. Bajrao Mastani චිත්රපටියෙ Malhari ගීතය
සුපිරි තනුවක් සුපිරි පසුතල හා ඇදුම් නිර්මාණයක් ආලෝ්කකරණයක් ඇතුලු
සුපිරියි කියලා කියන්න පුළුුවන් තවත් කාරණා දාහක් එක්ක ගනේෂ් ආචාර්යා
නිර්මාණය කරපු නර්තනයකට රන්වීර් උපරිමය ඉටුකළොත් කොහොමද. අන්න ඒක තමයි මේ
සින්දුවට වෙලා තියෙන්නෙ. මේ සින්දුවෙ ආරම්භයේ සිය අවසානය දක්වාම හැම සංගීත
ඛණ්ඩයකටම හැම නැටුම් ඉරියව්වකටම ඇග කිළිපොලා යනව.
04. Padmavat චිත්‍රපටයේ Khali Bali Ho Gaya Hai Dil ගීතය
මේ ගීතයෙත් බොහෝ අංග ලක්ෂණ Malhari ගීතයට නෑකම් කියන්නෙ නළුවා එක්කෙනාම
හින්දද නැත්නම් එකම ආරට කරන්න හදපු හින්දද කියල පැහැදිලි නෑ. නමුත් malhari
ගීතයේ තියන දගකාර හිතුවක්කාර ගතියට වඩා මෙම ගීතයේ දුෂ්ඨත්වය කපටිකම වගේ
දේවල් මනාව ඉස්මතු කරල තියනව. ඉවර වෙනකල්ම රෝමෝද්ගමනය වෙන තවත් සින්දුවක්
05. R... Rajkumar චිත්‍රපටයේ Ghandhi Baat ගීතය
මෙම ගීතයට මගේ අවධානය මුලින්ම යොමුවුණේ මෙහි නර්තන නිර්මාණකරුවා වුණ
ප්‍රභූ දේවා වෙනත් ප්‍රසංගයක මේ සින්දුවට නටනව දැකල. ඔහු ඇත්තටම
පුදුමාකාර හැකියාවක් තියෙන නර්තන ශිල්පියෙක්. ප්‍රභූ දේවාගෙ නැටුම බලලා
ශාහිඩ්ගෙයි සොනක්ෂිගෙයි නැටුම බැලුවොත් සමහරවිට ඔබ චිත්‍රපටයේ රූප රචනයට
කැමති වෙන එකකුත් නෑ.
06. R... Rajkumar චිත්‍රපටයේ Saree ke fall sa ගීතය
පෙර චිත්‍රපටය සදහාම ප්‍රිතම් ගේ සංගීතයට සුරේෂ් අයියර් ගයන ඇහුවාට
පසුත් ආයෙ ආයෙ ඇහෙනව වගේ හිතෙන ගීතයක්. නර්තන නිර්මාණයත් ප්‍රභූ දේවා
සුපිරියටම කරල තියෙනව. මේ ගීතයට ශාහිඩ් සහ සොනක්ෂි සෑහෙන සාධාරණයක් ඉටුකරල
තියනව.
07. Dirty Picture චිත්‍රපටයේ Ooh La La ගීතය
හැත්තෑව අසූව දශක වල ඉන්දීය සිනමා කර්මාන්තය කියන තේමාව හොදටම ග්‍රහණය
කරගෙන කරපු තනු නිර්මාණයක්. ඇහෙනකොට ඇහෙන්නෙ 80 ගණන්වල ආපු කසඩ හින්දි
චිත්‍රපටියක සින්දුවක් වගේ. නමුත් විශාල සුන්දරත්වයක් ගැබ්වෙලා තියෙන
ගීතයක්. Shreya Goshal සහ Bappi Lahiri මෙම ගීතයට උපරිම සාධාරණය ඉටුකරල
තියනව. විශේෂයෙන් කියන්න ඉතාම අපහසු පිරිමි කොටස කියන Bappi කිසිම
අපහසුවකින් තොරව ඒ විදියටම ඒක live කියන එක මාරයි.
08. 2 states චිත්‍රපටයෙ Iski Uski ගීතය
සුන්දර එහෙත් මදක් දීර්ඝ ගිතයක්. සම්පූර්ණ ගෞරවය ආලියා භාත්ටයි අර්ජුන්
කපූර්ටයි යනවා. ඔවුන් නටනවා අය කියල වැඩක් නැති වෙන්න. අනික ගීතය බොහෙම
වර්ණවත් ඒ නිසා ඇසීම වගේම දැකීමත් හිත වර්ණයන්ගෙන් පුරවනව
09. Chennai Express චිත්‍රපටයේ Kashmir main tu kanyakumari ගීතය
ශබ්ද රසය වගේම නර්තනය තුලිනුත් හිතට සතුට සැහැල්ලුව දනවන ගීතයක්. මට මතකයි
මුලින්ම මේ ගීතය ඇහුවට පස්සෙ හොයාගෙන ඩවුන්ලෝඩ් කරගෙන හැමදාම වැඩ ඇරිලා
වෙහෙස මහන්සි වෙලා ගෙදර එන ගමන් අහ අහ ආවා. ඒ තරමට සොදුරු ගීතයක්
රංගනයෙනුත් ෂාරුක් සහ දීපිකා ගැන කියන්න දෙයක් නෑනෙ.
10. Dilwale චිත්‍රපටයේ Gerua ගීතය
බොලිවුඩයේ ෂාරුක් සහ කාජල් පෙම්වතුන් වුණ ඒ සොදුරු කාලය ගැන අපිට කණට ගහල
මතක් කරල දීපු ගීතය තමයි මේ. හිතට වදින්නෙ මේ සින්දුවෙ විතරක් නෙවෙයිමේ
දෙන්නා රගපාපු තවත් සුන්දර චිත්‍රපට ගණනාවක මතකයත් එක්ක. මොනව වුණත්
බොලිවුඩ් ඉතිහාසයට ඒ වගේ පුදුමාකාර සුන්දර තිරයේ පෙම් යුවලක් ආය බිහිවෙයිද
කියල මටනම් සැකයි
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment