Monday, April 13, 2020

ගහක මල් පිපිලා

යමුනා මාලනී පෙරේරාගේ සුන්දර පද පෙලක් ගුණදාස කපුගේ ශූරීන්ගේ තනුවකින් හැඩවෙලා කරුණාරත්න දිවුල්ගනේගෙ හඬින් අපට ඇහෙන්නෙ තුන්පත් රටාවක ලස්සන උපරිමයෙන් අරුත්ගන්වමින්. මේක සම්මතයෙන් බැහැර ආදර කතාවක් ගැන කියවෙන සුන්දර ගීතයක් බව ⁣බැලු බැල්මටම පේනව. ඒ ආදරයත් එක්ක දැනෙන මිහිරියාවත් ගී පද අතර වගේම ගී තනුව අතරෙත් රැඳිල තියනව.

නමුත් ඒ සම්මතයෙන් බැහැරයැයි සමාජය සම්මතයෙන් පිළිගත් ආදර කතාවක්ද? ඒ කියන්නෙ සුපුරුදු පරිදි ආදරය කරන්න තහනම් විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකුගෙ ආදර කතාවක්මද? එහෙමත් නැත්නම් සමහරු කියන විදියෙ සමලිංගික ආදරයක්ද? ඒක පද වැලත් එක්ක විවිධ පැතිවලට හිතුවහැකි.

"ගහක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
ඔබට හිත බැඳුණේ කිමැයි
මා තවම නොදන්නෙමි
ඔබට හිත බැඳි කාරණේ
මා තවම සොයන්නෙමි"

ගීතයේ ආරම්භය සම්මතය සහ අසම්මතය යන දෙකටම අදාළයි. සම්මතය ඇතුලෙ ආදර කතාවක වුණත් ඔය පද පෙලේ කියවෙන හැගීම සියුම් කිතියක් එක්ක හිත පතුලටම දැනෙන එක අනිවාර්යයි. එයට හේතුවක් බොහෝවිට හිතාගන්නට බැහැ. තර්කානුකූලව එය පැහැදිලි කරන්නත් හරිම අමාරුයි. කොයි පෙම්වතාත් පෙම්වතියත් තමන්ගෙ ආදර කතාව ආරම්භයේ මේ සුන්දර උභතෝකෝටිකයෙ හිර වෙනවා. සරළව "ඇයි මෙහෙම වුණේ?" කියන ප්‍රශ්නෙට උත්තර හොයනවා. ගීතය අසම්මතය පැත්තට දෝලනය වෙන්න පටන් ගන්නෙ ඊළඟ පද පෙලත් එක්ක.

"කතරෙ වැලිකැට හිරුට පෙම්බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්"

සාම්ප්‍රදායිකව වැලි කතරත් එක්ක බැඳිල තියෙන්නෙ දැඩි හිරු රශ්මිය. ඒත් හිරු රශ්මියෙන් කැකෑරිලා තියෙන කාන්තාරය ඉඳහිට ඇදහැලෙන සොඳුරු වැස්ස ආදරෙන් උරාගන්නව. ඒකට හේතුව සාම්ප්‍රදායිකව කාන්තාරය බැඳුණ හිරුගෙන් නොලැබෙන මිහිරියාවක් සහනයක් වැස්සෙන් ලැබීම. එය තමයි ආදරයේ සෙනෙහසේ අරුමය. එය ලෝක සම්මතය විසින් රාමුවක් ඇතුලෙ හඳුනාගත්තත් ඒ හැඟීමෙ හැටි එහෙමයි. හැඟීම් වලට වැට කඬුළු බැඳල තහනම් කරන්න හැකියාවක් නෑ.

මේ පද පෙළ පැති කීපයකින් තේරුම් ගන්න පුළුවන්. සමාජය පිළිගන්න රාමුවෙන් පිට ලස්සන යැයි සම්මත කෙනෙක් සහ කැත යැයි සම්මත කෙනෙක් අතර ඇතිවන බලවත් ආදරණීය බැඳීමක්, වෙනත් කුමක් හෝ හේතුවක් මත සමාජ සම්මතයෙන් බැහැර ඕනෑම ආදර කතාවක්, විශේෂයෙන්ම සමලිංගික ආදර කතාවකට මේ පදපෙල බොහොම පහසුවෙන් ගැලපෙන බව පේනව. නමුත් ගීත රසිකයෙක් විදියට මේක කතාකරන්නෙ සමලිංගිකත්වය ගැනමයි කියන රාමුවට නොදා ඒක සමස්ථයක් ලෙස අසම්මතය නියෝජනය කරවායැයි හිතන්න මම කැමතියි.

"සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්රේමය
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්"

මෙතන තමයි ටිකක් තේරුම් ගැනීම අපහසු වෙන තැන. උදුල තරු කැට සදහට පෙම් බඳින්නෙ සඳටයි කිව්වට. ඒක එහෙම නෑ. සඳ කියන්නෙ ග්‍රහවස්තුවක්. තරු කියන්නෙ ඇත්තටම පෘතුවියෙන් ගොඩක් ඈත තියන ඉරවල්ම තමයි. එතකොට සඳටයි තරු වලටයි තියන එකම පොදු සාධකය ඒ දෙවර්ගයම රාත්‍රි අහසේ එකවර පේන්න තියන එකම විතරයි. ඒත් එකට පෙනෙන්න තිබුණ පළියට තරු පෙම් බඳින්නෙ හඳටයි කියල කියනවනම් ඒක ලොකු බොරුවක්. ව්‍යාජයක්. බැඳීමකැයි පෙනෙන බැඳීමක් නැති තැනක්. ඒ නිසා ඇත්ත තත්වය තමයි සඳත් එක්ක එකට ඉන්නවා වගේ බැලු බැල්මට පේන තරුවක් හිරුට පෙම් බඳිනවානම් එය අසම්මතයක් නොවෙයි කියන එක. එය එක විදියකට ව්‍යාජය සුණු විසුණු කරගෙන සැබෑව එළියට ඒමක්. නමුත් පෘතුවි වාසී අපිට තරු පේන්නෙ රාත්‍රියේ හඳත් එක්ක වීම නිසා තරුවක් හිරුට පෙම් බැන්දොත් එය අරුමක් වගේ අපිට පේනව. ඒත් ඒක අරුමයක් නොවෙයි.

මේ ගීතයේ කථකයාගේ ආදරය ඒ වගේ අසම්මත යැයි පෙනෙන, ලෝකයා එහෙම දකින නමුත් ප්‍රායෝගිකව ගත්තාම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්මත එකක්. එතනදි ගීත රචිකාවිය සම්මත පදනම් හදපු අයටත් සියුම් පහරක් එල්ල කරනව. පදනම් හදපු අය විතරක් නෙමෙයි මෙතනදි ආදරයට භාජනය වෙන කෙනාත් එයින් පුදුමයට පත්වෙන බවක් කියවෙනව.

ඒ නිසයි මෙය හුදෙක් අසම්මතය ලෙස සරළව හෝ අසම්මතයේ එක උපකුලකයක් විතරක් වෙන සමලිංගික ආදරයකට පමණක් ලඝු කළ නොහැක්කේ. මෙතනදි ලොව අසම්මතය ලෙස දැක්කත් සැබෑවටම අසම්මතය නොවන ආදර කතාවක් ගැන ඉතා ගැඹුරින් කතා කරනව. ඒකයි ඒ ගීතය නැවත නැවතත් අසා බැලීම වටින්නෙ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...