Monday, April 13, 2020

ලිංගික අපරාධ - විසදුම කොයිබටද?

ලිංගික අපරාධ වැඩි වෙලා කියල මං පිළිගන්නෙ නෑ. අපරාධ අඩුයි. නමුත් ඒවා ජනමාධ්‍ය වලින් වාර්තා වෙන ප‍්‍රමාණය නම් වැඩිවෙලා තියෙනව. ඒ කියන්නෙ සිදුවන සිදුවීම් ගැන ඉස්සරට වඩා ඉක්මනට විස්තර සහිතව සමාජය දැනගන්නව. ඉතිං සාමාන්‍ය මිනිසාට අපරාධ, විශේෂයෙන් ලිංගික අපරාධ වැඩිවෙලා කියල ව්‍යාජ අවබෝධයක් ඇතිවෙන එකේ පුදුමයක් නෑ. නමුත් මගේ නීතිඥ සගයන් මාත් එක්ක එකග වෙනවා ඇති අපරාධ නඩු ප‍්‍රමාණය සැළකිය යුතු ලෙස අඩුවී ඇති බවට. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපරාධ මඩින්න අපි යමක් නොකල යුතු බවක්.

ලංකාවෙ සිදුවන බොහෝ ලිංගික අපරාධ වලට හේතුව ලිංගිකත්වය පිළිබද ලාංකිකයාගේ ඇති අනියත කුහුල. අපේ අධ්‍යාපන ක‍්‍රමය ඒ කුහුල නැති කරන ක‍්‍රන්න ඉලක්ක කළ යුතුයි. 9 වසරෙ සෞඛ්‍ය පොතෙන් ලිංගිකත්වය ගැන අපි මුලින්ම ඉගෙන ගත්තෙ. ඒක අපේ සෞඛන්‍ මිස් පන්තියෙ ඉගැන්නුවෙ නෑ. ඇයි මේ කුහුල? ඇයි විරුද්ධ ලිංගිකයො දකිද්දි ඇග කිළිපොලා යන්නෙ? එහෙම වෙන්නෙ ස්වභාවික සංසිද්ධියක් නිසා කියල අපි දැනගත්තෙ බොහොම කාලෙකයට පස්සෙ.

ඒ වගේම ලංකාවෙ මිනිස්සු ඉන්නෙ ලිංගික අහේනියකින්. විශේෂයෙන් තරුණ පරපුර. තමන් ලිංගික වශයෙන් උපරිම ලෙස ක‍්‍රියාකාරී සමයෙ අධ්‍යාපනය රස්සාව ජීවිතය ගොඩනගා ගැනීම වගේ දේවල් වලට බ‍්‍රහ්මචාරීව වෙසෙමින් හිරවෙන්න සිදුවෙලා තියෙනව. ඉතින් තරුණ තරුණියන්ගෙන් වැඩි දෙනෙකුට මේ උපරිම ක‍්‍රියාකාරී සමයේ කරන්න වෙලා තියෙන්නෙ විරුද්ධ ලිංගිකයන් දෙස බලබලා හූල්ලන එක. ඉතින් අසභ්‍ය චිත‍්‍රපටි අසභ්‍ය ප‍්‍රකාශන වලට තරුණ තරුණියන් නිතැතින්ම යොමු වෙන එක අහන්නත් දෙයක්ද.

මනෝ විද්‍යාත්මකව තහවුරු කරල තියෙන විදියට සැබෑ ලෙස ලිංගික ක‍්‍රියාවලියේ යෙදෙන එකයි අසභ්‍ය ප‍්‍රකාශන වලට ඇබ්බැහි වීමයි අතර ලොකු වෙනසක් තියෙනව. අසභ්‍ය ප‍්‍රකාශන වලට ලිංගික අහේනියකින් යුක්තව යොමුවෙන තැනැත්තා, ඒ කියන්නෙ තමන් දෑසින් දකින දේ යථාර්ථයක් ලෙස අත් විදින්න නොලැබෙන තැනැත්තා තමන්ටත් නොදැනීම බරපතළ මානසික රෝගී තත්වයකට ගොදුරු වෙනව. එය සමාජයට අතිශය භයානක තත්වයක්. කාලයක් හිතේ පීඩනය හිර කරන් ඉදල අවස්ථාවක් ලැබුණු ගමන් පහත් තැනින් යයි ගලා ජලේ කියල පීඩනය නොදැනීම එළියට පනිනව. ඒ බොහෝ විට ස්ත‍්‍රී දූෂණයක් ලෙසින්.

අපිත් දූෂකයව අල්ලගෙන ඌට තඩිබාලා ඌව එල්ලන්න කියල ජනාධිපතිට බල කරනව. ප‍්‍රශ්නෙ පටන්ගත්ත හැටි ගැන හිතන්නෙ නෑ. තවත් ඒ වගේ මානසික ලෙඩ්ඩු සමාජයෙ ඉන්න බවත් උන්ගෙත් පීඩනය කොයි වෙලාවෙ හරි වැට කඩුලු ඉවුරු බිදගෙන දෙගොඩතලා යන බවත් අපි හිතන්නෙ නෑ. එහෙම වෙලාවට ඌටත් තඩිබාලා එල්ලුවම හරි කියල අපි හිතනව.

නමුත් ඒ සදහා තිරසාර විසදුමක් ගැන සදාචාරමය හේතු උඩ අපි කතා නොකර ඉන්නව. මෙහිදී අති විශාල භූමිකාවක් අධ්‍යාපනයට තියෙනව. ලිංගිකත්වය ගැන මීට වඩා අතිශය පුළුල් අවබෝධයක් පාසල් සිසුන්ට ලබා දිය යුතු වෙනව. ඒ ඒ කාලෙට එහෙම හිතෙන්නෙ ඇයි කියල ඒ කාලෙදිම තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවානම් ගග ගලන්න පටන් ගද්දිම වැරදි පැත්තට ගලන එක වලක්වා ගන්න ඉහළ සම්භාවිතාවක් තියෙනව.

මම පුද්ගලිකව විශ්වාස කරන හැටියට ලිංගිකත්වය පිළිබද විරුද්ධ ලිංගිකයාගේ සිරුර පිළිබදව ඇති අනියත කුහුල පිළිබද නිසි කාලෙදි අවබෝධ කරල දීල විරුද්ධ ලිංගිකයා අමුතු ජීවියෙක් නොවන බවත් ඔහුට ඇයට සහෝදරයෙක් සහෝදරියක් ලෙස කොටින්ම තමන් වගේම ඇට ලේ මස් නහර වලින් හැදුණ ජීවිතයක් ලෙස සළකන්න ඉගැන්නුවොත් අද සිදුවන ලිංගික අපරාධ වලින් 80% ක්ම අඩුකරගන්න පුලුවන්. ඒත් අපේ අධ්‍යාපන ක‍්‍රමය විසින් හඹා යන ආර්ථික ඉලක්ක හමුවේ ඔය වගේ සමාජ විද්‍යාත්මක ඉලක්ක ළගාකරගැනීම ප‍්‍රායෝගිකද කියල ප‍්‍රශ්නයක් තියෙනව.

මහේස්ත‍්‍රාත් උසාවි වල වැඩ කරන මගේ උගත් මිත‍්‍රයො දන්නව හැම නගරෙකම ගණිකාවො ඉන්නව. මොන නීති ගෙනාවත් එයාල බුද්ධ කාලීන සමාජෙත් හිටිය අදත් ඉන්නව හෙටත් ඉන්නව. කවුරු මොනව කිව්වත් වයසත් එක්ක එන පීඩනය කාටවත් හිරිහැරයක් නැති විදියට මුදා හරින්න ගණිකාව විසදුමක් විදියට සමාජය ප‍්‍රායෝගිකව යොදාගෙන තියෙනව. ඒත් කලින් වගේම ඒක මතවාදීව පිළිගන්න සදාචාරමය හේතු උඩ අපි මැළි වෙනව.

දැන් ඉන්න ගණිකාවන් නිසා විවිධ රෝග සමාජයේ පැතිරෙනව. අවිධිමත් ලෙස සේවාදායකයන් බා ගැනීමට දරණ උත්සාහයන් නිසා විශාල සමාජ ප‍්‍රශ්න මතුවෙලා තියෙනව. දැන් ගණිකාවට නීති නෑ. තියෙන්නෙ රුපියල් 250 දඩය පමණයි. ගණිකාව ඒක ගෙවල අර ලෙඩ පිටින්ම සුපුරුදු වෘත්තියට ගිහිල්ල ආයෙත් සමාජයට ලෙඩ බෝ කරනව. ගණිකාවො එපා කියල හාමුදුරුවරු දහ දෙනෙක් දළදා මාළිගාව ළග ගිනිතියා ගත්තත් ඔය ටික නොවෙනස්ව ඉදිරියටම යනව.

ඒක නොවෙනස්ව ඉදිරියට යන බව අපි මුලින්ම පිළිගන්න වෙනව. ඒක වලක්වන්න බැරි බවත් තේරුම් ගන්න වෙනව. ඒ නිසා ඒක සමාජයට සිදුකරන හානිය අවම කළ හැකි ක‍්‍රමවේදයක් හදන්න වෙනව.

මං මෙතනදි උදාහරණයට ගන්නෙ වාහන. ලංකාවෙ ලියාපදිංචි වාහන ප‍්‍රමාණය කීයද කියල නිශ්චිතව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙ තියෙනව. නමුත් ගණිකාවො කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද අපි දන්නෙ නෑ. එහෙම ලියාපදිංචි ක‍්‍රමයක් හැදුවොත් දැනට තියෙන සමාජ ප‍්‍රශ්න බොහොමයක් නැතුව යනව කියල සදාචාර හේතු උඩ අපි නොසලකා හරිනව.

වාහන වලට වාර්ෂික දුම් පරික්ෂාවක් තියෙනව. දුම් පරික්ෂාවෙන් අසමත් වාහන ඊළග අවුරුද්දෙ පාරට දාන්න බෑ. ගණිකාවන්ට සමාජ රෝග ගැන එහෙම වාර්ෂික පරීක්ෂණයකින් සමත් වීම අනිවාර්ය කරන්න පුලුවන් කම තිබියදී අපි එහෙම නොකර ලෙඩ පතුරවනව කියල ගණිකාවට බැණ බැණ ඉන්නව.

රියදුරෙක් බීලා වාහනය එළෙව්වම රියදුරු බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවනව. ගණිකාවකට නිසි නීති සංග‍්‍රහයක් හදුන්වා දුන්නොත් ගණිකාවට සමාජයේ හිමි තැනක් ලැබෙනව වගේම ගණිකාව සුදුසු පරිදි නියාමනය කිරීමේ හැකියාවකුත් රජයට ලැබෙනව. නමුත් අපි සදාචාර හේතු උඩ ඔය මුකුත් නොකර සමාජයේ ලිංගික අසහනය ඔඩු දුවන්න ඇරල ඔඩු දුවාපු එකාව විතරක් එල්ලන්න කතා කරනව.

සමහරු තද නීති මගින් ලිංගික පීඩනය මඩින්න කතා කරනව. බල්ලා රළේ යන කාලෙට ඌව බැදලා බලන්න. ඌ බෙල්ල ඉරාගෙන හරි දම්වැල ගලවගෙන ආපහු රළටම යනව. නැත්නම් ඒ සති දෙක තුන නොකා නොබී ඔහේ බලාගෙන ඉන්නව. මිනිසාත් සතෙක්. තම සත්වගති පිරුවටයෙන් වහගෙන හිටියට තාම සතෙක්. ඒ සත්ව ගති තම තම නැණ පමණින් එක එක්කෙනා පාලනය කරන් ඉන්නව. නමුත් නැණ මට්ටම එක සමාන වෙන්නෙ නැති බවත් ඒක කවදාවත් එක සමාන කරන්න බැරි බවත් අපි දන්නව. ඉතිං මුලින්ම ප‍්‍රශ්නයක් ඇති බව තේරුම් ගැනීම වටිනව.

ඊළගට ප‍්‍රශ්නෙට සියලු දෙනා සතුටු කරන උත්තරයක් දෙන්නනම් ලංකාවෙ සමස්ථ ජනගහණය තොග වශයෙන් සෝවාන් කරන්නවත් වෙන බව අපිට හිතන්න වෙනව. ඒක ප‍්‍රායෝගික නැති බව තේරුම් ගන්න වෙනව.

හම්බවෙන හම්බවෙන දූෂකය එල්ලුවත් වැඩේ වෙන්නෙ නැති බව තේරුම් ගන්න අපරාධ විද්‍යාව ගැන පරතෙරට ගිය දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඉතිං ප‍්‍රායෝගික විසදුමක් දෙන්න වෙනව. පුද්ගලිකව මම යෝජනා කරන කෙටි කාලීන විසදුම ගණිකා වෘත්තිය නීතිගත කිරීම. දිගුකාලීන විසදුම අපේ අධ්‍යාපන ක‍්‍රමයට නිසි පරිදි ලිංගික කාරණා පිළිබද අධ්‍යාපනය ඇතුලත් කරලා ලිංගිකත්වය හා විරුද්ධ ලිංගිකයා ගැන තියෙන අනියත කුහුල නැති කිරීම.

ඔබ යෝජනා කරන විසදුම මොකක්ද???

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...