සිංහල සිනමාවේ සුවිශේෂී සළකුණක් තියපු සප්ත කන්‍යා චිත්‍රපටයේ එන මතකයේ
රැඳෙන ගීත ගොන්නෙන් තවත් එක් සුවිශේෂී ගීතයක් තමයි මේ. එක වරක් පමණක් අහපු
කෙනෙකුට වුණත් තමන්ටම නොදැනී නැවත නැවත මිමිණෙන තරම් ළගන්නාසුළු තණුවකින්
එය සමන්විතයි. මොරිස් විජේසිංහගේ සුවිශේෂී හඬ රෝහණ වීරසිංහයන්ගේ තනු
නිර්මාණ ප්‍රතිභාව එක්ක එකතු වුණාම හැදෙන්නෙ මතක හිටින සංකලනයක්. ඒ විතරක්
නෙමෙයි. වසන්ත කුමාර කොබවක මේ ගීතයට ඕනෑම කෙනෙකුගෙ හෘදය සාක්ෂිය හූරවන
තරම්වන අරුතක් එක් කරල තියෙනව.
"දූවිල්ලෙන් වත්සුණු තවරා
කුමර කුමරියන් වී ලෙංගතු ඇසුරේ
වහස් බැලුම් දෙන හැන්දෑවේ"
කොබවක ලියන්නෙ දූවිල්ලෙන් වත්සුණු තැවරීමක් ගැන, ඒ කියන්නෙ එක විදියකට ලාබ
වත්සුණු ගැන. තවත් විදියකට බාහිර පෙනුමෙන් කොහොම වුණත් ඒ පෙනුම ඔප්නංවලා
තියෙන්නෙ ව්‍යාජයක් නොවැදගත් දෙයක් මත කියන එක. සැඳෑ කාලයේ වහස් බැලුම්
නැත්නම් වහසි බැලුම් ඒ කියන්නෙ ව්‍යාජ බැලුම් හෙළමින් කුමර කුමරියන් වගේ
ලෙංගතුකමක් මවාපාන්නෙ කවුද? ඔහු ලියන්නෙ වෛශ්‍යාවකගෙ ශෝකාලාපය ගැන.
"නන්නාඳුනනා කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුළේ නිමේෂයක්
කොඳුරාවී රහසින්
ආගිය උන්හිටි තැන් සඟවා"
ඇය හෘදය සාක්ෂිය හළා බොහෝ කල්. ඇය මේ නන්නාදුනන නගරයට අවතීර්ණ වෙන්නෙ සිත
බොහෝ දුරට මරා දමලා කයින් පමණයි. සරළව කිව්වොත් වැඩිය හිතන්නෙ නෑ, එහෙම
හිතල බෑ කියන එකයි කියවෙන්නෙ. වෙසඟනත් කරන්නෙ වෘත්තියක්. ඒ වෘත්තිය තුල ඇගේ
ගාස්තුව ගෙවන කවුරුන්ගේ හරි තුරුළේ මොනවා හෝ කොඳුරමින් තුරුල් වීම ඇගේ
වෘත්තියේ කොටසක්. නමුත් එ් එක් නිමේෂයකට පමණයි. ඒ කියන්නෙ ඒ තුරුල් වීමේ හෝ
කෙඳිරීමේ ආදරයක් නෑ. ඇයට ඊළඟ තත්පරයේදි ඒ තුරුල් වුණ මොහොත වැදගත් නෑ. ඇය
ඇගේම හෘදය සාක්ෂිය හාරා වළදමන්නට හදන කාලකන්නි නිමේෂයක් මිසක් ඇයට එහි ඇති
වැදගත්කමක් නෑ.
බොහෝ දෙනා ගණිකාවන් ඇසුරෙදි වෘත්තිකයෙකු ලෙස ඇයට
ගරු නොකර ඇගේ විස්තර, කොහොමද මේ වෘත්තියට ආවෙ වගේ දේ කතා කරන්න පෙළඹෙනවා. ඒ
ඇය කෙරෙහි අනුකම්පාවට වඩා, තමා මුදලට ගත් කාම ධේනුවගේ සැබෑ ජීවිතය කෙසේ
එකක්දැයි දැනගැනීම සඳහා වන ලිංගිකමය ආශාවකම එක් ස්වරූපයක්. නමුත් ඇයට
සැඟවීමට අවශ්‍ය දේත් එයමයි. ඇගේ පුද්ගලික ජීවිතය, ආගිය උන්හිටි තැන පිළිබඳව
තමයි ඇය වැඩිපුරම හංගන්නෙ.
"ගිනි කඳු සිරසේ
මළපුඩු අතරේ
කැදලි සදාවී
මොනර කිරිල්ලී"
ඇය මොනර කිරිල්ලියක්. සමාජයේ වර්ණවත්ව හැසිරෙනවා. නමුත් කලින් කිව්වා වගේ
කයින් පමණක්. එසේ වුණත් ඇයටත් හීන තිබෙනවා. ඇයත් කැමතියි සැමියෙකුට
බිරිඳක්, දරුවන්ට මවක්, මිත්තණියක් වෙන්න. ඒ හීනය වළලන්න උත්සාහ කළත්
හැමවිටම එය සාර්ථක නෑ. ඇගේ සිත ඇය ගතකරන අතිශය අවදානම් සහගත ජීවිතය තුලත්
ගිනිකඳු අතරේ, මරඋගුල් අතරේ ඇයටම කියලා ජීවිතයක් හදාගන්න ඇයව පොළඹවනවා.
"රැයකින් රැයකට කුස පිරෙනා
සඳ සෙවනැල්ලේ
සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ
වහස් බැලුම් සඟවා
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී... මොනර කිරිල්ලී"
ඇය ගතකරන්නෙ එදිනෙදා වේල සොයාගන්නා ජීවිතයක්. ඒ සඳහා ඇය රාත්‍රි
සෙවනැල්ලක් පමණක් ලෙස සමාජයේ සැරිසරනවා. සෙවණැල්ලකට වඩා වටිනාකමක් ඇයට කිසි
කෙනෙක් දෙන්නෙ නෑ. නමුත් ඇය දහසක් අභියෝග මධ්‍යයේ වුණත් හදාගන්නට තනන
කැදැල්ල, හදාගන්නට හදන ජීවිතය නැමති මිටියාවතේ ඇය කයින් තොරව සිතින් පමණක්
හැසිරෙනව. ඇය ඇගේ හෘදය සාක්ෂිය අව්‍යාජව මුදා හරිනවා. එතැනදී ඇගේ සැබෑ
ජීවිතයේ හෙළන්නට සිදුව ඇති වහස් බැලුම්, ව්‍යාජ බැලුම් සඟවා ආදරයේ
මිහිරියාව දැනුණ නව යෞවනියකගේ අව්‍යාජත්වය මුදා හරිනවා. එතැනදී ඇගේ
බලාපොරොත්තුව තමන් සිහින මවන ඒ ජීවිතයට කෙසේ හෝ අවතීර්ණ වීම. ඒ සඳහා සැබෑ
ජීවිතයේ දුබල ඇයට උකුසු ඇසක් අවශ්‍යයි. එනම් කල්පනාකාරීව, බුද්ධිමත්ව
කටයුතු කළ යුතුයි. ඒ වගේම ගුරුළු වෙසක් අවශ්‍යයි. ඒ කියන්නෙ මහා ධෛර්යයක්
ශක්තියක් අවශ්‍යයි. ඒ උකුසු ඇසයි ගුරුළු වෙසයි ළඟා කරගන්නට ඇයට හැකිනම් ඇය
දැනට දිවි ගෙවන අපායෙන් පියඹා යන්නට ඇයට හැකිවනු ඇති.
"සැඩ සුළගේ
මුල් ඉදිරී යන ගස මුදුණේ
නූපන් දවසේ රන්කිරි කඳුලේ
සිහින දකීවී මොනර කිරිල්ලී"
ඇය ජීවත් වෙන්නෙ මහා සැඩ සුළඟකින් මුල් ඉදිරී බිමට වැටෙන්නට යන ගසක්
මුදුණේ ඉන්නවා වගේ ජීවිතය ගැන මහා අවිනිශ්චිතතාවයකින්. නමුත් එහෙම අවදානමක
ඉඳගෙනත් නූපන් හෙට දවස එනම් තවමත් උදා නොවූ අනාගතයේදි ඇතිවනවායැයි හිතන
සතුට සෞභාග්‍යය ගැන ඇය නිරන්තරයෙන්ම සිහින දකිනවා.
මේ ගීතය ගායනා
කරන මොරිස් විජේසිංහට සිංහල ගීත කලාව තුල ප්‍රමාණවත් අවකාශයක් ලැබුණේ නැති
බවයි මගේ අදහස. ඒ අනුපමේය හඬ පෞරුෂය හරහා අපිට සමීප වෙන්නෙ මේ ගීතයත්, "ඔබ
එන්න ඔබ ඇවිත් යන්න එන්න" ගීතයත් පමණයි. ඊට අමතරව මීට වසර 20කට පමණ පෙර
ජාතික රූපවාහිනියේ විකාශය වූ "දෑකැති මුවහත" ටෙලිනාට්‍යය සඳහා ඔහු ගයන
"පෙරදිග අහසේ ළහිරු කිරණ සේ" ගීතයත් මතකයේ රැදෙන තරම් අරුත්බර ආකර්ශනීය
ගීතයක්.
වෙනත් ගීත වලට සාපේක්ෂව මේ ගීතය ගායනා කිරීම ඕනෑම කෙනෙකුට
සැබෑ අභියෝගයක්. මොකද මේ ගීතයේ තනුව නිර්මාණය වෙලා තියෙන විදියට ඉතාම
ළයාන්විත ස්වරයේ සිට උච්ඡ ස්වරය දක්වා විහිදෙන ඉතා පුළුල හඬ පරාසයක් නැති
කෙනෙකුට මේ ගීතය ගායනා කරනවා තියා හිතන්නවත් බෑ. අනෙක් කරුණ වෙනත් ගීත වල
සංගීතය හරහා ගීතය ආරම්භ කරන්න ඕන අවසාන කරන්න ඕන ස්ථාන හරි පැහැදිලියි.
නමුත් මේ ගීතයේ සෑම අස්සක් මුල්ලක් පිළිබඳවම අවබෝධයක් නොතිබුණොත් නොගැලපෙන
තැනකින් ගීතය පටන්ගෙන හරි ලේසියෙන් සබන් නැතුවම නාගන්න පුළුවන්.
ඒ
නිසාම මේ ගීතය කවදාහරි කෙසේහෝ ගායනා කරනවාමයි කියලා හිතේ තිබුණත් ඒක උත්සාහ
කරල බලන්න යම් පසුබෑමක් තිබුණා. නමුත් මම ඊයේ දිනයේ කුරුණෑගල නීතිඥවරුන්ගේ
2019වසරේ වාර්ෂික සුහද හමුවේදී ඒ සඳහා දරණ ලද උත්සාහය යම් තරමකට හෝ සාර්ථක
වුණා කියල මම හිතනවා. අවාසනාවකට ඒ මොහොතේ එය පටිගත කරගැනීමට හැකියාවක්
ලැබුණෙ නෑ.
කෙසේ වෙතත් ගීත ගායනයෙන් සතුටක් හැර කිසිවක් නොලබන
කෙනෙකු විදියට වුණත් "මම දූවිල්ලෙන් වත්සුණු තවරා කිව්ව" කියන එක මම
සළකන්නෙ මට ආගන්තුක සංගීත ක්ෂේත්‍රයේ මට තියන්න හැකිවූ ඉහළම සලකුණ හැටියට.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙ...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
-
රත්න ශ් රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්...
No comments:
Post a Comment