Tuesday, April 14, 2020

අඬන්නෙ ඇයි සුදු මැණිකේ

ච.ආර්. ජෝතිපාල කියන්නෙ ශ්රී ලාංකීය ගීත රසිකයන්ගෙ හදවතේ ගායකයා. ඒක තව බොහෝ කාලයක් ඉදිරියටත් එහෙමම පවතීවි. ලොකු බරපතළ තේරුම් සහිත ගීත වගේම හදවතේ ගැඹුරුම තැනට දැනෙන සරළ වචන වලින් යුතු සුන්දර ගීත රාශියක් ඔහු ගායනා කොට තිබෙනවා.

කලකට පෙර ලංකාදීප පුවත්පතේ මට මතක විදියට "ජෝතිාග් ජෝතිමත් ජීවිතය" මැයෙන් පළවුණ ලිපි පෙළක තිබුණ විදියට මුලින්ම ගීත ගායනා කරන්න ගිය දවසේ ජෝතිපාලට ආපසු හැරී යන්න සිද්ධ වෙනවා. ඒ ඔහුගේ හඬට මයික්රපෝනය දෙදරීම නිසා සංගීත අධ්යක්ෂවරයා ඔහු සමග වැඩ කරන්න එතරම් කැමැත්තක් නොදැක්වීම. නමුත් අධෛර්යයට පත් නොවූ ජෝතිපාල සමස්ථ ශ්රී ලාංකිකයන්ගේ හදවත් දෙදරවූ ගායකයා බවට ඉතාම කෙටි කාලයකින් පත් වෙනවා.
ඔහුගේ ගීතවල ගැඹුරු හරයක් බරක් නැහැ කියලා ඇතැමුන් චෝදනා කළ කාලයක් තිබුණා. ඉන්දීය ගී තනු වලට ගීත ගායනා කිරීමත් විවේචනයට ලක්වුණා. නමුත් අදටත් ජෝතිපාලගේ ගීත නොමැතිව ට්රිප් යන්න බැහැ. සාදයක් පවත්වන්න බැහැ. ඒ තමයි ජෝතිගේ ජෝතිමත් බවේ ආනුභාවය.

මේ ගීතය ජෝතිගේ ගීත ගොන්න අතර තියෙන ආදරණීයම ගීත වලින් එකක්. ආදරවන්තයෙකුට තමන්ගෙ ආදරවන්තියගෙ දුක කියන්නෙ දරාගන්න බැරි වේදනාවක්. එය අඬන ඇයට වඩා හිත ඇතුලෙන් ඔහුව ⁣දැඩිව රිදවනවා. එවැනි අත්දැකීමක් ගැන කියවෙන සුන්දර ගීතයක් තමයි මේ.

"අඬන්නෙ ඇයි සුදු මැණිකේ
කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කදුළැලි
ආදර නිල්මිණි දෑසේ…"

ඔහු නිල් මැණික් වලට උපමා කරන ආදරය පිරුණු ඇගේ ඇස් දෙකෙන් වැටෙන කඳුළු ඔහුට උහුලන්නට බැරි තරම්. මේ ගීතයේ කියවෙන විදියට ඇය අඬන්නෙ ඇයි, ඇය දුකින් තරහින් ඉන්නෙ ඇයි කියන එක ඔහු දන්නෙ නෑ. ගොඩක් අවස්ථාවල එහෙම තමයි. අඬලා, තරහ වෙලා, බැණලා ඔක්කොම ඉවර වුණාට පස්සෙ තමයි ඒකට හේතුව එළිදරව් වෙන්නෙ. ඒක පුරුෂයන්ට මුහුණ දෙන්න වෙන නියත උභතෝකෝටිකයක්. 😊 ඒ නිසා ඔහු ඇගෙන් අහනවා අඬන්නෙ ඇයි කියල කෙලින්ම. නමුත් ඒ අහන ප්රශ්නයෙ තියෙන ශෝකාකූල බව තියෙන්නෙ ගීතයේ වචනවල නෙ⁣වෙයි. ගී තනුවෙ සහ ජෝතිපාලගේ හඬ තුල ඒ කතාව කියවෙනවා.

"ඔයාව ජීවිතයේ
මට හමුවුන මුල් දවසේ
සිනාව දෑසේ
අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරි කතා
තවමත් ඇහෙනවෙ වගේ
ප්රියාවි රැක ගන්නම්
හද බලකොටුවෙහි මාගේ…"

ඔහු ඇහුවත් ඇය කියන්නෙ නැහැ අඬන හේතුව. ඔහුට දැනෙන්නෙ තමන්ගෙ ලෝකයම බරපතල වැහි අඳුරකින් වැහිලා වගේ. ඉතින් ඔහුට ඒ වෙනුවෙන් යමක් කරන්න වෙනවා. ඔහුට කරන්න පුළුවන් එකම දේ ඔහු ඇයට කොයිතරම් ආද⁣රය කරන්නේද යන්න පහදා දීම පමණයි.

ඒ නිසා ඔහු සිහිපත් කරනවා ඔහුගේ ඇගේ ආදර කතාවේ සුන්දර මතකය. හමුවූ මල්ම දිනය, ඒ සිනාව, ඔවුන් කතාවුණ මිහිරි කතා, ඒ සතුට ඔහු ඇයට සිහිපත් කරවනව. ඉන්පස්සෙ තමන්ගෙ හදවත නැමති බලකොටුවේ ඇය ආදරයෙන් රැකගන්න බවට පොරොන්දුවක් දෙනව.

"මැණිකේ සුවද මලයි
පිපි බාධක කටු අතුලේ
සිටින්න දෝතින් ඒ මල
නෙලනා තුරු මැණිකේ
දිලෙන්නෙ එක තරුවයි
සද වට කර පෙම් ලෝකේ
සද මැණිකෙයි මා පායන තරුවයි
රෑ අහසේ…"

එහෙත් ඇය තාම නිහඬයි. ඒ නිසයි ඔහුට ඔවුන්ගෙ ආදර කතාවට ඇති බාධා සිහිපත් වෙන්නෙ. ඇය සුවඳ මලක්. නමුත් නෙලාගන්න පහසු නෑ. කටු අතර බාධක මධ්යයේ තමයි ඇයව දිනාගන්නට වෙන්නෙ. ඇය අඬන්නෙ ඒ ගැන හිතලා යැයි හිතන ඔහු ඇයට ආයාචනා කරනවා නෙළාගන්න තුරු ඉවසා ඉන්නට කියලා. ඔහුට ඇය සඳක්. ඒ සඳවට දිලෙන එකම තරුව ඔහු. ඒ ඔහුගේ සිහින ලෝකයට අනුව. එකෙන් ව්යංගයෙන් කියවෙන දේ තමයි ඇය නම් වූ සඳත් එක්ක අහසේ තනියම පායන එක ඔහුගෙ සිහිනය බව. නමුත් යථාර්ථය අනුව අහසෙ තව තරු තියෙනවා. එතකොට ඔහුගේ මන:කල්පිතය යථාර්යට වඩා මදක් වෙනස්. ඒ සිහිනය ඇයට සිහිපත් කරලා එහි සුන්දරත්වයෙන් ඇයව මුසපත් කරවලා සනසන්න ඔහු උත්සාහ කරනවා. නමුත් තවම ඔහු දන්නෙ නෑ ඇය අඬන්නෙ ඇයි කියලා.

මේ ගීතයේ සැබෑ අරුත විඳින්න පදපෙල පමණක් කියවලා මදි. ඇය අඬන එක ඔහුට කොයිතරම් විශාල දුකක්ද වේදනාවක්ද යන්න සම්පූර්ණයෙන්ම පාහේ අඬංගු වෙන්නෙ ගී තනුව සහ ජෝතිපාලගේ හඬ තුල. ගීතයක් යනු පදපෙල, තනුව හා ගායනයේ සුසංයෝගයක් යන්නට මේ ගීතය හොඳම උදාහරණයක් වෙන්නෙ ඒ නිසා.

පදපෙල ප්රවීන මාධ්යවේදී, ගීතරචක ධර්මසිරි ගමගේ විසින් කළ සුන්දර වාග් සිත්තමක්. තනුව මොහොමඩ් සාලිගේ. එයට ජෝතිගේ ජෝතිමත් හඬ අපමණ ජීවයක් සපයල තියෙනවා.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...