Sunday, April 12, 2020

නඩු තීන්දු‌‌වෙන් ‌නොකී කතා..! -නීතිඥ අතිල අතාවුද






(ලංකා ඊ නිව්ස් -2018.දෙසැ.14, පෙ.ව.7.45) වසර හතරහමාරක් ගතවීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව අධිකරණය තීරණය කර ඇත. ඒ අනුව එය ව්‍යවස්ථාවට අනුකූල යැයි කියමින් ඉදිරිපත් වූ තර්කයන් කිහිපයක් සම්බන්ධයෙන් අදහසක් දැක්විය හැකි මොහොතක් උදාවී ඇත.

1. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද්දේනම් එයට එරෙහිව ගතහැකි එකම ක‍්‍රියාමාර්ගය පාර්ලිමේන්තුව තුල ගෙන එන දෝෂාභියෝගයක් පමණක් බව

මෙම නීති තර්කයට බලාත්මක භාවයක් ලැබුණේ නම් එදින පටන් ශ‍්‍රී ලංකාවට දීර්ඝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවනු ඇත. "සියල්ල විධායක ජනාධිපතිවරයාගේ සිතැගි පරිදි ඉටුකෙරෙන්නේය" යන සරළ වාක්‍යය පමණක් ව්‍යවස්ථාව ලෙසින් ප‍්‍රමාණවත් වනු ඇත. මන්ද ජනාධිපතිවරයාට තමා කැමති දෙයක් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුුකර එයට එරෙහිව දෝෂාභියෝගයක් පැමිණීමේ අවදානමක් දුටු වහාම ව්‍යවස්ථා විරෝධීවම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද කළ හැකි තත්වයක් ඒ අනුව උදාවන බැවිනි.

යම් විසදුමක් හෝ නීති තර්කයක් යථාර්ථවාදී විය යුතුය. මෙතැන පැනනැගුණු ප‍්‍රශ්නය ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. එවිට එය ප‍්‍රතිකර්මය පාර්ලිමේන්තුව තුලින්ම ගෙන එන දෝෂාභියෝගයක් නම් එවන් දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තුවක් කොයින්ද? එය විසුරුවා හැර ඇත. එය හුදු කියන්නන්වාලේ විසදුමක් මිස යථාර්ථවාදී විසදුමක් නොවන්නේ එබැවිනි.

2. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව එහිම 70 (1) ට යටත් නැති බව

මෙසේ වී නම් 70 (1) ව්‍යවස්ථාව හුදු වචන නාස්තියක් පමණක් වනු ඇත. 70 (1) යනුවෙන් වෙනම ව්‍යවස්ථාවක් ඇතිකිරීමේ අරමුණක් තිබිය යුතුය. එය හුදෙක් විනෝදයට ඇතුලත් කළ නිෂ්ප‍්‍රයෝජන ප‍්‍රතිපාදනයක් නොවිය යුතුය. සරළම පැහැදිලි කිරීම "ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නියමිත කාලයට කලින් විසුරුවා හැරිය හැක, එසේ කළහැක්කේ කුමන ප‍්‍රතිපාදන වලට යටත්වද යන වග අසවල් තැන ඇත" යන්නයි.

3. 33 (2) ව්‍යවස්ථාව ඇත්තේ හදිසි අවස්ථාවක ප‍්‍රයෝජනයට ගැනීමටය යන්න

එය එසේම වීනම් හදිසි අවස්ථාව කුමක්දැයි දක්වා තිබිය යුතුය. එය තීරණය කළ යුතු නිර්ණායක දක්වා තිබිය යුතුය. හුදෙක් හදිසි අවස්ථාව කුමක්දැයි තීරණය කරන්නේ ජනාධිපතිවරයා නම් සැබැවින්ම හදිසි අවස්ථාවක් තිබීම අත්‍යවශ්‍ය නැත. තමා කැමති වේලාවක හදිසි අවස්ථාවක් යැයි කියමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඉඩ ලැබෙනු ඇත. එය තත්කාලීන සිදුවීමේදී මෙන් ජනාධිපතිවරයා විසින්ම නිර්මාණය කළ හදිසි අවස්ථාවක්ද විය හැකත එහෙත් කරන්නට දෙයක් නැතිවී එය නීතිය වනු ඇත. අවසාන මොහොතේ වැළකුණේ එවන් භයානක බලයක් ජනාධිපතිවරයාට ආරෝපණය වීමට තිබූ අවධානම් අවස්ථාවකි.

4. 19 වැනි සංශෝධනයෙන් සැබැවින්ම සිදුවූයේ ජනාධිපතිවරයාගේ බලතල වැඩිකිරීම බව

එය ව්‍යවස්ථාව පමණක් බලා තීරණය කළ හැක්කක් නොවේ. අදාළ ව්‍යවස්ථාව සම්මත කරන අවස්ථාවේදී ව්‍යවස්ථාදායකය අදහස්කරන ලද්දේ කුමක්ද යන්න මනාව වටහා ගතයුතුය. ඒ සදහා හැන්සාඩ් වාර්තා යනාදිය පරිශීලනය කිරීමට සිදුවේ. එම හැන්සාඩ් වල ඇති පාර්ලිමේන්තු විවාද තුලින් පැහැදිලි ලෙසම 19 වැනි සංශෝධනය මගින් සිදුවන්නේ ජනාධිපතිවරයාගේ බලතල සීමාකිරීම බව ඒකමතිකව පිළිගැනුණි. එය සියලුම පක්ෂ වල මන්ත‍්‍රීවරුන්ගේ කතා තුල 19 සංශෝධනයේ අරමුණ කුමක්දැයි පැහැදිලිව දක්වන අවස්ථාවකි.

එකී සංශෝධනයට විරුද්ධව චන්දය දුන් එකම මන්ත‍්‍රීවරයා පවා එසේ කිරීමට පදනම වූයේ මෙම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති බලතල මෙතරම් දැඩිව කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ඇති විරෝධයයි. ඒ අනුව එයින් සිදුවන්නේ අසවල් අසවල් බලතල අඩුවීම බව ඔහුද පිළිගෙන ඇත. එබැවින් 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී ව්‍යවස්ථාදායකයේ් අරමුණ කුමක් වීද යන්න ඉතාම පැහැදිලි ඇස් පනාපිට තිබූ දෙයකි. එය නොවැටහෙන ලෙස අර්ථ දැක්වීම සැබැවින්ම හාස්‍යජනක වේ.

5. 70 (1) ව්‍යවස්ථාව 33 (2) ව්‍යවස්ථාව සමග ඉදිරිපත් නොකළේ නම් 19 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත නොවිය හැකිව තිබුණු බව

විරොධතාවයක් ඇත්නම් එය ඉදිරිපත් කළයුතු නිසි අවස්ථාවක් ඇත. මා උසස්පෙළට ජීව විද්‍යා අංශයෙන් හැදෑරුවේ නම් මට වෛද්‍යවරයෙකු වීමට තිබූ බවක් දැන් කියා වැඩක් නැත. මම මාගේ මාවත තෝරාගෙන නීතිඥවරයෙකු වී හමාරය. එබැවින් නිසි අවස්ථාවේදී මතු නොකරන ලද තර්කය ශූන්‍ය තර්කයක් බවට පත්වේ. ඔය කියන ප‍්‍රශ්නය 19 වැනි සංශෝධනය පිළිබදව විවාද හා කාරක සභා අවස්ථා වලදී ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වීමට ඇති තරම් අවස්ථාව තිබුණි. එය එසේ නොකර දැන් හදිසියේ තමන්ට අවාසි වනවිට පමණක් එය මතක්වී දිව යාම පලක් නැත.

6. මැතිවරණය මේ මොහොතේ ජාතික අවශ්‍යතාවයක් බව

එය ජාතික අවශ්‍යතාවයක් බව කියන්නේ එක්තරා දේශපාලනඥයින් පිරිසක් සහ ඔවුන්ගේ අනුගාමිකයින් පිරිසකි. ව්‍යවස්ථානුකූලව ගත් කල ජනවරමක් ජනතාව විසින් ලබාදෙන්නේ යම් නිශ්චිත කාලයකටය. එය එකී ජනවරම සදහා චන්දය ලබාදෙන අවස්ථාවේ ඔවුන් දනිති. ඉන්පසු අතරමැදදී එක එක්කෙනා සිතන ආකාරයෙන් "දැන් ජනමතය වෙනස් වී ඇත" යන පදනම මත මැතිවරණ වලට යාමට ගියහොත් සැමදා සිදුවන්නේ මැතිවරණ පවත්වමින් සිටීමටය. එසේ නම් දැන් පවත්නා ආකාරයේ කලකට වරක් පවත්වන චන්ද ක‍්‍රමය අහෝසිකර ෆේස්බුක් පිටුවකට ලයික් දමන ක‍්‍රමයට තමාට කැමති අවස්ථාවක අන්ලයික් කිරීමට හැකිවෙන පරිදි ජාලගත ක‍්‍රමයක් ඇතිකළ හැකිය. ඒ අනුව මේ මොහොතේ වැඩිම ලයික් තියන පක්ෂය ආණ්ඩුව වනු ඇත. ලබන සතියේ එය නැවත වෙනස් වනු ඇත. එය ඇසූ පමණින්ම විහිලුවකි.ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයන්හි ජනවරමකට කාලයක් දී ඇත්තේ හේතුවක් ඇතුවය. එය හිතුවක්කාරී ලෙස වෙනස් කරන්නට යාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවීමක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන සංකල්පය විකෘති කිරීමකි.

නඩුවේ තීරණය සම්බන්ධයෙන් විවිධ අය විවිධ අර්ථකථන ලබාදෙනු මම දුටුවෙමි. මාගේ පුද්ගලික අදහස වන්නේ මෙම ප‍්‍රතිඵලය නඩුවේ ආරම්භක අවස්ථාවේ සිටම අපේක්ෂා කළයුතුව තිබුණු තත්වයක් බවයි. මන්ද මෙය සැබෑ ලෙසම වගඋත්තරකාර පාර්ශවයේ වාසියට කිසිදු තර්කයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොතිබූ නීතිඥවරුන්ගේ භාෂාවෙන් කියන්නේ නම් Black Case එකකි. එවන් තත්වයන් යටතේ වගඋත්තරකාර පාර්ශවයන් හා මැදිහත්කාර පාර්ශවයන් තර්ක ගොඩනැගීමට දරණ ලද උත්සාහය මා බලා සිටියේ ප‍්‍රශංසාත්මක ආනන්දයෙනි. එය කියන්නට කිසිවක්ම නැති තැන කුමක් හෝ කීමේ කලාව පිළිබදව මනා උදාහරණයකි.

නීතිඥ අතිල ආතාවුද විසිනි

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...