Sunday, April 12, 2020

ශ‍්‍රී ලාංකීය ආණ්ඩුක‍්‍රමය ගැන මෑතකාලීන මිත්‍යා මත

(2018 දෙසැම්බර් 11 වැනි දිනැති පොස්ටුවකි)

1. පාර්ලිමේන්තුව ජනාධිපතිට යටත්ය
මෙය පැහැදිලි ලෙස මිත්‍යාවකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ස්ථානයක පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට වගකිවයුතු බවක් දක්වා නැත. නමුත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවනම් ප‍්‍රකාශිතව දක්වා තිබේ. විශේෂයෙන් 19 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවට බලපෑම් කළ හැකි බොහෝ බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීමෙන් පසු තමාට අවනත වන ලෙස පාර්ලිමේන්තුවට අඩුම ගණනේ වක‍්‍රාකාරයෙන් හෝ බලපෑම් කිරීමේ හැකියාවන් සැළකියයුතු අන්දමින් ජනාධිපතිවරයාට අහිමි වී ඇත.

2. කතානායකවරයා ජනාධිපතිවරයාට යටත්ය
රටේ පුරවැසි ධූරාවලිය අනුව ගත් කළ ජනාධිපතිවරයා කතානායකවරයාට ඉහළින් ස්ථානගත කෙරේ. එමෙන්ම ව්‍යවස්ථාව හරහා ජනාධිපතිවරයාට පවරා ඇති තරම් බලතල ප‍්‍රමාණයක් කතානායකවරයාට නැත. එසේ වුවද කතානායකවරයාටද පැවරෙන යම් බලතල ප‍්‍රමාණයක් ව්‍යවස්ථාවේ ඇති අතර ඒවා කිසිසේත් ජනාධිපතිවරයාගේ බලතල වලට යටත් නැත. කතානායකවරයා සම්බන්ධයෙන් බලපෑම් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණි. ඒ විශ්වාසභංග යෝජනාවක් මගින් ඔහුව ඉවත් කිරීමට සභාවට ඇති බලය හරහා ඇතිවන පාලනයක් මිස නිලතල හෝ තනතුරු අනුව පුද්ගලයන්ට ලැබෙන බලතල අනුව සිදුවන පාලනයක් නොවේ. ඒ අනුව කතානායකවරයාට සෑම අවස්ථාවකදීම සභාවේ බහුතරයේ මතය අනුව ක‍්‍රියා කිරීමට සිදුවේ. (බහුතරයේ මතය යනු අප‍්‍රකාශිත බහුතර මතය නොව ප‍්‍රකාශිත බහුතරය මතයයි. එනම් බහුතරය හිතේ තිබුණාට පලක් නැත. යම් මතයක් සම්බන්ධයෙන් බහුතරය ඡන්ද විමසීමකදී සංඛ්‍යාත්මකව පෙන්විය යුතු වේ.)

3. කතානායකවරයා ස්ථාවර නියෝග අනුවම ක‍්‍රියා කළ යුතුය
මෙයද සම්පූර්ණයෙන්ම සාවද්‍ය මතයකි. අවශ්‍ය අවස්ථා වලදී බහුතරයකගේ කැමැත්ත මත ස්ථාවර නියෝග එකක් කීපයක් හෝ සියල්ලම අත්හිටුවා කටයුතු කිරීමේ හැකියාවද ඇත. ස්ථාවර නියෝග වල යමක් පිළිබදව සදහන් නොවන්නේ නම් ඒ අවස්ථාවේදී අදාළ වන්නේ කතානායකවරයා අවස්ථානුකූලව ගන්නා තීරණය බවද ස්ථාවර නියෝග වලම සදහන් වේ. එයින්ද පැහැදිලි වන්නේ පාර්ලිමේන්තුව යනු බහුතර මතය අනුව තීරණ ගනු ලබන ස්ථානයක් බවයි. එම බහුතරය අප‍්‍රකාශිත බහුතරයක් වීමේ පලක් නැති බව නැවතත් අවධාරණය කළ යුතුය.

4. ජනාධිපතිවරයා අධිකරණයට යටත් නැත
මෙයද පැහැදිලි මිත්‍යාවකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලි ලෙස ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකාරම් සම්බන්ධයෙන් පවා එකී ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ අධිකරණ ක‍්‍රියාමාර්ග සදහා අවස්ථාව සළසා තිබේ.

5. අධිකරණයක් ලබාදිය යුත්තේ රටේ නායකයා ලෙස ජනාධිපතිට අවශ්‍ය තීරණයයි
නැත. අධිකරණයේ මූලික කාර්යභාරය වන්නේ ජනාධිපතිවරයාගේ සිතුම් පැතුම් ඉටුවන බවට වගබලාගැනීම නොව රටේ ආණ්ඩුකරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුවන්නේද නැත්ද යන්න පිළිබදව තීරණය කර ඒ අනුව නියෝග නිකුත් කිරීමයි.

6. උද්ඝෝෂණ, පොස්ටර් ව්‍යාපාර වැනි ක‍්‍රම මගින් ජනමතය අසවල් එක යැයි අධිකරණයට සන්නිවේදනය කරවීම හරහා අධිකරණයේ තීරණ වලට බලපෑම් කළ හැකිය.
මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයකි. අධිකරණයක් තීරණයකට එළැඹීමේදී ඒ පිළිබදව ඇති නීතිමය තත්වයන්, පාර්ශවයන් ඉදිරිපත් කරන තර්ක, සමාන තත්වයන් වලදී පූර්වයෙන් ලබාදී ඇති නඩු තීන්දු, අදාළ නීතිය පැණවීමේදී සිදුවූ පාර්ලිමේන්තු විවාද වලට අදාළ හැන්සාඩ් වාර්තා සහ නීතිය පැණවීමට පූර්වයෙන් නීතිය පැණවූ අය කළ විවිධ ප‍්‍රකාශ (නීතිය පැනවීමේ අරමුණ හදුනාගැනීම සදහා) යනාදී කාරණා හැර පාරේ අලවා තිබූ පෝස්ටර්, කොහේ හෝ ඈත ගමක ජනතාව උද්ඝෝෂණ වලදී ඔසවාගෙන සිටි සටන්පාඨ පුවරු වල තිබූ දෑ, විවිධ පුද්ගලයන් දේශපාලන වේදිකාවල මාධ්‍ය ඉදිරියේ හෝ වෙනත් ස්ථානවල කළ කී දෑ යනාදිය සළකා බැලීමට නොහැක. ඒ අනුව "අධිකරණය තීරණයක් දීමේදී මහජන මතය සළකා බලන්නේ නැද්ද?" යන්න වැරදි ප‍්‍රශ්නයකි. වැරදි ප‍්‍රශ්නයකට හරි උත්තරයක් අපේක්ෂා කළ නොහැක.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...