Sunday, April 12, 2020

නෙල්සන් මැන්ඩෙලා

(2018 දෙසැම්බර් 7 වැනි දිනැති පොස්ටුවකි)

නෙල්සන් මැන්ඩෙලා නම්වූ ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වූ විශිෂ්ට ජනනායකයෙකු මෙලොවින් සමුගෙන 2018 දෙසැම්බර් 05 වැනිදාට වසර 5ක් සම්පූර්ණ වේ.

මැන්ඩෙලා ඉතිහාසයට එක්වන්නේ දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වශයෙන් පමණක් නොවේ. ඔහු ලෝකයේ ජනතාවට සංහිඳියාව ක්‍රියාවෙන් ඔප්පු කර ඉගැන්වූ නායකයා විය.

ජාතිය, ආගම, සමේ පාට අවියක් කරගනිමින් ඒ වෙනුවෙන් පෙනී සිටිමින් ඒ මත දේශපාලන වාසි ලබන නායකයන්ට ජාතික නායකයෙකු කළයුත්තේ ජාතිය හෝ ආගම වෙනුවෙන් පෙනීසිටීම නොව පොදුවේ රටක් වෙනුවෙන් පෙනී සිටීම බවට ජීවමාන උදාහරණ සැපයූ නායකයා විය.

වසර 27ක් සිරගතවී සිට ඉන්පසු ජනාධිපතිවරයා වශයෙන් පත්වී රට සාර්ථකත්වය කරා යොමුකිරීම සදහා කළයුතු ප්‍රතිසංස්කරණ වහ වහා සිදුකර එක් ධුර කාලයක් පමණක් බලයේ සිට විශ්‍රාම ගොස් මරණය දක්වාම සමස්ථ ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වූ නායකයෙකුද විය.

මැන්ඩෙලා බලයට එන්නේ දකුණු අප්‍රිකානු කළු ජාතියන්, එරට සුදු ජාතික සුළුතරයක් විසින් බලහත්කාරයෙන් යකඩ සපත්තුවට පා⁣ගාගෙන පීඩාවට පත්කළ දශක ගණනාවකට පසුවය. එහිදී මැන්ඩෙලා⁣ට බලයට ඒමට සහාය පළකල ජනතාවගෙන් බහුතරයක් (ඔහුගේ එවකට බිරිඳ පවා) තරයේ අදහන ලද්දේ සුදු ජාතික සුළුතරය ඔවුන් සිටි විල්ලුද අසුන් වලින් බිමට ඇද දමා හොද පාඩමක් ඉගැන්විය යුතු බව පමණි. එහිදී රජයේ වගකිවයුතු තනතුරු වලින් සුදු ජාතිකයන් පහකර ඒ සදහා කළු ජාතිකයන් පත්කිරීම, කළු ජාතිකයන්ට ප්‍රමුඛත්වය ලැබෙන පරිදි නීති සකස් කිරීම වැනි යෝජනා ඉදිරිපත් වුවද, මැන්ඩෙලා දිගින් දිගටම තමන්ගේ "දේදුණු රාජ්‍යය" (rainbow nation) සංකල්පයේ රැදී සිටියා පමණක් නොව එහි ඇති වැදගත්කම තමාගේම අනුගාමිකයන්ගේ විරෝධතා මධ්‍යයේ වුවද ජනතාවට අවබෝධ කරවීමේ මෙහෙවර ඉ⁣ටුකිරීම දිගින් දිගටම සිදුකරන ලදී.

අවසානයේ ඔහුට ලෝකයේ විශිෂ්ටතම යැයි කිවහැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමටද ඒ හරහා පටු වාද භේද පසෙකලා රටේ දියුණුව සංවර්ධන කෙරෙහි රටේ ජනතාවගේ අවධානය දිශානගත කිරීමටද හැකිවිය.

නෙල්සන් මැන්ඩෙලා පීඩිත කළු ජාතිකයන් වෙනුවෙන් අභියෝග මධ්‍යයෙහි පෙනී සිටීම ශ්රේෂ්ඨය. නමුත් ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වූයේ පෙරකී අරගලයේ ශ්රේෂ්ඨත්වය නොව අරගලය ජයග්‍රහණය කිරීමෙන් පසු තම රටේ ජාතීන් අතර අන්‍යෝන්‍ය වශයෙන් පැවති නොසන්සුන්තාවය සමනය කිරීමට හා නිවීමට ඔහු ගන්නා ලද ක්‍රියාමාර්ගයන්ය. එමෙන්ම ආත්මාර්ථය හා එක් ජනකොටසකට පක්ෂපාතීත්වය බැහැර කරමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කෙටි කාලයක් තුල සැබෑ වුවමනාවකින් වහ වහා සිදුකර එක් ධුර කාලයකින් පසු ජනාධිපති තනතුරෙන් සමුගැනීමය. කෙටියෙන්ම කිවහොත් ඔඩුදුවා සැරව ගලමින් තිබූ දකුණු අප්‍රිකාවේ ජාතිවාදය තමාට හෝ තම පක්ෂයට දේශපාලන වාසි තකා අවශ්‍යනම් වවාගෙන කෑමට හැකියාව තිබුණත් එසේ නොකර එය එකවර සහමුලින් අවසන් කර දැමීමය.

ඒ හරහා නෙල්සන් මැන්ඩෙලා මියයන මොහොත දක්වාම සමස්ථ ලෝකවාසීන්ගේ කොන්දේසි විරහිත ගෞරවයට පාත්‍ර වූ චරිතයක් බවට පත්විය. ඒ අනුව නෙල්සන් මැන්ඩෙලා "ප්‍රායෝගික සංහිඳියාවේ පියා" ලෙස සැළකීමේ කිසිදු වරදක් නැත.
 


No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...