Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Saturday, April 11, 2020
නෙල්සන් මැන්ඩෙලා - අපටත් සිටියානම් යැයි සැමදා සිතුණු සැබෑ අප්පච්චි කෙනෙක්
(එතුමන් ස්වර්ගස්ථ වී වසර 2ක් සපිරීම නිමිත්තෙන් 2015 නොවැම්බර් 14 වැනි දින ලියූ පෝස්ටුවකි)
නෙල්සන් මැන්ඩෙලා 1994 මැයි 10 වැනි දින දකුණු අප‍්‍රිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමග පරාජයට පත්වන්නේ වසරක දෙකක නොව ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවැතියාවූ වර්ණ භේදවාදී පරපීඩාකාමී පාලන තන්ත‍්‍රයකි. එකී පාලන තන්ත‍්‍රයට ඉහිලුම් නොදුන් හේතුවෙන් මැන්ඩෙලා පවා වසර 27ක් තිස්සේ සිරගත කොට තබන ලදී. සියවස් ගණනක් පීඩාවට පත්වී සිටි දකුණු අප‍්‍රිකානු කළු ජාතික ජනතාවගේ පළිගැනීමේ චේතනාව අහස උසට තරම් විය. සිය දිවියේ හොදම කාල සීමාව සිරබත් කමින් ගතකළ මැන්ඩෙලාටද අවශ්‍යනම් තමා නියෝජනය කරන ජනතාව තුල බුර බුරා නැගෙන වෛරයේ ගිනි දැල් වලට පිදුරු දැමීමට අවකාශ තිබුණි. යම් හෙයකින් එසේ වීනම් දකුණු අප‍්‍රිකාවේ සිදු වන්නට තිබූ වර්ග ඝාතනය දෙවන ලෝක යුද්ධයේදී යුරෝපයේ සිදුවූ යුදෙව් සංහාරය, 1993-94 දී රුවන්ඩාවේ සිදුවූ වර්ග ඝාතනය මෙන්ම ලොක ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරන්නක් වීමට ඉඩ තිබුණි.
මැන්ඩෙලාගේ බිරිදද ප‍්‍රචණ්ඩත්වය හා පළිගැනීම තෝරාගනිද්දී මැන්ඩෙලා තෝරාගත්තේ සාමය, සංහිදියාව හා සහෝදරත්වයයි. එබැවින් මැන්ඩෙලා කළු ජාතීන්ට ද්රෝහී වූවකු ලෙස සළකා ඔහු පිළිකෙව් කළ අන්ත ජාතිකවාදී කළු ජාතිකයෝ එදා හිග නොවූ අතර අදද දකුණු අප‍්‍රිකානු සමාජයේ ඇතැම් ජාතිකවාදී කණ්ඩායම් මැන්ඩෙලා දර්ශනය පිටු දකිති.
ඔවුන්ට අනුව මැන්ඩෙලා ගත යුතුව තිබුණේ තමා නියෝජනය කරන කළු ජාතිකයන්ගේ පැත්තය. ඔහු ශක්තියක් විය යුතුව තිබුණේ කළු ජාතිකයන්ටය. ඔහුට චන්දය දුන් කළු ජාතික ජනයාගේ අපේක්ෂාව වූයේ කොන්ද පණ ඇති කළු ජාතිය දෙපයින් නැගී සිටුවන ශක්තිමත් නායකයෙකු විනා සකළ දකුණු අප‍්‍රිකානු වැසියන්ට සමානව සළකන සංහිදියාව හා සාමය දෙසන බමුණෙකු නොවීය. වර්ණ භේදවාදී පිළිවෙත් නිසා දකුණු අප‍්‍රිකාව සමග ජාත්‍යන්තර ක‍්‍රීඩා තරග වලට පවා සහභාගි වීම ප‍්‍රතික්ශේප කළ ලොව අනෙකුත් රටවල් මැන්ඩෙලාගේ සංහිදියාකාමී මැදුම් පිළිවෙත අගය කරමින් දකුණු අප‍්‍රිකාව හා නැවත අත්වැල් බැද ගනිද්දී දකුණු අප‍්‍රිකානු කළු ජාතිකවාදී කණ්ඩායම් හඩ නැගුවේ මැන්ඩෙලා ඇමෙරිකාවේද යුරෝපයේද රූකඩයක් බවට පත්වී රට විනාශ මුඛයට ඇද දමන බවය. මැන්ඩෙලා බල ලෝභයෙන් මත්වී ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහයෝගයෙන් දිගටම බලයේ සහයෙන් දිගටම බලයේ සිටීම සදහා බටහිර න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාවට නගන බව පැවසූහ.
නමුත් ඔහුට අවලාද කී කළු ජාතිකවාදී කණ්ඩායම්ද අන්ද මන්ද කරමින් මැන්ඩෙලා ජනාධිපති ධුරයේ සිටියේ වසර 5ක් පමණි. ඒ වසර 5ක කෙටි කාලය තුල ඔහු රටක නායකයෙකුට රටකට දායාද කළ හැකි උතුම්ම දායාද සියල්ලම පාහේ දකුණු අප‍්‍රිකාවට ලබාදුන්නේය. ලොව අති විශිෂ්ටතම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලෙස අදටත් අවිවාදයෙන් පිළිගැනෙන්නේ දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවය. පිපිරීමට ආසන්න බෝම්බයක් බවට පත්වෙමින් පැවති දකුණු අප‍්‍රිකානු කළු ජාතික වාදී බලයේ දිශානතිය වෙනස් කරවා රටේ සංවර්ධනයට එම ශක්තිය දිශානගත කිරීමට ඔහුට හැකි විය.
සංහිදියා විසදුම ප‍්‍රතික්ශේප කොට ඔහු කල්ලන්ගේ ආඩම්බරකාර තාත්තා වීමට තීරණය කළේ නම් මහා ලේ වැගිරීමක් සිදුවුවද 2013දී ඔහු මිය යන තුරුම දකුණු අප‍්‍රිකානු ජනාධිපති වශයෙන් වැජබීමට අවස්ථාව ඇති තරම් තිබුණි. නමුත් ඔහු තෝරාගත්තේ එක ජාතිකයක් පමණක් නොව සමස්ථ රට දෙපයින් නැගිට්ටවීමය. අදටත් ඔහු මුළු ලෝකයේම ගෞරවයට පාත‍්‍ර වූ අසහාය නායකයෙකු ලෙස පිළිගැනෙන්නේ එබැවිනි. ඔහු ජනාධිපති ධුරයට සමු දුන්නේ 1999දී වුවද ඊට වසර 14කට පසු එතුමා මිය ගිය අවස්ථාවේදී දකුණු අප‍්‍රිකාව පමණක් නොව මුළු ලොවම එතුමා වෙනුවෙන් හඩා වැටුණේ එබැවිනි.
ලබන දෙසැම්බර් 5 වනදාට එතුමා ස්වර්ගස්ථව වසර 2ක් සපිරේ. එක් ජාතියක් ආගමක් ශක්තිමත් කිරීමට ලෙයට ලෙය ඉල්ලන අප්පච්චි කෙනෙකු රජ කරවන්නට උත්සාහ කරමින් රටක් වශයෙන් ළගා කරගතයුතු අරමුණු ගවු ගණනකින් පසෙකට ඇද දමා ගැනීම සම්බන්දව කප් ගසා සිටින අප රටේ නායකයන්ට මෙන්ම ජනතාවටද නෙල්සන් මැන්ඩෙලා ලකුණ මහත් ආදර්ශයක් සපයන්නේය.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment