මාධ්‍යවේදී කරුණාරත්න අබේසේකරයන් සැළකෙන්නෙ හුදෙක් මාධ්‍යවේදියෙකුගෙ
භූමිකාවටත් එහා ගිහින් සිංහල ගීත සාහිත්‍යයට අති විශාල දායකත්වයක් සපයපු
පුද්ගලයෙක් හැටියට. ඔහු විසින් දායාද කළ ගීත ගොන්නේ එන හදවතට දැනෙන ගීතයක්
තමයි එන්න මදනලේ.
මේ ගීතය හදවතට දැනෙන්නෙ හේතුවක් තියෙනව. අසන්නට
ලැබෙන අන්දමට කරුණාරත්න අබේසේකරයන් මේ ගීතය ලියන්නෙ තමන්ගෙ තමන්ගෙ ආදර
කතාවට ලෝකයෙන් තහනම් බාධක ඇවිත් ඇයට කොහොමද කියලවත් දැනගන්න විදියක් නැතුව
අසරණම වෙලා හිටපු අවස්ථාවක.
ඒ අසරණ කම මෙම ගීතයේ වචනයක් වචනයක් පාසා ගැබ් වෙලා තියෙනවා.
"එන්න මදනලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිරගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈගෙ රතුවෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ
කනට ළං වෙලා
එන්න මදනලේ"
ඒ දුරකථන ඉතාම දුර්ලභ, කෙටි පණිවිඩ සේවා මොකවත්ම නැති කාල වකවානුවක්.
ආදරයේ ප්‍රධාන ප්‍රවාහකයා තමයි ලියුම්. නමුත් ලියුම් පවා යැවිය හැකි වෙන්නෙ
යම් අතරමැදියෙක් හරහා. එහෙම නැත්නම් තැපෑලෙන්. ඊට අමතරව ආදරය සන්නිවේදනය
කරන්න වෙන්නෙ මුණගැහිලම තමයි. මෙතනදි කථකයාට තම පෙම්බරිය මුණගැහෙන්න
විදියක් නෑ. බොහෝදුරට ලියුම් වගේ දේවල් යවන්න තියන මාවත් පවා ඇහිරිලා. ඒ
නිසායි ඔහු සුළඟට අමතන්නෙ.
බොහෝදුරට මේ කතා කරන්නෙ ඔවුන්ගෙ ආදරය
හෙළිදරව් වෙලා ඇයව සිරගත කොට තිබෙන වෙලාවක් ගැන. එහෙමත් නැත්නම් සමීප වෙන්න
ඉතාම අපහසු තරම් පරතරයක් ඇතිව වියෝ දුකින් දැවෙමින් ඉන්න වෙලාවක්. ඒ නිසයි
ඔහු කියන්නෙ "යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ" කියල. ඔහුගේ ආදරය කෙතෙක්ද
කියනවා නම් හමාගෙන ඇවිත් ඔහුගෙ ඇඟේ දැවටිලා ඉවත්ව යන සුළඟ ඇගේ ගතෙත්
දැවටේවි කියන ඉතාම දුරස්ථ බලාපොරොත්තුව ඔහුට තියෙනව. වෙන විකල්පයකුත් නැහැ.
ඒ නිසයි ඔහු තමනිගෙ පෙම් පණිවිඩය සුළඟට මුසු කරල සුසුම්ලන්නෙ.
ඔහුගෙ ශෝකයට සංවේගයට ප්‍රධාන හේතුව ඇය ඔහු නැතිව ශෝක වනවා ඇති කියන හැඟීම.
දිවා රැයේ ඇස් රතුවනතුරු ඇය ඔහු වෙනුවෙන් අඬනවා ඇති යැයි ඔහු සිතනවා. නමුත්
ඔහුට පුළුවන් ඔහුගේ දුක ඇගේ කණට ළංවී මුමුණන්නැයි සුළගින් අතාත්වික සහ
යථාර්ථවාදී නොවන ඉල්ලීමක් කරන්න විතරයි.
"ශෝක පණිවුඩය යවන්න
ආදරිය බලා
කාලිදාස කිවිඳු
මේඝ දූතයක් කළා
මට කොයින්ද එම වලා
ආමි සුළඟේ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ
කනට ළං වෙලා"
කාලිදාස කිවිඳුන් තමන්ගෙ ආදරියට හදවතේ බුර බුරා නැගෙන දුක් ගින්න
සන්නිවේදනය කරන්න වළාකුළු දූතයෙක් කොට ගත්තා. නමුත් මේ ගීතයේ කථකයාට එවැනි
හයියක් බලයක් නැහැ. ඔහුට කළ හැක්කේ සුළඟින් උදව් ඉල්ලා අපේක්ෂා භංගත්වයෙන්
සුසුම්ලමින් බලා සිටීම පමණයි.
"සන්දේශයකින් යවන්න
මෙ දුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල්
කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි
මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට
ඔබට මා ණයයි"
නැවතත් අවධාරණය කෙරෙන්නෙ ඔහුට ඇය කරා පණිවිඩයක්වත් යවාගන්න හැටියක් නැති
බව. ඒ නිසා ඔහු ඉන්නෙ දැඩි අසරණකමක. ඔහුගෙ හිතෙත් යම් යම් සැක, සංකා, දුක්
දෝමනස්සයන් ඇතාවෙනවා. ඒ නිසා ඔහුගෙ පණිවිඩය ඇයට දුන්නොත් ඔහු සුළඟට සදා
ණයගැතියි කියා කියන්නෙ ඒකයි.
මේක නිකම් පිස්සු කතාවක් කියල කෙනෙකුට
හිතෙන්න පුළුවන්. නමුත් සැබැවින්ම සුළඟ මේ ගීතය ඇය වෙතට අරගෙන ගියා. ඒ
තිලකසිරි ප්‍රනාන්දුගේ හඬින් ගුවන්විදුලි සංඥා ඔස්සේ. ඒ ගීත
ගුවන්විදුලියෙන් අහන ඇයගේ පියා, මේ ගීතය ලිවුවේ කාටදැයි හොඳින්ම වටහාගෙන
ඇයට ගුවන්විදුලියට සවන්දීම පවා තහනම් කරනව.
නමුත් සියළුම අපහසුතා
මධ්‍යයේ ඔහු සහ ඇය, තමන් එකිනෙකාට දීපු ආදරණීය හදවත් ඒ ලෙසින්ම ආරක්ෂා
කරගෙන ඉවසීමෙන් බලා ඉන්නව. වසර කීපයකට පසු ඔවුන්ට විවාහ වෙන්න අවස්ථාව
එන්නෙ ඒ බලාපොරොත්තු නොසිතූ ලෙස මල් ඵලගන්වමින්. එය ඇත්තටම කරුණාරත්න
අබේසේකරයන්ගෙ ආදර කතාව. මේ ගීතයේ වටිනාකම වැඩිවෙන්නෙ ඒ නිසා.
ඉන්පසු ඒ ආදරණීය කථකයා වයස පනස් ගණන්වල මුල් භාගෙයේදි ඇයව මෙලොව තනි කරලා
සදහටම යන්න යනව. ඔහු මහත් වෙහෙසක් දරා පුදපු ඒ ආදරය හිතින් දරාගෙන ඇය තනිවම
ජීවිතට මුහුණ දෙන්නෙ ඒ ආදරය සවියක් කරගනිමින්.
ඇය එරානි අබේසේකර.
කරුණාරත්න අබේසේකරයන්ගේ බිරිඳ. දිලීප අබේසේකරයන්ගේ (සම්මානනීය චයිනමන්
පරිවර්තනය කරපු දිලීප තමයි) මව. ඒ කතාව අහද්දි බලාපොරොත්තු විරහිතම වෙලාවක
වුණත් ඉවසිල්ලෙන් දුක වාතලයට මුසු කරලා බලා ඉන්න එක ගොඩක් වටින බව පේනව.
තනුව හා ගායනය - තිලකසිරි ප්‍රනාන්දු
පද රචනය - කරුණාරත්න අබේසේකර
තව එකතු කළයුතු දෙයක් තිබෙනවා. මේ ගීතය මට මුලින්ම ඇහුණෙ තිලකසිරි
ප්‍රනාන්දුගේ හඬින් නොව කලකට පෙර ඇඟිලි සළකුණ වැඩසටහන කරපු ප්‍රවීන
මාධ්‍යකරුවෙකු මෙන්ම මගේ ගුරුවරයෙකුද වූ සද්ධාමංගල සූරියබණ්ඩාරගේ හඬින්.
ඔහු මීට වසර 20කට පමණ ඉහතදි ජාතික රූපවාහිනියේ ඉරිදා රාත්‍රි 9.30ට විකාශය
වූ රිදම් Chat වැඩසටහනට ඇවිත් මේ ගීතය ගායනා කළේ මේ කතාවත් කියල. ඊට පස්සෙ
තිලකසිරි ප්‍රනාන්දුගේ හඬින් වගේම සනත් නන්දසිරිගෙ හඬිනුත් මම මේ ගීතය අහල
තිබෙනවා. ඒත් ඊයේ නැවත වතාවක් ගීතය අහම්බෙන් ඇහෙනකොට මට මතක් වුණේ තිලකසිරි
ප්‍රනාන්දුවත් සනත් නන්දසිරිවත් නොව සද්ධාමංගල සූරියබණ්ඩාර. ඔහුවත්
ආදරයෙන් ගෞරවයෙන් නැවතත් සිහිපත් කරනවා.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment