අර්බුදයට අතවැනීම
කොවිඩ් 19
වසංගතයේ පැතිරයාම පාලනය කිරීම සදහා මේ මොහොත වනවිටත් සමස්ථ දිවයිනටම ඇදිරි
නීතිය පණවා ඇත. රටේ අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු විට අන් සියළුම කටයුතු කාරණා
ඇණහිට තිබේ. මෙම ගැටලුවේ මූලාරම්භයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
ඇතුළු විවිධ පාර්ශව ගණනාවක් දින 21ක් අඛණ්ඩව රට වසා දැමීමට හෙවත් lock-down
කිරීමට යෝජනා කරන ලදී. ඒ අවස්ථාවේදී එවැනි lock-down කිරීමේ පියවරක්
අවශ්‍ය නොවන බවත් යුද්ධයේදී පවා lock-down නොකළ රට 28 දෙනෙකු ලෙඩවූ පමණින්
lock-down කිරීම අනවශ්‍ය බවට ඇතැම් වඩා හොදින් දැනුවත් පාර්ශවයන් සිනහමුසු
මුහුණින් පවසන ලදී. ඒ සිනාවෙන් දින කිහිපයකට පසු පැණවූ ඇදිරි නීතිය දවස්
දෙකකට තුනකට වරක් පැය අට බැගින් ඉවත් කරමින් මේ දක්වාම ක්‍රියාත්මකය.
පළමුවෙන්ම නිරාකරණය කරගතයුතු කරුණ වන්නේ දින 21ක් අඛණ්ඩව lock-down කළ
යුතු බවට අවධාරණය කිරීමේ පදනමයි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ කල සියලුදෙනාම
දන්නා පරිදි දින 14ක කාලසීමාවක් තුල රෝග ලක්ෂණ පෙන්වීමට පටන්ගනී. ඒ අනුව
දින 21ක අඛණ්ඩ lock-down කිරීමකදී මේ මොහොතේ රෝගය ආසාදනය වී ඇති අයට එයින්
මුල් දින 14 තුළ රෝගය වැළදෙනවා ඇත. එවිට එම පිරිස රෝහල්ගත කිරීමටත් සහ
ඔවුන් සමග කාලසීමාව තුල ඍජුව ගැටුණු බවට හදුනාගන්නා ලද සීමා සහිත පිරිස
නිරෝධායනයට යොමු කිරීමටත් හැකියාව ලැබේ.
නමුත් දැනට ක්‍රියාත්මක වන
අයුරින් දින තුනකට වරක් ඇදිරි නීතිය ඉවත් කිරීමේදී දැනටත් රෝගය ආසාදනය වී
රෝග ලක්ෂණ පෙන්වා නැති පිරිස ඇදිරි නීති ඉවත් කෙරෙන පැය 8 තුල මහජනතාව
ගැවසෙන සමාජයට පිවිසීම සිදුවේ. ඒ අනුව ගත්කල මේ අයුරින් ඇදිරි නීතිය
වරින්වර තව මාස 6ක කාලයක් පැණවුවද ආසාදිතයන් හරිහැටි හදුනාගෙන අවසන් කිරීමට
හැකියාවක් ලැබෙන්නේ නැත.
එසේ ආසාදිතයන් සහ වාහකයන් අවිනිශ්චිත
වීමේ ප්‍රතිඵලය තවදුරටත් දිගින් දිගටම ඇදිරි නීතිය පවත්වා ගැනීමට
සිදුවීමයි. ඒ හරහා රටක් වශයෙන් එකතැන නතර වී මේ වනතෙක් නිෂ්පාදනය කර ඇති
සම්පත් පරිභෝජනය කරමින් සිටීමට සිදුවන කාළය තවදුරටත් දීර්ඝ වේ. ඒ අනුව
න්‍යායාත්මකව ගත් කල අවම වශයෙන් දින 21ක ඇදිරි නීති කාලයක් අඛණ්ඩව සහ තදින්
ක්‍රියාත්මක කළේ නම් එම දින 21න් පසු ඇදිරි නීතිය ඉවත් කර රටේ කටයුතු
සාමාන්‍ය අයුරින් කරගෙන යාම ආරම්භ කිරීමට හැකියාව තිබුණි.
අවසන් වන
කාලයක් නොපෙනී දිගින් දිගටම ඇදිරි නීථිය යටතේ රට පවත්වා ගැනීම කොවිඩ් 19
රෝගයටත් වඩා අතිශය බරපතළ ආර්ථික අර්බුදයක් රට තුල නිර්මාණය කරනවා ඇත.
ආර්ථික අර්බුදයක් කියූ පමණින් එහි ඇති ආර්ථික විද්‍යාත්මක හැඩය විනා
විනාශකාරී ලක්ෂණ කිසිවක් කාහටත් නොපෙනෙනවා ඇත. මන්ද පසුගිය වසර ගණනාවක්
තිස්සේම රට පැවැතියේ යම් ආකාරයක ආර්ථික අර්බුදයක බැවින් හුදෙක් ආර්ථික
අර්බුදයක් යැයි කියූ පමණින් එහි ඇති බර වැටහෙන්නේ නැත. නමුත් මීට පෙර වසංගත
රෝග පැතිරී ගිය රටවල් අධ්‍යනය කිරීමේදී මෙහිදී මුහුණ දීමට සිදුවන ආර්ථික
අර්බුදය දැනට ජීවතුන් අතර සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තම ජීවිත කාලය තුල
අත්විද නොමැති ආකාරයේ එකකි. එහි ස්වභාවය කියවාගත හැක්කේ එවැනි වසංගත කාලීන
අර්බුදයන්ට මුහුණදුන් රටවල් සම්බන්ධයෙන් වූ පොත පතින් පමණි.
විදේශ සංචිත අවසන් වීම
ශ්‍රී ලංකාව ඉදිරි කාලසීමාවේදී ඉන්ධන සහ ඖෂධ හැර අනෙකුත් සියළු ආනයන සීමා
කරන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී
වෛද්‍ය රමේෂ් පතිරණ පසුගියදා ප්‍රකාශ කළේය. එය සැබැවින්ම සාධනීය පියවරකි.
මන්ද එයට බැලු බැල්මට පෙනෙනවාට වඩා භයංකාර හේතුවක් ඇති බැවිනි.
ශ්‍රී ලංකාවට ලෝක වෙළෙදපොලේදී රුපියල් වියදම් කිරීමෙන් ටොපියක්වත් මිළදී ගත
නොහැක. එයට ලොව පිළිගත් විදේශ මුදල් ඒකකයක් බොහෝවිට ඇමෙරිකානු ඩොලර්
අවශ්‍ය වේ. එම විදේශ මුදල් උපයා ගැනීම මෙතෙක් කල් සිදුකරන ලද්දේ ප්‍රධාන
වශයෙන්ම විදේශ ශ්‍රමිකයින් වෙතින්, සංචාරක කර්මාන්තය සහ අපනයන හරහාය. ඒ
සියළු විදේශ මුදල් ලැබෙන මාර්ග මේ වනවිට 99% කින් අවහිර වී තිබේ.
ඒ
අනුව පවත්නා විදේශ මුදල් සංචිතය මෙම අර්බුදය නිමා වනතුරු කළමනාකරණය
කරගනිමින් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට රටක් ලෙස අපට සිදුවනවා ඇත. මෙම
ගැටලුවේ නිමක් නොපෙනෙන මේ අවස්ථාවේ එම සීමිත වූ විදේශ මුදල් ප්‍රමාණය
කෙතෙක් කල් කළමනාකරණය කරගත යුතුදැයි තවමත් අපැහැදිලිය. ඒ අනුව ඉදිරියේදී
විදේශ මුදල් සංචිතය තව තවත් හීන වන්නට වන්නට ඉන්ධන හා ඖෂධ ගෙන්වීම පවා සීමා
කිරීමට සිදුවීමත් ඒ හරහා ඉන්ධන හා ඖෂධ හිගයක් ඇති වීමත් ඒ අනුව ඒවා සලාක
ක්‍රමයට ලබාදීමට සිදුවීමත් බලාපොරොත්තුවෙන් සිටිය යුතු ආර්ථික ප්‍රතිවිපාක
වේ. එවැනි හිගයකින් පසුව වුවද කොවිඩ් 19 අර්බුදය නොවිසදෙන්නේ නම් විදේශ
මුදල් නොමැතිව එනම් ඉන්ධන හා ඖෂධ නොමැතිව පවා ගතකරන කාලයක් නොඑළඹෙතැයි
ප්‍රාර්ථනා කරමු. ඉන්ධන හා ඖෂධ නොවන අනෙක් ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් තත්වය
මෙයටත් වඩා අයහපත් වේ.
භාණ්ඩ හිගවීම
කෘෂිකාර්මික කටයුතු සදහා ඇදිරි නීතිය තුලම ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම්
සළසා ඇත. එහෙත් රටේ ප්‍රදේශ රාශියක් මේ වනවිට මාස 6ක පමණ සිට අඛණ්ඩව
පැවැතෙන නියගයකින් පීඩා විදියි. ඒ අනුව උග්‍ර ජල හිගය හේතුවෙන් මේ මොහොතේ
නව වගා කටයුතු ඇරඹීමට ඇති අපහසුතාවය ප්‍රායෝගිකව කෘෂිකර්මාන්තයේ යෙදෙන ඕනෑම
කෙනෙකු දන්නවා ඇත. ඒ අනුව ඇදිරි නීතිය පැවැතියත් නැතත් නියගය නිසා
කෘෂිකාර්මික නිෂ්පාදන හිගයක් ඇතිවීම බලාපොරොත්තු වියයුතු ප්‍රතිවිපාකයකි.
කෘෂිකාර්මික නිෂ්පාදන මෙන් නොව අනෙකුත් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත
ශාලා තවමත් ඇත්තේ වැසූ ගමන්ය. ඒවා විවෘත කිරීම මේ මොහොතේ සුවිශාල ලෙස රෝගය
පැතිරීමේ අවදානමකට අත වැනීමක් වේ. ඒ අනුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට
පරිභෝජනය කිරීමට සිදුවී ඇත්තේ දැනටත් නිෂ්පාදනය කොට ඇති භාණ්ඩ සංචිතයකි. එය
කොතරම් කලකට සෑහෙනවා ඇත්ද යන්න අවිනිශ්චිත වේ. ඒ අනුව වෙළෙදපොලේ ඇති සෑම
භාණ්ඩයක්ම කෙමෙන් කෙමෙන් හිග භාවයට පත්වීම බලාපොරොත්තුවෙන් සිටීමට සිදුවන
තවත් ප්‍රතිවිපාකයකි.
ව්‍යාපාර බිදවැටීම
මාර්තු මාසයෙන් අඩකටත් වඩා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආයතන වලින් බහුතරයක්
පැවැතියේ වසාදැමූ තත්වයේය. නමුත් දැනගන්නට ලැබෙන පරිදි ඒ ඇතැම් ආයතන මාර්තු
මාසය සදහා සේවක පඩිනඩි ගෙවා ඇත. එය ඇත්තෙන්ම වැඩ නොකළ කාලසීමාවක් සදහා
ගෙවන ලද වැටුපකි. එනම් එක්කෝ අදාළ ව්‍යාපාරයේ හෝ එහි හිමිකරුවන්ගේ තැන්පත්
ධනයෙන් හෝ ණය පදනම මත ලබාගත් මුදලින් ගෙවන ලද වැටුපකි. සේවකයන්ට වැටුප්
ගෙවීමට ආයතනයකට ආදායමක් තිබිය යුතුය. ආදායමක් රහිතව නිෂ්පාදනයක් රහිතව
වැටුප් පඩිනඩි ගෙවීම ආයතනයකට දිගින් දිගටම සිදුකිරීමේ හැකියාවක් නොමැත. ඒ
අනුව අර්බුදය අපේක්ෂා කරන තරම් ඉක්මණින් අවසන් නොවුවහොත් ආයතන බොහොමයක්
සේවක පඩිනඩි පවා ගෙවාගත නොහැකිව බංකොලොත් භාවයට පත්වනවා ඇත. අවාසනාවන්ත
තත්වය නම් ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාර කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය ඇරඹෙන
විටද බැංකු overdraft පහසුකම් මත පවත්වාගෙන යනලද ඒවා වීමය. එවැනි ව්‍යාපාර
වලට බිමටම ඇදවැටීමට ව්‍යාපාරය වසා තබන දින 7ක් හොදටම ප්‍රමාණවත් වනු ඇත.
කළු කඩ
භාණ්ඩ හිගයක් නිරායාසයෙන්ම කළුකඩ ක්‍රමයකට මග පාදයි. එනම් ප්‍රසිද්ධියේ
විකිණීමට තැබීමෙන් තොරව හිතූ මනාපයට නියම කරනු ලබන අධික මිළ ගණන් යටතේ
පවත්නා හිග භාණ්ඩ ප්‍රමාණය හොර රහසේ එම මිළ ගෙවීමට සමත් අයට පමණක් අලෙවි
කිරීමට වෙළදුන් පෙළඹීමයි. මේ මොහොත වන විට මත්පැන් හා දුම්වැටි සම්බන්ධයෙන්
ඉතා පැහැදිලිව පෙනෙන කළු කඩ ක්‍රමයක් දකින්නට ලැබේ. එමෙන්ම ඇතැම් භාණ්ඩ
අසවල් තැන අසවල් මිළට ඇත්තේය යනුවෙන් පැතිරෙන ආරංචි මගින් නිගමනය කිරීමට
සිදුවන්නේ ඒවා සම්බන්ධයෙන්ද පෙනී නොපෙනී කළු කඩ ක්‍රියාත්මක වන බවකි.
අවශ්‍ය තරම් භාණ්ඩ නිෂ්පාදනය කොට වෙළෙදපොලට නිකුත් කිරීමක් සිදු නොවන්නේ
නම් ක්‍රම ක්‍රමයෙන් සෑම භාණ්ඩයක්ම කළු කඩය විසින් ගිලගැනීම බලාපොරොත්තු
වියයුතු ප්‍රතිවිපාකයකි.
නීති කැඩීම
කළු කඩ
ක්‍රමයක් ඇතිවීමත් සමගම පාර්භෝගික භාණ්ඩ මිළදී ගැනීම යනු කළුකඩ මිළ ගෙවීමට
හැකියාව ඇති අයට පමණක් කළ හැකි සුඛෝපභෝගී කටයුත්තක් බවට පත්වේ. ඒ අනුව එම
මිළ ගෙවීමට හැකියාවක් හෝ වත්කමක් නොමැති අයට සිදුවන්නේ කුමන ක්‍රමයකින් හෝ
අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට කටයුතු සම්පාදනය කරගැනීමට වේ. මෙවැනි තත්වයක්
යටතේ ඇදිරි නීතිය හෝ රටේ පවත්නා නීතිය නොතකා සිදු කෙරෙන සොරකම් බලෙන්
ලබාගැනීම් කොල්ලකෑම් ආදිය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමේ අවදානමක් ඇතිවේ.
තැන්පත් ධනය අවසන් වීම
වැටුපක් නොලැබෙන විට ව්‍යාපාරයෙන් ආදායමක් නොලැබෙන විට බොහෝදෙනාට
සිදුවන්නේ තැන්පත් ධනය පරිභෝජනය සදහා වැය කරමින් ජීවිතය ගැටගසා ගැනීමටය. මේ
මොහොතේද කණකර භාණ්ඩ පවා උකස් කරමින් බොහෝ දෙනා සිදුකරන්නේ එයයි. තැන්පත්
ධනයද අසීමිත නොවේ. එය අවසන් වූ කල වියදම් කිරීමට තවත් මුදල් නොමැති තත්වයට
පත්වීම අනිවාර්ය වේ. එවිට එක්කෝ සන්තකයේ ඇති චංචල නිශ්චල භාණ්ඩ වෙනත්
වත්කම් අලෙවි කරමින් පරිභෝජනය සරිකර ගැනීමට සිදුවේ.
නිවෙස් වල ඇතිකරන සුරතල් සතුන් ආහාරයට ගැනීම
ආහාරයට ගැනීමට කිසිවක් නොමැති විට මේ හා සමාන තත්වයන් වලදී නිවසේ සිටි
සුරතල් සතුන් පවා මරා ආහාරයට ගැනීමට සිදුවූ අනුවේදනීය අවස්ථා ලෝකයේ මීට
පෙරද ඇති තරම් වාර්තා වී තිබේ. එවන් අවාසනාවන්ත තත්වයක් මේ මොහොතේදී
පෙනෙන්නේ ඉතා දුරස්ථ සම්භාවිතාවයක් ලෙස වුවද එවැනි තත්වයන් ලොව ඇති වී
තිබේ.
එතැනින් එහාට තත්වය පියවරෙන් පියවර විස්තර කිරීමට මම උත්සාහ
නොකරමි. කෙසේ වෙතත් ඉහත සදහන් කළ තත්වයන්ගෙන් එකකට හෝ මුහුණ නොදී මෙම
ව්‍යසනය අවසන් කරගැනීමට හැකිවේවායි අප ප්‍රාර්ථනා කළ යුතුය. එම අවදානම අවම
කරගැනීම සදහා හැකි අයුරින් වගා කළ හැකි අය ඉක්මනින් ඵලදාව ලැබෙන භෝග වර්ග
හැකි මට්ටමින් වගා කළ යුතුය. දැන් සිටම ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම
නුවණට හුරුය. ගමන් බිමන් හැකිතාක් අවම කිරීමත් මෝටර් රථයෙන් හෝ ඉන්ධන
දහනයෙන් යාම අවශ්‍ය නොවන ළග ගමන් බිමන් පයින් හෝ පාපැදියක් මගින් යාම
ඥානාන්විතය.
නිවසේ සිට කරන්නට දෙයක් නොමැතිව කම්මැලිකම ඇරගැනීම
සදහා ආහාර ද්‍රව්‍ය අධික ලෙස වැය වන කෑම පිසීමෙන් හැකිතාක් වැලකීම නුවණට
හුරුය. අත්‍යවශ්‍ය ව්‍යායාම සිදුකිරීම හැරුණු විට අධික ලෙස ආහාර පරිභෝජනයට
ශරීරය යොමු කරවන අධික වෙහෙස දනවන ක්‍රීඩා ආදිය යම් තාක් දුරකට සීමා සහිතව
පවත්වාගැනීම යෝග්‍ය වනවා ඇත.
ඉහත සදහන් කළ ප්‍රශ්න හා ගැටලු වලින්
පළමුව කී විදේශ සංචිත අවසන් වීමේ අර්බුදය හැරෙන්නට අනෙකුත් සියළුම ගැටළු
දින 21ක අඛණ්ඩ සහ අර්ථාන්විත ඇදිරි නීතියකින් පසු පාලනය කරගැනීමට රජයට
තවමත් හැකියාව තිබේ.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment