Sunday, April 12, 2020

ඉන්ගම්මාරුව

(2016 පෙබරවාරි 5 වැනි දින ලියන ලද පොස්ටුවකි)


සතියේ දිනවල රාත‍්‍රි 8.30ට ජාතික රූපවාහිනියේ විකාශය වූ ප‍්‍රියා රණසිංහ අධ්‍යක්ෂණය කල ඉර අවර නාට්‍යය ඊයේ අවසන් වූයේලු. මා එය නැරඹුවේ නැත. මගේ මෑණියන් පවසන පරිදි එය වෙනස් ආරක හොද ටෙලි නිර්මාණයකි. අලුත් ටෙලි නාට්‍යය විකාශය ඇරඹීමට නියමිත ලබන සදුදාය. එැබැවින් අද රාත‍්‍රි 8.30 වේලාව ආවරණය කිරීම සදහා මා අතීතයේ ඉතා ආශාවෙන් නැරඹූ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවක් වූ ඉන්ගම්මාරුවේ එක් කථාංගයක් තෝරාගෙන තිබුණි. සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය නොබලන මම අද ඉන්ගම්මාරුව නැරඹුවෙමි. පැරණි මතකයන් අළුත් වූ හෙයින් මේ සටහන තබන්නට සිත් විය.

මා කුඩා කල ජාතික රූපවාහිනියේ පවුලේ වේලාව රාත‍්‍රි 8.30 විය. මන්ද එය ටෙලිනාට්‍යය විකාශය වන වේලාවයි. අප කවුරුත් ඉතා ආසාවෙන් රසවිදි අරුත්බර රසවත් ටෙලිනාට්‍ය රාශියක් එකළ විකාශය වූවා මට මතකය. දූදරුවෝ, නෑදෑයෝ, සත්පුරවැසියෝ වැනි පවුලේ ටෙලි නාට්‍යද, ගිරිකුල අන්දරය, ගිනිගත් රැයක් වැනි භයානක රසය සපිරි නාට්‍යද දඩුබස්නාමානය, වෙදහාමිනේ, අකාල සනද්‍යා, ඉමදිය මංකඩ, පිටගම්කාරයෝ වැනි වෙනස් ආරක් ගත් ටෙලිනාට්‍යයද සුප‍්‍රකට ජාතික රූපවාහිනී රාත‍්‍රි 8.30 රගමඩල අපට තිලිණ කලේය.

ඒ අතර වූ සුවිශේෂී ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවකි ඉන්ගම්මාරුව. ඉන්ගම්මාරුව මුලින්ම විකාශය වනවිට මා 4වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කුඩා දරුවෙකි. එහෙත් එහි ආ චරිත අතරින් බහුතරයක් ඒ චරිත නාමයන්ගෙන්ම මට අදද මතක තිබේ. පද්මේ, මාවෝ, බොනී, පැටී, ඇස්කොට්, ගාමිණියා, රාජු, මලර් ආදී ඉන්ගම්මාරුවේ දැවැන්ත චරිත එපමණකටම මා හදවතට සමීප වූවා විය යුතුය.

ඉන්ගම්මාරුව දර්ශනතලය ඉදිකර තිබුණේ රූපවාහිනී සංස්ථාව අභ්‍යන්තරයේ යැයි කියනු ලැබේ. ඉන්ගම්මාරුව නම් වූ වත්ත මැද ඇති දැවැන්ත නුග ගස අදත් රූපවාහිනී සංස්ථා භූමියේ දක්නට ලැබේ. ඉතා කුඩා දර්ශනතලයක අවම තාක්ෂණික පහසුකම් භාවිත කරමින් සිදුකරන ලද ඉන්ගම්මාරුව වැනි අනුපමේය නිර්මාණාත්මක ගුණයකින් සපිරි නාට්‍යයක් රසවිදින කල වර්තමාන තිරකතා රචකයන්, පසුතල නිර්මාණ ශිල්පීන්, අධ්‍යක්ෂ වරුන් කෙතරම් ලිලිපුට්ටන්දැයි මනාව පෙනීයයි.

දැනට වසර 5කට පමණ පෙර සිට මා ටෙලි නාට්‍ය නැරඹීම අත්හැර දැමුවෙමි. මන්ද ඒ කිසිදු කතාවක විවිධත්වයක් මා නුදුටු නිසාවෙන් ඒ කෙරෙහි මා තුල ජනිත වූ නිසග ජුගුප්සාව නිසාවෙනි. මෑත කාලීන සෑම ටෙලියකම අප දකින්නේ දුප්පත් කෙල්ලක හා යාළු වන පෝසත් කොල්ලෙකි. නැත්නම් පෝසත් කෙල්ලක හා යාළුවන දුප්පත් කොල්ලෙකි. ඊළගට ඔවුනට ඇතිවන බාධක කරදර මැද ඔවුන්ගේ ආදරය ජයගන්නා හැටිය. මෑත කාලීන ටෙලිනිර්මාණ වලින් සියයට අනූවකම පැවති පුස්කනලද පිළුණු වූ ප‍්‍රස්තුතය එපමණකි.

නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂවරුන් සිතන්නට ඇත්තේ පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගනය අසලින් තම පොත් අතේ ගෙන පංති යන තම පෙම්වතියව මෝටර් බයිසිකලයේ නංවාගෙන යන පෙම්වතාගේ දර්ශනය අප අමන්දානන්දයට පත්කරන්නට ඇත යනුවෙනි. අප එතරම්ම සූකිරි බටිල්ලන් යනුවෙනි. එය ශ‍්‍රී ලාංකීය ප්‍රෙක්ෂකයාගේ විචාර බුද්ධියට කළ බලවත් නිග‍්‍රහයකි. (පාර්ලිමේන්තු පාරේ බස් යන්නේ නැත. මා දන්නා පරිදි ඒ අසළ ටියුෂන් පන්තියක්ද නැත. අතිශය දුප්පතෙකු පවා ඔතැනින් පයින් යන්නේද නැත. ඒත් බොහෝ ටෙලි නාට්‍ය වල පෙම්වතියෝ පොත් මිටිය ළැමට තුරුළු කරන් පංති යන්නේ ඔතනින්මය. නිර්මාණකරුවාගේ පරිකල්පනයේ ඇති මොට බව ඉන් මනාව පෙනී යයි.) එතැනින් එහාට නිර්මාණාත්මක බව සොයා යාමට කිසිවෙකුව අවැසි වූූයේ නැත. දින හතේ විකාශය වන ටෙලිනාට්‍ය හත හත් ආකාරයක ඒවා වීනම් කෙතරම් අපූර්වදැයි නාලිකා පාලකයන්ට අමතක වූ සේය.

වතමන් ටෙලිනාට්‍ය බොහොමයක් නිර්මාණයකට වඩා හුදු නිෂ්පාදනයක ස්වරූපය ගනී. වර්තමාන ශ‍්‍රී ලංකාවේ සිටින්නේ ටෙලි නිර්මාණ ශිල්පීන් නොව ටෙලි කම්කරුවන් බව කලකට පෙර ප‍්‍රවීණ කලාකරු ඩබ්ලිව්. ජයසිරි පැවසුවේ එබැවින් විය යුතුය. මන්ද ටෙලියක සෑම තත්පරයකම ඇත්තේ සල්ලිය. තේමාගීතයට මහා වියදමක් දරයි. ඔබට මතක ඇතිනම් ඉන්ගම්මාරුවේ තේමා වාදනය හහා හහා හහා හහා හා....... පමණි. නමුත් එය අදද මට මතක තිබේ. අදද මාගේ දුරකථනයේ රින්ග් ටෝන් එක දඩුබස්නාමානයේ තේමා ගීතයයි. මෑත කාලීනව පැමිණි ටෙලි නාට්‍ය තේමා ගීත වලින් කීයක් ඔබට දැන් මතක තිබේද. බොහෝවිට එකක් වත් නැත. මන්ද ඒවා ඒ තරමට අවශේෂය.

දුගී පැල්පතේ සිට පන්ති යන තරුණිය ඇද සිටින්නේ රටේ ප‍්‍රමුඛ පෙළේ ඇගළුම් වෙළදසලක ඇදුම්ය. ඇය ඒවා ඇද දුගී පැලෙන් පාරට බසින විට ඇගළුම් අනුග‍්‍රහය අසවලාය යනුවෙන් තීරුවක්ද තිරයේ පහත දර්ශනය වේ. නැවතත් යථාර්ථය හා නිර්මාණාත්මක බව පරයමින් නිෂ්පාදනය ඉහළට පැමිණ තිබේ.

ටෙලි නාට්‍ය මගින් කාන්තා රුවද මනාව විකුණයි. බොහෝ ටෙලි නිර්මාණ වල පෙම්වතියට යොදාගනු ලබන්නේ වයස විසි ගණන්වල මුල් භාගයේ පසුවන දගකාර නිළියකි. ටෙලිනාට්‍යය තුල ඇය සුසිල්වත් චාම් චීත්ත ගවුම් අදින කොණ්ඩය කරල් දෙකට ගොතන අහිංසකාවියකි. නමුත් සැබෑ ජීවිතයේ ඇය තම ශරීරය හැකිතාක් නිරාවරණය වන ඇදුම් අදින සෙල්ලක්කාර බඩ්ඩකි. ඇය උපන්දින සාද ආදියට සහභාගිවී පුවත්පත්වල හා වෙබ් අඩවිවල පළකෙරෙන ඡුායාරූප හැකිතාක් සරාගීත්වය ඉස්මතු කරන ඒවාය. ඉන්පසු එය දකින්නෝ අර අසවල් නාට්‍යයේ චීත්ත ගවුම් ඇදන් කොණ්ඩ කරල් දෙකක් ගොතා ඉන්න පට්ට කෑල්ල එළියේ දමාගෙන ඉන්න ෆොටෝ පොරකකා නරඹති. නිළිය හිට් වෙයි. පිටත සරාගීව දුටු ඇය අහිංසකව බැලීමට ටෙලිනාට්‍යයද නරඹති. නාට්‍යයද හිට් වෙයි. නැවතත් නිෂ්පාදනය ප‍්‍රමුඛ වේ.

වර්තමාන ශ‍්‍රී ලංකාවේ ටෙලි නිර්මාණ ක්ෂේත‍්‍රයේ ඇති ජුගුප්සාජනක තුප්පහි ඇත්ත ඔ්කය. නිර්මාණාත්මක බව බල්ලාට දමා ඇත. පුළුවන් තරම් හිට් කිරීමට බලති. දක්ෂ ගැඹුරු නිර්මාණ සදහා දායක වීමට කැමති නළු නිළියෝ කළකිරී විදේශගත වෙති. නැතහොත් පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන සිටිති. විධග්ද ප්‍රෙක්ෂකයෝද ටෙලිනාට්‍ය වෙනුවෙන් තම කාලය නාස්ති කිරීම නවතා දමති. අන්තිමට රූපවාහිනිය වටා ඉතිරි වන්නේ කුමක් හෝ ආදර කතාවක් රසවිදීමක නිසගයෙන්ම කැමති නව යොවුන් පිරිසක් සහ ඔ්නෑම කෙහෙල්මලකට හුරේ දමන මෝඩයන් පිරිසකි.

මෙය අතිශය කණගාටුදායක තත්වයකි. අපගේ ටෙලිනාට්‍ය කළාව යා යුත්තේ ඉදිරියටය. ඒ සදහා මනා පාඩම් අතීතයේ දැවැන්ත නිර්මාණ වලින් උගත හැකිය. ඉන්ගම්මාරුව එක් උදාහරණයක් පමණි. නමුත් එහි එක් කථාංගයක් මට ඇති කළ බලපෑම සිදුකිරීමට නව රැල්ලේ සීනිබෝල නාට්‍ය සියයක් වුවද අසමත් වනු නම් නොඅනුමානය.



No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...