Sunday, April 12, 2020

අතීතයේ එක්තරා දවසක


(2016 පෙබරවාරි 6 වැනි දින ලියන ලද පොස්ටුවකි)


මේ මගේ ජීවිතයේ සුන්දරම සමයක මගේ ළමාකාලයේ මතක සටහන් වැඩියෙන්ම තියෙන තැනක ගත්ත ඡායාරූපයක්. වම් කෙළවරේ ඉන්නෙ මම. දකුණු කෙළවරේ ඉන්නෙ චතුර මල්ලි. චතුර මල්ලි ගාවින්ම ඉන්නෙ මගෙ නංගි. මගෙ නංගියි මායි මැද්දෙ චුට්ටියට වාඩිවෙලා ඉන්න බට්ටි තමයි චතුරි නංගි. මේක දැකල මට අපේ සුන්දර අතීතය සිහිවුණා. මේ ඒ ගැන පොඩි සටහනක්.

මම 4 පන්තියෙ ඉන්න කාලෙඅපේ අම්ම අසනීප වුණා. ඒකට ප‍්‍රතිකාර කරන්න පහසු නිසා අපේ පවුලෙ හතර දෙනාම නතර වෙලා හිටියෙ පිලැස්සෙ අත්තයි කිරි අම්මයි එක්ක. අපි වැඩිහරියක් ගියෙ ආවෙ බස්වල. අප්පච්චිට පොඩි සීබී 90 බයික් එකක් තිබ්බ. හැමදාම උදේ 6ට විතර මාවත් පිටිපස්සෙන් වාඩි කරවගෙන නංගිවත් පෙට‍්‍රල් ටැංකිය උඩ තියාගෙන අප්පච්චි පිලැස්සෙ ඉදන් පොල්ගහවෙලට එනව. මාව පොල්ගහවෙල ආදර්ශෙට දාල නංගිත් එක්ක අප්පච්චි දෙණගමුව ඉස්කෝලෙට යනව. හවසට ආයෙත් නංගිත් එක්කම ආදර්ශෙ ගාවට ඇවිත් මාවත් අරගෙන පිලැස්සට එනව. නංගියි මාය් ඒ දවස් වල රණ්ඩු කෙකි. බයිසිකලේ යන ටිකටත් රණ්ඩු කර කර යනව. එහෙන් වල්ගම අපේ ගෙවල් දොරවල් බලාගන්න පොඩි අත්තව තනියම දාල, අම්මට අසනීප, හැමදේකටම වියදම හරි සැරයි, ඒ මදිවට අපිත් යන එනකල් තොරතෝංචියක් නැතුව ප‍්‍රශ්න අහනව. දකින දකින දේ ඉල්ලනව.

අප්පච්චි අර මොකක්ද?
ඇයි අර බිල්ඩින් එක රතුපාට ගාල තියෙන්නෙ?
අර කාර් එක මොකක්ද?
අපි කවද්ද කාර් එකක් ගන්නෙ?
මම නම් අර කාර් එකට කැමති නෑ

වගේ දහසක් ප‍්‍රශ්න අහනව. ඒ අස්සෙ තව රණ්ඩුත් වෙනකොට ඇති අප්පච්චි ඉවසං හිටිය.

මට මතකය් ඒ දවස් වල මගේ පන්තියෙ යාළුවන්ට නානාප‍්‍රකාර සෙල්ලම් බඩු තිබුණ. හැම කොල්ලෙක්ම වගේ මමත් ඒ කාලෙදි ආස වුණේ සෙල්ලම් තුවක්කු පිස්තෝල වලට. ඒත් මට ඒ විදියෙ සෙල්ලම් බඩු අරන් දෙන්න මගෙ අම්මට අප්පච්චිට වත්කමක් තිබුණෙ නෑ. මට මතකයි එක පාරක් බැඩ්මින්ටන් රැකට් එකක් අරන් දුන්නෙත් බොහොම අමාරුවෙන්.

ඒ නිසාම මම පුරුදු වුණා මටම ආවේණික සෙල්ලම් හදාගන්න. මට අවශ්‍ය සෙල්ලම් බඩු හදාගන්න. පුංචි අත් වලින් කියත නියන අරගෙන හැඩේට ලී කපල හරි අපූරුවට තුවක්කු පිස්තෝල හදන්න මට ඒ දවස් වල පුළුවන්කම තිබුණ. මං හිතන්නෙ මට ඒව කඩෙන් අරන් දීල තිබ්බ නම් ඒ නිර්මාණාත්මක බව මගෙන් එන්නෙ නැතිවෙයි. මම හදාගත්තු තුවක්කු පිස්තෝල වලින් පිලැස්සෙ වත්ත උඩහා මම තනියම හරි හරියට යුද්ධ කරල තියෙනව. හොරු අල්ලල තියෙනව. සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කරල තියෙනව.

නංගි කැමති වුණේ බෝනික්කො අරගෙන කරන සෙල්ලම් වලට. මට ඒව එච්චර ඇල්ලුවෙ නෑ. ඒත් අපි දෙන්නම එකතු වෙලා සෙල්ලම් කරපු වාරත් අනන්තයි අප‍්‍රමාණයි. ඒත් ඒ අනන්ත අප‍්‍රමාණ සෙල්ලම් හැම එකක්ම ඉවර වුණේ රණ්ඩු වෙලා නංගි අඩාගෙන අම්ම ළගට දුවගෙන යන එකෙන්.

ඔය විදියට තනියම සෙල්ලම් කරන අපි ලොකු පුංචි අම්මල එනකල් බලාගෙන ඉන්නෙ හරිම ආසාවෙන්. එයාල හිටියෙ වැල්ලවායෙ හදපානාගල කියන ගමේ ඉස්කෝලෙ ගුරු නිවාසෙ. ඒ දවස් වල ටෙලිෆෝන් නැහැ. ලොකු පුංචිඅම්මල එනව කියල දන්වල එවන්නෙ ලියුමකින්. ඒ ලියුම ආපු දවසෙ ඉදන් අත්තයි මායි දෙන්නම ගේ ඉස්සරහ බස් එකක් නතර කරන ගානෙ දුවගෙන ගිහින් ග‍්‍රිල් එකෙන් එබිල බලනව පුංචි අම්මල එනවද කියල. ඇත්තටම පුංචි අම්මල එනකොට අපි දවස් 5ක් විතර තිස්සෙ නවත්තපු බස් සීයක් විතර බලල.

පුංචි අම්මල එනවට නංගියි මායි ගොඩක් කැමති චතුර මල්ලියි චතුරි නංගියි එන හින්ද. එයාල එක්ක සෙල්ලම් කරන්න ලැබෙන්නෙ අවුරුද්දකට දෙපාරක් විතර. ඒත් ඒ දෙපාරම හොදට මතක හිටින අවස්ථා වලින් පිරිල. එයාල ආපු ගමන් ඉතින් අපි පටන් ගන්නව සෙල්ලම. සෙල්ලම් ගෙවල් දානව, කන්තෝරු දානව, පේර ගහ උඩ මැස්සක් බැදගෙන ඒකට නැගල ඉන්නව, වැද්දො වගේ දුනු ඊතල හදාගෙන සෙල්ලම් කරනව, කදවුරු ගිනිමැල ගහනව, බංකර් හදනව තව දහසක් සෙල්ලම්.

මේ සෙල්ලම් අස්සෙ තරහත් වෙනව. ආයෙත් ටිකකින් යාළු වෙනව. ආයෙත් සෙල්ලම් කරනව. ඔය විදියට හැන්දෑ වෙනකල් හරි අම්ම මට ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත්තරයක් කරන්න අඩගහනකල් හරි සෙල්ලම දිගටම යනව. ප‍්‍රශ්න පත්තරේ දෙන්න අම්ම අඩගහනකොට මං ඒකෙන් ගැලවෙන්න දහසකුත් එකක් උපක‍්‍රම යොදනව. නෑහුණා වගේ ඉන්නව. නැත්නම් හැංගිලා ඉන්නව. එහෙම හැංගිලා ඉන්නකොට මල්ලිලා නංගිලා මට බිස්කට් එහෙම ගෙනත් දීලත් තියෙනව.

ඔහොම ඉදලා ඉදල ලොකු පුංචිඅම්මල යනව. එයාල ගිහින් දවසක් විතර යනකල්ම මගෙ උගුරෙ මොකක්ද හිරවෙලා වගේ දැනෙනව. නංගියි මායි කිරිඅම්මයි තුන්දෙනාම ඔහේ බලාගත්තු අතේ බලාගෙන ඉන්නව. ටිකෙන් ටික හරියනව. මං ආයෙමත් මගෙ ස්වතන්ත‍්‍ර සෙල්ලම් බඩු වලින් තනියම සෙල්ලම් කරන්න පටන් ගන්නව.

ඔහොම ඉද්දි ටික ටික අම්මට සනීප වුණා. අපිත් පිලැස්සෙන් පිටත් වෙලා ආපහු වල්ගමට ආව. එයින් පස්සෙ අපිත් පුංචිඅම්මල වගේම පිලැස්සෙ ගියෙ අවුරුද්දට දෙපාරක් නැත්නම් තුන්පාරක්. ඒ ගියත් අර සුපුරුදු ආදරණීය සෙල්ලම් මානසික තත්වය වෙනස් වුණේ නැහැ. ගොඩක් සහෝදර සහෝදරියො නොකරන තරමට අපි හතර දෙනා සෙල්ලම් කරල තියෙනව. අළුත් අලුත් සෙල්ලම් හොයාගෙන තියෙනව.

අපි වල්ගම ඉදන් නිවාඩුවට පිලැස්සෙ ගියාම පුංචි අම්මල යන්නත් කලින් මුලින්ම ආපහු එන්න පිටත් වෙන්නෙ අපි. ඉතින් අපි එන දාට දවල්ට කාල එන්න පිටත් වෙන්න අම්මයි අප්පච්චියි ලෑස්ති වෙනව. අපි හතර දෙනා හරියට ඒක නොදන්න ගානට සෙල්ලමක් කරන්න පටන් ගන්නව. පුදුමෙ කියන්නෙ ඒ අන්තිම දවසෙ සෙල්ලම පුදුමාකාර විදියට සාර්ථක වෙනව. අපි තරහ වෙන්නෙත් නැතුව දවල් කෑම වෙලාව එනකල්ම දිගටම සෙල්ලම් කරනව. අපේ සෙල්ලම වැඩි දියුණු කරන්න නව සංවර්ධන යෝජනා ක‍්‍රමයක් ඇතිකරල ඒකෙ ප‍්‍රතිඵල භුක්ති විදින්න ඔන්න මෙන්න කියල තියෙද්දි අම්ම හරි අප්පච්චි හරි ඇවිත් ''එන්න පුතා ලෑස්ති වෙන්න. ඉක්මනට කාල යන්නත් එපායැ'' කියනව. නංගියි මායි ඒක නෑහුණ ගානට දිගටම සෙල්ලම් කරනව. සමහරක් දවස් වලට අපිට සැර කරල එක්ක යනව. තවත් සමහර දවස් වලට ''එහෙනම් හවසට තේ බීල යමු'' කියල ඉන්නව. අපි තව පැයක් විතර වැඩේ ඇදපුවාම ''ඔන්න ඔහේ හෙටම යං'' කියල අම්මයි අප්පච්චියි තීරණය කරනව. එහෙම වුණාම ඒ හෙට කියන දවසෙත් අර උඩ කියපු සැලැස්මම ක‍්‍රියාත්මක වෙනව.

මේ ඡායාරූපය අපේ ඔය කියපු සෙල්ලම් වයසෙ හොදම කාලෙදි ගත්තු එකක්. අපි ඔය වාඩි වෙලා ඉන්නෙ අත්තගෙ බංකුව උඩ. උදේට දවල්ට කෑම කාල එහෙමත් නැත්නම් වැඩ කරල මහන්සි වෙලා දාඩිය නිවෙනකල් හරි හවසට නාල එහෙම හරි සිගරට් එකක් බොන්න අත්තා එන්නෙ ඔය බංකුව උඩට. අපිත් ඉතිං පේන්න හිටියොත් පොඩි කමට ගිහින් අත්තත් එක්ක පණ්ඩිත කතා කිය කිය ඔතනට වෙලා ඉන්නව. එහෙම ඉන්නකොට අම්මල හොරෙන් දොර අස්සෙන් එබිල බලනව අපි කියන ඒවට අත්තට තරහ යයි කියල. ඒත් අපි කියන කතා වලට හරි කරපු වැඩ වලට හරි අත්තා කවමදාකවත් තරහ ගත්තයි කියල මට මතක නෑ.

මම දවසක් පුංචි අත් පොරවෙන් වතුර බටයක් කැපුව. ඊට පස්සෙ අත්ත එතනට එනකොට ඉණට අත්දෙක තියාගෙන ලොකු වැඩක් කළා වගේ බලාගෙන ඉන්නවලු. අත්ත මට මොකුත් නොකියා වතුර බටේ හදල දැම්ම. තව දවසක් චතුර මල්ලියි මායි අත්ත හරි උවමනාවෙන් හදපු අලිපේර ගහක් වටේට බංකරයක් කැපුව. අපේ උදළු පාරවල් වලට අලිපේර කදට තුවාලත් වුණා. ගහේ මුල් කැපෙන්නත් ඇති. අත්තා අපේ බංකරයෙන් විනාශ වුන අලිපේර ගහ දිහා දුකින් බලාගෙන ඉදල අපේ සෙල්ලම ඉවර වුණාට පස්සෙ ඒ වල වහල දැම්ම හැටි මට අද වගේ මතකයි.

අපි හතර දෙනා අපේ ළමා කාලයේ උපරිම වින්දනය ලබපු අය බවට කිසි සැකයක් නෑ. මොකද අපේ දෙමව්පියො කාටවත් ඒ කාලෙ අපිට සෙල්ලම් බඩු අරන් දෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. අපි කරපු හැම සෙල්ලමක්ම පුදුමාකාර නිර්මාණාත්මක සෙල්ලම්. ඒකයි ඒ මතකයන් අදටත් හරිම ආදරණීය වෙලා තියෙන්නෙ.

මේ සටහන ලියපු මම අද නීතිඥවරයෙක්, මගේ නංගි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ ශිෂ්‍යාවක්, චතුර මල්ලි සහ චතුරි නංගි දෙන්නම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබනවා. අපි හතර දෙනාම අද පුදුමාකාර විදියට කාර්ය බහුල වෙලා. ඒත් අදටත් අපි එකට එක් වුණාම තියෙන ඒ පුදුමාකාර බැදීමට අපේ ඒ සුන්දර අතීතය හේතුවක් වෙන්න ඇති. අපි සතුටින් සෙල්ලම් කරපු ඒ පිලැස්සෙ බතලවත්තෙ ආදරණීය භූමියත් නිවසත් දැන් කුළියට දීල තියෙන්නෙ. ඒත් දිනපතාම මගේ මෝටර් රථයෙන් එතනින් යන එනකොට ඒ පරණ සුන්දර මතකය සිහියට නැගිල සුසුමක් හෙළන එක මට අදටත් නවත්ත ගන්න බැරි දෙයක්. සමහරවිට මට රඹුක්කන ඉදන් කුරුණෑගලට එන්න, පොල්ගහවෙල හරහා, දොඹේමඩ හරහා, වගේම කටුපිටිය හරහා කෙටි පාරවල් තියෙද්දිත්, මාවතගම හරහා කුරුණෑගල යන්න දුර පාර තෝරගන්න, මට පිලැස්ස හරහා යන්න ලැබීමත්, එක හේතුවක් වෙන්න පුළුවන්.
 


No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...