
මේ ෆොටෝ දෙක ඇල්බම් එකෙන් අරගෙන ෆෝන් එකට දාගත්තෙ මොනවහරි ලස්සන දෙයක් එක්ක ෆේස්බුක් එකට දාන්න. දැන් මාස ගණනක් මේක ෆෝන් එකේ තිබුණත් ඒකට ලිවිය යුතු ලස්සනම දෙය හොයාගන්න මට තාම බැරි වීම නිසා බුකිගත කිරීම පමා වුණා. මේ ඉන්නෙ අප්පච්චියි අම්මයි තරුණ කාලෙ. පළවෙනි එකේ අප්පච්චිගෙ වම් අතේ රවාගෙන ඉන්න පොඩ්ඩා තමයි මම. ඒ 1989 හෝ 90දි. ඒ කාලෙ නංගි හිටියෙ නෑ.
දැන් අප්පච්චිට වයස අවුරුදු 63ක්. අම්මට 57ක්. ඔය චුට්ටියට ඉන්න අදටත් වැඩි ලොකුවක් නැති මට ලබන මාර්තු 13 වෙනිදට අවුරුදු 32ක්. ඉතින් මේ ෆොටෝ එකේ පේනවට වඩා දැන් තුන්දෙනාම පෙනුමෙන් සෑහෙන්න වෙනස්.
මට පුංචි කාලෙ මුලින්ම මතක මාවතගම සාමෝදය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු නිවාසෙ හිටපු කාලෙ. එතකොට එහෙ විදුහල්පති අපේ අත්තා. ඒ කියන්නෙ අම්මගෙ අප්පච්චි කපිතන් නිමල් ඉලංකෝන්.
අපිට තිබුණෙ පරණ CB 90 බයිසිකලයක්. ඒ බයිසිකලේ පෙට්රල් ටැංකිය උඩ ඉඳගෙන තමයි මම ගමන් බිමන් ගියෙ.
ලොකු ආර්ථික ශක්තියක් තිබුණෙ නෑ. පඩි දෙකෙන් බොහොම අමාරුවෙන් තමයි ඒ කාලෙ ජීවත් වුණේ. ඒ තැන ඉඳලා ඉඩම් හිමියෙක් දක්වා අප්පච්චි වර්ධනය වූ හැටි මම ඇස් දෙකෙන් දැක්කා. අවුරුදු 32ක් වෙලත් ඒ ධෛර්යය, ශක්තිය, නොසැලෙන බවට මට අදටත් කිට්ටු වෙන්නවත් බෑ.
අපේ අම්මා හරියට සෞම්‍ය සඳක් වගේ. ඕනම තැනක ප්‍රශ්නයක් ඇතිකර නොගැනීමේ වටිනාකම මම ඉගෙනගත්තෙ අම්මගෙන්. මාත් එක්ක අදටත් මගෙන් වූ වරදක් හෝ පිටවූ වචනයක් නිසා තරහ වෙච්ච කෙනෙක් නෑ. ඒ නිසා ඒ ගුණයනම් මටත් අඩු නැතුව පිහිටලා තියෙනව කියල මට හිතෙනව.
ඕනම දරුවෙකුට තමන්ගෙ ලෝකෙ වීරයා අප්පච්චි. ඇත්තටම මම පොඩි කාලෙ මගේ වීරයාටත් කරන්න බැරි දෙයක් තිබ්බෙ නෑ. ගොඩාක් සෙල්ලම් බඩු මට අරන් දෙන්න වත්කමක් එයාලට තිබ්බෙ නෑ. ඉතින් පුළු පුළුවන් වෙලාවට මොනවහරි මට හදල දෙන එක තමයි ගොඩක් වෙලාවට වුණේ.
ඉස්කෝලෙට මොනවහරි හදාගෙන යන්න කිවුවත් යාළුවො හදාගෙන එන දේට වඩා ලස්සනට සුරුවමට ඒ දේවල් හදල දෙන්න අප්පච්චි හැම වෙලාවෙම වගබලාගත්ත.
අම්මා තමයි ගොඩක් වෙලාවට පාඩම් වැඩ ගැන හොයල බැලුවෙ. පොඩ්ඩක්වත් පාඩම් කරන්න හිත තිබුණෙ නැති මාව උපක්‍රමශීලීව පොතට ඇදල දැම්මෙ අම්මා. ඒ ඇතැම් විට තරවටුවකින්. ඇතැම්විට මම කියවන්න ආස කරන පොත පත ගෙදර සුලභ කිරීමෙන්. අදටත් අපේ ගෙදර බැලූ බැලූ අත විවිධ පොත් සිය ගාණක් තියෙනව. ඒ වගේම අදටත් මම පොත් ගුල්ලන් අතර හොඳම පොත් ගුල්ලෙක්.
අප්පච්චි මගෙ අධ්‍යාපන කටයුතු වලට ඍජුව මැදිහත් වෙන්නෙ ඉංග්‍රීසි සහ ගණිතය සඳහා. ව්‍යාකරණ පොත් අරන් ඇවිත් දවසට පැය ගාණෙ මට ඉංග්‍රීසි උගන්වලා අප්පච්චිට වඩා ඉංග්‍රීසි දන්න කෙනෙක් බවට මාව පත් කලේ ඇතැම් විට තරවටු කර කර. ගණිතයට විශේෂ දක්ෂතාවයක් අප්පච්චිට තිබ්බ. සාමාන්‍ය පෙළ කිට්ටු වුණාම මේ මොකක්ද කියල මට කිසිම අවබෝධයක් නැති අපහසු පාඩම් අප්පච්චි පැයක් දෙකක් ඇතුලත බොහොම පහසුවෙන් මගෙ ඔලුවට රිංගෙව්ව.
උසස්පෙළ වෙනකොට මම තනියම අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් මට්ටමට ඇවිත්. එතකොට හැමදාම හය වෙද්දි ගෙදර එන මට එවලෙම කාල නිදාගන්න බත් එක හදල තිබ්බෙ අම්මා. ඊට පස්සෙ රෑ 10ට නැගිටින මට එළි වෙනකල් පාඩම් කරන්න ඉඩ දීල ඒ හැමෝම නින්දට ගියා.
උසස්පෙළින් පස්සෙ කළමනාකරණ පාඨමාලාවට නොයා නීතිය පැත්තට යොමු වෙන්න මාව උනන්දු කළේ අප්පච්චි. ඊට පස්සෙ ටිකෙන් ටික දේශපාලනය දර්ශනය වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවදානය යොමුවෙද්දි ඒ හැම මොහොතකම මම දැනුම සෙවිය යුත්තේ කොතනද කියන එක හරියට පෙන්වා දුන්නෙ අප්පච්චි.
නීතිඥවරයෙක් වශයෙන් දිවුරුම් දීලා නීති වෘත්තියට ප්‍රවිශ්ඨ වෙලා පස්සෙ විවාහ දිවියටත් පත් වෙලා මේ වෙනකල්ම අද දක්වාම ඔවුන් දෙදෙනා මට ඉරයි හඳයි වගේ එළිය දෙනව. මගෙන් එළියක් ඔවුන්ට ලැබෙනවද එහෙම කවදහරි ලැබුණද කියල අදටත් මම දන්නෙ නෑ.
දෙමව්පියන්ගෙන් ලැබෙන ඒ ආදරය සෙනෙහස රැකවරණය කිසිම කෙනෙකුට වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නෑ. ජීවිතේ ඇතැම් අවස්ථා වලදි පහර පිට පහර වැදිල ඇදගෙන වැටෙන්න යද්දි පිටිපස්සෙ ඉඳන් තමන්ට වාරු නැතත් නොවැටී ඉන්න හයියක් දෙන්න පුළුවන් ධෛර්යයක් තියෙන්නෙ දෙමාපියන්ටම විතරයි.
මේ සටහන මීටත් වඩා හොඳට ලියන්න මට වුවමනාව තිබ්බ. ඒත් වඩා හොඳට ලියන්න කිය කිය කල් දැම්මොත් මං අතින් මේක කවදාවත් නොලියවෙන්නත් පුළුවන්. ඒ නිසා පිටු ලක්ෂයකින් වත් ලියා නිමකරන්න බැරි කතාවක් බොහොම අපිළිවෙලට හරි මේ විදියට අකුරු ඇමිණුවෙ ඔවුන්ට ගොඩක් ආදරයෙන්.
"උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඇතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ"
"පියාණෙනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා"
No comments:
Post a Comment