Tuesday, April 14, 2020

මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා

මිනිහෙක් තමන්ගෙ ප්‍රියාව ආරක්ෂා කරගතයුතුයි. ඒක පෙරදිග ලෝකයේ ගොඩක් ප්‍රචලිත සිද්ධාන්තයක්. ඒත් ප්‍රියාව ආරක්ෂා කරගන්න පුළුවන් සීමාවෙන් එහා ඉන්න පෙම්වතෙක් සැමියෙක් ඇගේ ආරක්ෂාව පිළිබඳව බයෙන් සැකෙන් සාංකාවෙන් ගයන ගීතයක් තමයි සුනිල් එදිරිසිංහයන්ගෙ "මගෙ අමල් බිසෝ". මෙතන තියෙන්නෙ පුරුෂාධිපත්‍යයේ උපරිමයේ සම්පූර්ණ පරස්පරය. අහිංසක බලාපොරොත්තුවක්. අහිංසක ඉල්ලීමක්.

"මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්"

ඇය ඔහුට පේන මානයේ නැහැ. ඇයව රකින්නට තියා දකින්නටවත් පුළුවන් සීමාවෙන් එපිට ඔහු ඉන්නෙ. ඇය මූදුකරේ තනියෙන් යන්නෙන් පේන්නෙ බොහෝවිට ඔහු ධීවරයෙක්. ඇයට ඔහුට ආරක්ෂාව දෙන්න, සීමා පනවන්න තියා තරවටු කරන්නවත් බෑ. ඔහු අහිංසක ඉල්ලීමක් කරන්නෙ ඒකයි. "අනේ දොර නෑර පරිස්සමින් ඉඳපන්" වැනි ඉල්ලීමක් ඔහු කරන්නෙ ඒ නිසා.

"යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්"

මිළි මුදල් ඇති යුරෝපයෙන් ආ ධනය බලයෙන් ආඪ්‍ය සුදු මහත්තුරු ඇය ජීවත් වෙන අවට නිරන්තරයෙන් සැරිසරනව. ඔහුට බය ඇයට බලහත්කාරකමක් වෙයි කියල නෙමෙයි. මුදුබැලුම් හෙළලා ඇයව රවටා ගනීවි ඇයට ළං වෙන්න උත්සාහ කරයි කියන බයයි ඔහුට තියෙන්නෙ.

"ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්"

සුදු මහත්තුරු ඇය දිහා මුදු බැලුම් හෙලද්දි සුදු නෝනාවරුන්ගෙ නෝක්කඩු බැල්මටත් ඇය හසුවන එක සාමාන්‍ය දෙයක්. ඒ සියල්ල නොසළකා ඔහු එනතුරු පොඩි එවුන්ද ළං කරගෙන හෝදිසියෙන් ඉඳපන් කියන ඉල්ලීම නැවත නැවතත් ඔහු කරන්නෙ බැගෑපත්ව.

මෙය සම්පූර්ණයෙන්ම පොතක් ලිවිය හැකි චිත්‍රපටයක් නිර්මාණය කළ හැකි තරම් පළල් වස්තු විෂයක් ගීතයක වචන කීපයකට කැටි වුණ අවස්ථාවක්. ඒ විශ්ව කර්ම ක්‍රියාව බණ්ඩාර ඇහැලියගොඩගෙ. එය රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කරලා සුනිල් එදිරිසිංහයන්ගෙ මියුරු හඬින් ඇසෙනකොට අපූරු සංවේගය මුසු මිහිරියාවක් දැනෙනව.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...