Sunday, April 12, 2020

රැජින

(2017 සැප්තැම්බර් 30 වැනි දින ලියන ලද පොස්ටුවකි)


"අප දන්නා ඉතිහාසය විසින් අනුලා නැමති මහ රැජින ඒකමතිකව සම්මත කර ඇත්තේ අසමසම කාම ධේනුවක ලෙසය. (මීට දින කීපයකට පෙර මම මේ පොත කියවමින් සිටියදී මිතුරෙකු සමග අනුලා දේවිය ගැන සඳහන් කල කෙණෙහිම ඔහු ඇසුවේ "ඕක රට බඩුවක් නේද මචං" කියාය). එමෙන්ම ඉතිහාසය නැමති අඳුරු ගල්ලෙන අඳුරේම අතපතගාන විට අපට ඉන් එහා කිසිවක් සොයාගත නොහැකිය. මේ උත්සාහය, අලුත් ආලෝකයක් දල්වා ඒ අඳුරු ගල්ලෙන තුල සිර කළ අනුලා නමැති ගැහැනිය සැබෑ ලෙස හඳුනාගැනීම සදහාය. නොඑසේනම් දහසක් පිරිමි මැද අතරමං වූ ඇගේ අහිංසක ආදරයේ රහස් ඔබ සමඟ බෙදා හදා ගැනීම සඳහාය."

ඉහත ඡේදය මා උපුටාගත්තේ මොහාන් රාජ් මඩවලයන්ගේ රැජින පොතේ පෙරවදනට ප්‍රථම පිටුවේ "වචනයක් දෙකක්" මැයෙන් ඇති කුඩා සටහනෙනි. වරහන් තුල ඇතිදෑ මගේ එක්කාසුවකි.

මොහාන් රාජ් මඩවල රචනාකළ සියළුම නවකතා අතර සාර්ථකත්වය හා නිර්මාණාත්මක ගුණය අතින් මා "රැජින" රඳවන්නේ සිව්වන ස්ථානයේය. ඒ 1. ආදරණීය වික්ටෝරියා, 2. ලොවීනා, 3. මාගම් සෝලිය සහ 4. රැජින වශයෙනි.

ඒ කෙසේ වුවත් තත්කාලීන ශ්‍රී ලාංකීය දේශපාලන සන්දර්භය තුල ඇති ප්‍රවණතාවයන් සියුම් ලෙස ඉතිහාසය සමඟ මුසුකොට උපහාසයක සේයාවක්ද සමඟ ඉදිරිපත් කැරලීමට කතුවරයා දක්වා ඇති කෘතහස්ත භාවය හා බුහුටි බව කිසිසේත් සුළුකොට තැකිය නොහැක.

විශේෂයෙන්ම පුද්ගලික දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවාගැනීමේ සටන් වලදී නිර්ලජ්ජිත ලෙස ජාතිය සහ ආගම අවියක් කරගන්නා ඇතැමුන් කෙරෙහි මෙම පොත තුල යොමු කැරෙන විවේචනාත්මක උපහාසය ඔවුන්ගේ පපු කැවුතු හාරා කන තරම් ප්‍රබල එකකි.

කටකතාවලට දේශපාලන සන්දර්භය තුල නිරෑපණය කළ හැකි තීරණාත්මක භූමිකාව සහ කටකතා වලට ඇති බලය මේ යැයි මෙම ඓතිහාසික තේමාවක් රැගත් නූතන නවකතාව යළි යළිත් පසක් කරවන ප්‍රබලතාවය කෙතෙක්ද යත් නවකතාව කියවාගෙන යන ඇතැම් තැන් වලදී මේ කියවන්නේ ඓතිහාසික නවකතාවක් නොව වර්තමාන පුවත්පතක කාලීන දේශපාලනික විග්‍රහයකැයි කියවන්නාට සිතෙනු ඇත.


"මේ සියල්ල කරන්නේ ආවේගශීලී ගොබ්බයෙකු ලෙස නොවේ. නරියෙකුටත් වඩා කපටි සූක්ෂම උපායශීලියෙකු ලෙසය.................නූගත් අවිචාරශීලී මිනිසුන් කුපිත කිරීමට මේ බොරු සිංහල බෞද්ධ හැගීම තරම් තවත් කදිම නිමිත්තක් නොමැති බව ඔහු දනී. ජාතියකට, ආගමකට හෝ කුලයකට එරෙහිව අවි අමෝරාගන්නට බුද්ධ ධර්මයේ කොතනකවත් සදහන් වී නොතිබීම, එහිදී ඔහුට අබැටක තරම්වත් වැදගත් නැත."
(උපුටාගැනීම - පිටු අංක 155, "රැජින" by මොහාන් රාජ් මඩවල)



No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...