Tuesday, April 14, 2020

තනි තරුවේ


"සිංහල භාෂාවෙ වචන එහාට මෙහාට පෙරල පෙරල හිතූ හිතූ හැටියට ගීත ලියන්න පුළුවන් ජගතෙක් තමයි ප්රේමකීර්ති" ආචාර්ය වික්ටර් රත්නායකයන් මෑතකදි තිබුණ සජීවී ප්රසංගයකදි ප්රේමකීර්ති ද අල්විස් ගැන කිව්වෙ එහෙම. ඒ මහා සංගීතවේදියා ප්රේමකීර්තිට දීපු සහතිකය කිසිසේත්ම අතිශයෝක්තියක් නොවනව බව ඔහුගේ අතින් පද බැදුණු ගීත ගොන්න බලන ⁣ඕන කෙනෙකුට තේරෙන දෙයක්.

ඒ අතරින් තවත් එක් ආකර්ශනීය ගීතයක් තමයි තනි තරුවේ. ගීතයේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක් පාසාම විරහව තැවරුණු ඇස් පියාගෙන අසා සිටිය හැකි පදවැලක් එහි තියෙනව.

"තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා"

පොඩි කාලෙ ඕක අහද්දි ම⁣ට හිතුණෙ කවුරුහරි මිනිහෙක් බීල වැඩිවෙලා කියන සින්දුවක් කියල. ඇත්තටමත් බීල ඉද්දි ලියපු සින්දුවක් බව තමයි දැනගන්න තියෙන්නෙ. ඒත් ගීතයෙන් වෙරිමතට එහා ගිය විරහවක් නිරූපණය වෙනව.

ඇය බොහොම දීප්තිමත්. ඔහුට සාපේක්ෂව ලොකු ප්රභාවක් ඇයට තියෙනව. ඒ නිසා ඔහුට ඇය තරුවක්. නමුත් තනිවුණ තරුවක්. සියළු සැප සම්පත් තිබුණත් තනිකමේ පාළුවේ ජීවත් වන කෙනෙක්. ඒ වගේම ගීතයේ කථකයා සහ ඇය අතර මහ විශාල දුරක් තියෙනව. නමුත් ඔහු ඇය දිහා බලාගෙන ඉන්නව. ඈත අහසේ ඇයව දිදුලන හැටි. ඇයගෙ තනියට ඔහු ආලෝකවර්ෂ ගණනාවක් මෙපිට ඉදන් බලාගෙන ඉන්නව. ඒ නිසයි කියන්නෙ ඔබත් ඔහොම ඔතැන ඉන්න. මමත් මෙහෙම මෙතැන ඉන්නවා කියල.

ඒක එක අර්ථකථනයක්. තවත් එකක් තමයි ඔහු දැනටමත් තනිවෙලා. ඔහු තනිවෙලා ඉන්න වෙලාවක තමයි තනි තරුවක් අහසෙ පායලා තියන හැටි දකින්නෙ. ඔහුත් සැලකියයුතු තරුවක්. ඉතින් ඔහුට හිතෙනව තමන් තුල කොච්චර ප්රභාවක් තිබුණත් තමනුත් ඒ තනි තරුව වගේ නේද කියල. ඒ නිසා ඔහු තවත් තනිවෙච්ච තරුවක් එක්ක තනිකම බෙදා ගැනීමක් කියලත් මේක කියන්න පුළුවන්.

"නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ"

මේ පද පෙලත් එක්ක බලනකොට මුල් පද පෙලට මම දුන්න දෙවනි අර්ථකථනය තමයි වඩාත් ගැලපෙන්නෙ කියල හිතෙනව
මොකද ඔහු ඇය සමග මෙතෙක් දුරක් එක්වී ඇවිත් තියනව. නමුත් ඒ එක් වීමේ ස්වභාවය කොයි වගේද කියලත් කියනව.

"නෙතඟ නෙතඟ පැටලි පැටලි" යන්නෙන් අදහස් වෙන්නෙ ඔහුට ඇය දිහා හරියට බලන්නවත් ලැබෙන්නෙ නැහැ. බැලුවත් එය නෙත් කොණින්, ඇස් අගින් හොරෙන් බලන බැල්මක් පමණයි. "මුවඟ මුවඟ ඇලලි ඇලලි" මුවගින් ඒ කියන්නෙ තොල් වලින් විතරක් කතා කරන්නෙ රහසින් කතා කරනකොට. ඒත් ප්රේමකීර්ති පාවිච්චි කරන්නෙ "ඇලලි ඇලලි" යනුවෙන්. ඇලලී යනව කියන් යම් ආකාරයකට කැළඹී යාමක්, කලබලයට පත්වීමක් වැනි දෙයක්. ඒ කියන්නෙ ඔවුන් රහසින් කතා බහ කළාට නෙතඟාන් හොර රහසේ බැලුම් හෙලුවට එය දෙදෙනාවම කළඹවන තරම් බරපතළ බැඳියාවක්. ඒ බැඳියාව සමග මේ තරම් දුර ඔවුන් ඇවිත් තියෙනව.

"මහද අරණ ළතැවි ළතැවි
රැදෙණු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ"

ඔහුගේ හදවත ආරණ්යයක් වගේ පූජනීයයි. බොහෝවිට එය ප්රේමයේ ආරණයයක් විය හැකියි. නමුත් ඇය ඒ ආරණ්යයේ ලැගුම් ගෙන ඉන්නෙ ළතැවෙමින්. ඒ ඇයි? ඔවුන් බොහෝවිට අසම්මතයේ පෙම්වතුන් වෙන්න ඇති. ඔහුට ඇය වෙනුවෙන් තැනූ ප්රේමයේ දෙවොල පූජනීය වුණත් ස්ථිරසාර වුණත් ඇයට ඒ ගැන සැකයි, බියයි. ඒ හරහා මතුවෙන සිත් තැවුල් දරාගන්නට බැරිව ඇය ළතැවෙමින් කාලයක් ඉඳලා තවදුරටත් රැඳෙන්න බැරිව ඉගිලි ඉගිලි ඉවත්ව යනවා. ඒත් එකපාර නෙවෙයි. මදක් ඉගිලෙන්නට ගොස් ආයෙත් ඇවිත් නැවතත් ඉගිලී ඉනත්ව යාමක් වගේ දෙයක් හැඟවෙන විදියටයි වචන යොදා තියෙන්නෙ. එසේ ඔහුගෙන් ඉවතට ඇදී ගිය ඇය දැන්වත් සැනසෙනවා ඇතැයි ඔහු කල්පනා කරනවා. මන්ද ඔහුගේ එකම සතුට ඇගේ සැනසීම නිසා.

ඔහු ඇයට තමන්ගෙන් ඉවතට ගොස් සැනසෙන්නට ඉඩ හැරලා තමන් මෙන්ම තනිවූ එහෙත් ප්රභාමත් තාරකාවක් එක්ක තනිකම බෙදා ගන්න හැටි ඔය වචන කීපයට ගොණු කරන්න ප්රේමකීර්ති ද අල්විස් දක්වා ඇති බුහුටිකම අපූරුයි. ඒ ප්රභාමත් තනි තාරකාව අහසෙ තියෙන තරුවක් නොවී ගීතයේ රචකයා සමඟ එතැන ඉඳගෙන ඔහුගෙ දුකයි මධුවිතයි දෙකම බෙදාගන්න තවත් ප්රභාමත් පුද්ගලයෙකු වෙන්නත් පුළුවන්. කතාවක් තිබෙනවා මේ ගීතය ලියැවෙන අවස්ථාවේ ආචාර්ය වික්ටර් රත්නායකයකයනුත් එතැන හිටියා කියල.

පුංචි කාලෙ මිනිහෙක් බීල කියන විකාර සින්දුවක් කියල හිතපු, ඒත් ඇත්තටමත් මිනිහෙක් බීල ලියපු සාගරය වගේ ගැඹුරක් ඇති පද පෙලක් හිතට වැදුණෙ අළුත් ගායනතරු තරඟයක තරඟකරුවෙක් මේ ගීතය ගයනවා අහල. සමහර ගීතවල එහෙම බලපෑමක් තියෙනව. හැමදාම ඇහෙන හඬට වඩා වෙනස් හඬකින් ඒක ඇහෙද්දි අර්ථය රසය වැඩියෙන් උද්දීපනය වෙන්න පුළුවන්.

ඉතින් තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා නඩු පොත් බල බල. මොකද හෙට ට්රයල් 😂

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...