Tuesday, April 14, 2020

පරණ හින්දි චිත්‍රපට රස

කාලෙකට පස්සෙ අද පරණ හින්දි චිත්රපටියක් බලන්න ලැබුණා. නම මොකක්ද මතක නෑ. ඒ කාලෙ රචකයන්ගෙ පරිකල්පනය අතාත්වික වුණත් ආකර්ශනීයයි.

නඩුවකට සාක්ෂිකාරයෙක් අරන් එන්නෙ පොලිසියෙ ඉන්ස්පෙක්ටර් අමිතාබ් භච්චන් හොඳ තරුණ කාලෙ. ඒ එනකොට විත්තිකාරයගෙ චක්ගෝලයො එකම විදියෙ ඇඳුම් ඇදගෙන පාර දිගට ඉඳන් සබ් මැෂින්ගන් වලින් වෙඩි තියනව. ඉන්ස්පෙක්ටර් කානු හයේ රිවෝල්වරෙන් කොහොමහරි සාක්කිකාරය බේරගෙන එක්ක එනව.

එන වාහනේ තියන හදිස්සියට කෙලින්ම උසාවියෙ දොර කඩාගෙන ඇතුලටම එනව. ඇවිත් බැහැල කියනව "ස්වාමීනී සාක්කි කාරයා එක්ක ආව" කියල. ඊට පස්සෙ විත්තිකාරය ළඟට ගිහින් තගකුත් දානව. නඩුකාරතුමාත් අර වාහනේ එහෙමම තියෙද්දි සාක්කි අහනව.

පැමිණිල්ලෙ නීතිඥවරයා මූලික ප්රශ්න අහල ඉඳගන්නෙ "That's all your honor" කියාගෙන. විත්තියෙ නීතිඥවරයා හරස් ප්රශ්න අහන්න නැගිටින්නෙ බොහොම තරහින් "That's not all your honor" කියාගෙන. 😂😂😂😂
 
කොහොමින් කොහොමින් හරි අන්තිමේ විත්තිකාරය නිදහස් වෙනව. මිනිහගෙ සහචරයොයි නීතිඥවරුයි ගිහින් නඩුකාරතුමාත් ඉද්දිම මිනිහට සුබපතනව. විත්තිකාරය විත්ති කූඩුවෙන් බැහැල එතන ඉන්න ඉන්ස්පෙක්ටර්ටත් උසාවිය ඇතුලෙදිම තර්ජනය කරල යන්න යනව.

මඟදි එනව චිත්රපටියෙ හිත හොඳ චණ්ඩියා. මිනිහ කියනව ආණ්ඩුවෙ උසාවියෙන් බේරුණාට මිනිහගෙ උසාවියෙන් බේරෙන්න බැරිය කියල. එහෙම කියල විත්තිකාරයට ගහනව. එතකොට අර පාර දෙපැත්තෙ සබ්මැෂින් ගන් තියාගෙන හිටපු සෙට් එක තුවක්කු තියල චණ්ඩියත් එක්ක අතින් පයින් ගහගන්න එනව. චණ්ඩිය බොහොම ලේසියෙන් උන් ඔක්කොටම ගහල විත්තිකාරයව බිම දිගේ ඇදගෙන ගිහින් ආපහු විත්ති කූඩුවට නග්ගනව.

නග්ගල කියනව මේ නඩුව මිනිහ සාක්ෂි සහිතව ඔප්පු කරනව කියල. විත්තියෙ නීතිඥවරයා මූලික විරෝධතාවයක් ගේනව. නමුත් නඩුකාරතුමා කියනව අපි මෙයාට සවන් දෙන්න ඕන නැත්නම් අසාධාරණයි කියල. එහෙම කියල නඩුව ආයෙ අහනව.

චණ්ඩියා හිතේ හැටියට උසාවියෙ එහාට මෙහාට ඇවිද ඇවිත පණ්ඩිත ටෝක් එකක් දෙනව. මිනිහ සාක්ෂි මොකුත් අළුතින් ඉදිරිපත් කරන්නෙ නෑ. කතා කරන්නෙ චිත්රපටිය බලන උන්ගෙ හදවතට. මිනිහ කතා කරල ඉවර වෙනවත් එක්ක විරෝධතා පුවරු ගත්තු කණ්ඩායමක් උද්ඝෝෂණය කර කර උසාවිය ඇතුලටම එනව විත්තිකාරය හිරේ දාන්න කියල.

නඩුකාරතුමා චණ්ඩියා⁣ගෙ ටෝක් එකයි මහජන විරෝධයයි සළකල විත්තාකාරය වරදකරු කරනව. එතනින් ඉවරයි කියලද හිතේ? ඔහෙ නෑ. තව තියනව.

වරදකරු කරපු ගමන්ම මෑන් සාක්කුවෙන් පිස්තෝලයක් ඇදල ගන්නව. අරගෙන උසාවියෙ ඉන්න ලස්සනම කෙල්ලව ප්රාණ ඇපයට අරන් පැනල යනව. පැනල යන්නෙ පාරට නෙමෙයි උසාවියෙම උඩ තට්ටුවට. ඒ පස්සෙන් පන්නගෙන යන හිතහොඳ චණ්ඩියා ගහන පාරට අර වැරදිකාරය කලින් නඩුව අහපු උසාවියෙම වහලෙ කඩාගෙන ඒකෙ බාල්කයෙ අත් දෙකෙන් එල්ලිල "බේරගනියෝ" කියල කෑගහනව.

චණ්ඩියා කියනව බේරගන්නනම් කරපු වැරදි ඔක්කොම පාපෝච්චාරණය කරපන් කියල. ඉතින් අර මිනිහ අත් දෙකෙන් බාල්කෙ එල්ලිල පල්ලෙහා නඩුකාරතුමායි අනිත් අයයි බලාගෙන ඉද්දි පාපෝච්චාරණය කරනව. ඒක ඉවර වුණ ගමන් හිතහොඳ චණ්ඩියා කඹයක් අරන් වැරදිකාරයගෙ බෙල්ලට දාල පහලට තල්ලු කරනව. එහෙමයි මෑන්ව වරදකරු කරපු උසාවියෙදිමෙ එල්ලල මරන්නෙ.

අන්තිමට පෙන්නන්නෙ යුක්තියේ දෙවඟන පිළිරුව ඉදිරියෙ එල්ලා මරල පැද්දෙන දුෂ්ඨයාව.
සම්පූර්ණයෙන්ම අතාත්විකයි. එක පැත්තකින් බැලුවොත් මෝඩයි කියලත් කියන්න පුළුවන්. ඒත් ඒක තමයි ඒ කාලෙ හින්දි චිත්රපට බහුතරයක ස්වභාවය. මිනිස්සු විසිල් ගගහ බැලුවෙ ඕව තමයි. ඒත් එහෙමයි කියල ඒ චිත්රපට වල රසය පොඩ්ඩක්වත් අඩු නැහැ. ඒව බලන එක වෙනම ආතල් එකක්.

අර නඩු විසඳන විදිය නම් මේ දවස් වල කටේ බලේට නඩු විසදන්න ඕන කියල රඟන සමහරුන්ට පෙන්නන්න වටිනව. එයාල ගොඩක් ආස වෙයි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...