Tuesday, April 14, 2020

මාර්ටින් වික්‍රමසිංහ සහ හරක් මස්

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් තරම් විවිධ ක්ෂේත්‍ර ගණනාවක් විෂයෙහි පොතපත ලියූ ගත්කරුවෙකු ශ්‍රී ලංකාවේ නොමැති තරම්ය. එපමණක් නොව එතුමන් තරම් ගතානුගතිකත්වයට එරෙහිව සියුම් ලෙස පහර ගැසූ අන් ගත්කතුවරයෙකු ඒ යුගයේ නොසිටි තරම් වෙයි. ඔහු විසින් රචනා කරන ලද ඇතැම් පොත් වර්තමානයේ රචනා වී නම් ඔහුව සිරගත කිරීමට පවා ඇතැම් පාර්ශවයන් පෙළඹෙන්නට තිබුණි.

කෙසේ වෙතත් වර්තමාන නව පරපුරේ වැඩිදෙනෙකු පොතපත කියැවීමට වඩා අන්තර්ජාලයෙන් දැනුම සෙවීමට උනන්දු වෙති. ඔවුන්ට මාර්ටින් වික්‍රමසිංහයන් මගහැරෙති. මාගේ වයසේ අය අතර පවා මාර්ටින් වික්‍රමසිංහ යනු කවරෙක්ද ඇසූ කල ගම්පෙරළිය-කලියුගය-යුගාන්තය ලියූ ලේඛකයා ලෙස මිස එතැනින් එහාට ඔහු හදුනාගත් අය ඉතාම අතලොස්සකි.

ඔහු විසින් රචිත නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය වැනි පොත් වල ගතානුගතිකත්වයට එරෙහි ඔහුගේ ප්‍රහාරය කෙතරම් ප්‍රබලද යන්න අදහාගත නොහැකි තරම් වෙයි. ඔහු එම ප්‍රහාරය යම් අයුරකින් ඔහුගේ නවකතා තුල පවා ප්‍රවේශමෙන් ස්ථානගත කර ඇත්තේ විචාර බුද්ධියෙන් සහ විවෘත මනසින් යුතු අයට පමණක් ඇස ගැසෙන පරිදි යැයි සිතේ.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන උපන්දා සිට කියවා ඔහුගේ අනෙක් නවකතා කියවන ඕනෑම අයෙකු ඔහුගේ සෑම නවකතාවක් තුලම පාහේ තමාගේ චරිතය ඉතා ප්‍රවේශමෙන් ස්ථානගත කර ඇති අයුරු දකිනු ඇත. ගම්පෙරළිය-කලියුගය-යුගාන්තය කතා ත්‍රිත්වයේ ඔහු එය සිදුකරන්නේ තිස්සගේ චරිතය හරහාය.

වැඩිදෙනෙකු කියවා ඇති ගම්පෙරළිය නවකතාවේ නන්දාට දරුවා ලැබෙන රාත්‍රියේ වීරසිරි වෙදමහතා, ජිනදාස සහ තිස්ස අතර ඇතිවන පහත දැක්වෙන සංවාදය ගම්පෙරළිය නවකතාවේ මූලික හරයට කිසිසේත් අදාළ එකක් නොවේ. එසේ නම් එවැනි සංවාදයක් මාර්ටින් වික්‍රමසිංහයන් එහි යෙදුවේ ඇයි? ඒ පැහැදිලි ලෙසම සමාජයේ මුල්බැසගෙන පවත්නා මිත්‍යා මත වලට නිර්දය ලෙස පහර ගැසීමටත් තිස්ස තුලින් නිරූපණය වන තමා කවරෙකුද යන්න පිළිබදව නිසිලෙස සන්නිවේදනය කරගැනීමටත් යැයි සිතිය හැකිය.

වීරසිරි වෙදමහතා තුලින් කතුවරයා ගතානුගතිකත්වය කරපින්නාගත් උගතෙකු නිරූපණය කරයි. ඔහු යථාර්ථය දකින මුත් තමා උපතේ පටන් ස්ථාපිත කරගන්නා ලද පදනම් සෙළැවීමට බිය වන්නෙකි. ජිනදාස තුලින් නිරූපණය කරන්නේ දැනුවත් භාවයකින් තොරව හුදෙක් උපතින් ලැබුණාට ගතානුගතිකත්වයේ එල්බ සිටින නූගත් ප්‍රජාව වේ.

උපුටා ගැනීම:-

"සිංහල වෙද මහත්තැන් ලෙඩ්ඩුන්ට විතරක් නෙවී, සනීපෙන් ඉන්න මිනිස්සුන්ටත් හරක් මස් කන්න එපයි කියන්නේ ඇයි? කනවානම් කන්න ඕනෑ හරක් මස්; හැබැයි දිරවන්න පුළුවන් මිනිස්සු විතරක්."

"හරක් මස් උෂ්ණයි; අගුණයි"

"සිංහල වෙද මහත්තැන් හරක්මස් කන්න එපයි කියන්නේ ඒ නිසා නෙවි. සංස්කෘත වෙද පොත් ලියා තියෙන්නේ හින්දුකාරයෝ; හින්දුකාරයෝ හරකට දෙවියෙකුට වගේ ගෞරව කරනව; උන් හරක්මස් කන්නෙ නැහැ. සංස්කෘත වෙදපොත් මරක්කල ආගම ඇදහූ ඉර්සීන් වහන්සේලා ලිව්වා නම් ඌරු මාළු ඉතාම අගුණ යයි කියන්නේ නැද්ද?"

"මරක්කල ආගම අදහන මිනිස්සුන්ට කවදාවත් ඍෂින් වහන්සේලා වෙන්නට බැහැ"

"මරක්කල වෙද්දුන් කියාවි හින්දු ආගම අදහන්නන්ට කවදාවත් නබිලා වෙන්ට බැරිය කියා"

"නබිලා?"

"ඔව්-නබිලාය කියන්නේ මරක්කල ආගම්කාරයන්ගේ ඉර්සින් වහන්සේලාට තමා"

තිස්සගේ තර්කයෙන් වීරසිරි වෙදමහත්තයා තරහ වෙතියි සිතූ නිසාදෝ ජිනදාස මෙසේ කීවේය.

"මම කවදාවත් හරක්මස් කන්නේ නැහැ; මට අගුණයි; කෑවොත් මොකක් හරි අසනීපයක් හැදෙනවා"

"ඒ අයියට, තව කී දෙනෙකුට හරක්මස් හරි යනවද/ මනිමෙල් සුමානෙකට තුන් හතර දවසක් හරක් මස් කනවා. පෙරේදා රෑ රේල්ලට වැස්සියෙක් අහු වුණා. මනිමෙලුයි තවත් දෙන්නෙකුයි එළදෙන මැරෙන්නත් ඉස්සර කකුල් කපාගෙන දිව්වා! ඔපිසර මහත්තයා මිනිස්සු අල්ලන්න සොයනකොට උන් මස් උයාගෙන කාලත් ඉවරයි! මනිමෙල්ට කිසි අසනීපයක් නැහැ. ඒ මිනිහට පස්දෙනෙක් එක්ක වුණත් ගහගන්න පුළුවනි"

"උන් බොන කන වල් මිනිස්සු" යි ජිනදාස තර්ක කලේය.

"එහෙනම් හරක්මස් අගුණ හොද මිනිස්සුන්ට විතරක්ද?"

"හොද මිනිස්සු හරක්මස් කන්නේ නැහැ"

"අපේ කතාව හොද මිනිස්සු හරක්මස් කනවා ද නැද්ද කියා නෙවී. හරක් මස් කන එක අගුණද කියායි"

උපුටා ගැනීම අවසන්.

කෙසේ වෙතත් ඉහත සංවාදයට ජිනදාසගේ පිළිතුර වන්නේ "අලුත හිට ඉංගිරිසි ඉස්කෝල වලට යන ළමයින්ගේ අදහස් මෙහෙම තමා" යන්නය.

එය වර්තමානයේ පවා දක්නට ඇති ප්‍රවණතාවයකි. ගතානුගතිකත්වය නූතන සොයාගැනීම් මත අභියෝගයට ලක්කැරෙන විට එය "ක්‍රිස්තු ධර්මයක් මත පදනම් වූ බටහිර විද්‍යාව සහ දේශීයත්වය අතර ගැටුමක්" ලෙස හුවා දක්වා හුදෙක් අපේකම මත දේශීයත්වය තෝරාගනිමැයි කියමින් පුරුදු ගතානුගතිකත්වයේ එල්බ ගැනීමට මිනිසුන් පෙළඹෙති. නමුත් එයින් පෙනෙන්නේ ඔවුන් ක්‍රිස්තු ධර්මය මෙන්ම (බටහිර?) විද්‍යාවද හරිහැටි නොදන්නා බවය.

මාර්ටින් වික්‍රමසිංහ එසේ ලියන්නේ හරක් මසට ඉහළින් කුකුල් මස නොතෝරන එසේ තේරුවද එය ප්‍රශ්නයක් නොවන 1940දී පමණය. (ගම්පෙරළිය මුලින්ම ප්‍රකාශයට පත්වන්නේ 1944දී ය) නමුත් බෙහෙත් වර්ග නොයොදන හරක් මස නොතෝරා, දින 45ක ජීවකාලයක් තුල කෘතීමව එන්නත් කරන ලද හෝමෝන මතින් ඇති දැඩි කරන ලද සුදු පැහැති කකුල් මස තෝරාගෙන එය මහත් බුද්ධිමත් තීරණයකැයි සිතන යුගයක ඒ ගැන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කියැවීම දැනගන්නට ඇත්තේ නම් මසුරන් වටී.

බුදුන්ට වඩා බුදු දහම දන්නා, සෙත් පිරිතෙන් මනුෂ්‍ය ලේ හැලීමට සෙත්පැතිය හැකි තරම් දියුණු යුගයක එයට ලැබෙනු ඇති ප්‍රතිචාරය බැලීම ඊටත් වඩා ආශ්වාදජනක වනවා ඇත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...