Tuesday, April 14, 2020

පණුවා (පණුවා හෙවත් වසවිස නැති ගොවිතැනේ අභියෝගය)

වස විස නැති කාබනික ගොවිතැන වර්තමාන ලෝකයේ දැඩි අවධානයට පාත්‍ර වූ ක්ෂේත්‍රයකි. කෘමිනාෂක, වල්නාශක සහ රසායනික පොහොර යෙදීමෙන් තොරව වගා කරන ලද එළවළු සහ පළතුරු ලෝක වෙළඳපොල වෙනම නිෂ්පාදන දාමයක් ලෙස හඳුනාගන්නවා පමණක් නොව සාමාන්‍ය එළවළු පළතුරු වලට වඩා ඉහළ මිළක්ද ඒ සඳහා ලෝක වෙළෙඳපොලේ ඇත.
ශ්‍රී ලංකාවේද අපනයනය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන කාබනික ගොවිතැන අතිශය ඵලදායී සහ ලාභදායී ව්‍යාපාරයකි. නමුත් අපනයන වෙළඳාමට ප්‍රවිශ්ඨ වීමට තරම් පුළුල් නිෂ්පාදන ප්‍රවාහයක් නොමැති, දේශීය වෙළෙඳපොල ඉලක්ක කරන සුළු හා මධ්‍ය පරිමාණ කාබනික ගොවීන් ඉතා දැඩි අභියෝග වලට මුහුණ දෙන බව පෙනී යයි. එය ඇතැම් විට මඟ හොඳට තිබියදී, දෑසත් පෙනෙද්දී බැදිවල යනවා මෙන්වූ අමිහිරි අත්දැකීමක් වනු ඇත.

රසායනික පොහොර වලින් ලැබෙන පෝෂණය නොමැතිව සිදුකරන ගොවිතැනේදී අස්වැන්න ප්‍රමාණාත්මක ලෙස අඩු වීමේ හැකියාවක් තිබේ. එමෙන්ම එළවළු, පළතුරු කරල් සහ ගෙඩි වල ප්‍රමාණය කුඩා විය හැකිය. ඒවායේ හැඩය සහ වර්ණ රසායනික පොහොර යෙදූ නිෂ්පාදන වල මෙන් සුන්දර පිරුණු ස්වභාවයක් නොමැති වීමට හැකිය. කාබනික ගොවිතැන පිළිබදව අවබෝධයක් ඇති අය මේ පිළිබඳව දැනුවත් වුවද ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ඒ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් සහ අවබෝධයක් නොමැත.

කෘමිනාෂක භාවිත නොකර සිදුකරනු ලබන ගොවිතැනේදී භෝග වලට සිදුවන කෘමි සහ පණු උවදුරු සියයට සියයක් මගහරවා ගැනීම අපහසු කාරියකි. කෘමි සහ පණු ආක්‍රමණයට ගොදුරු වීම හේතුවෙන් අස්වැන්නෙන් සැළකිය යුතු ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කිරීමට නොහැකි වීමෙන් අපතේ යයි.

මේ හේතු නිසා කාබනික කෘෂිකර්මාන්තය හරහා නිකුත් කරන නිෂ්පාදන, රසායනික ද්‍රව්‍ය යෙදූ නිෂ්පාදන වලට සාපේක්ෂව මිළෙන් වැඩි නමුත් පෙනුමෙන් අඩු විය හැකිය. ඒ හරහා බොහෝවිට දේශීය වෙළඳපොලේදී ප්‍රමණයෙන් විශාල, පිම්බුණු, වටකුරු නිෂ්පාදන මිළට ගැනීමට හැකියාව තිබියදී ඊට වඩා වැඩි මිළක් ගෙවා බැලු බැල්මට දැකුම්කළු නොවන නිෂ්පාදන මිළයට ගන්නේ මන්ද යනුවෙන් ගැටලුවක් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තුල ඇතිවන බව පෙනේ. මෙය දේශීය වෙළෙඳපොලට කාබනික කෘෂි නිෂ්පාදන නිකුත් කරන්නන් මුහුණදෙන විශාල අභියෝගයකි.
ඕනෑම කෘෂි නිෂ්පාදනයක් හෝ වෙනත් නිෂ්පාදනයක් වෙළෙඳපොලට නිකුත් කිරීමේදී ඒවා පණුවන්, කෘමීන්, පිලව්, සමනල කෝෂ, මකුළු දැල් ආදියෙන් තොරව පිරිසිදුව නිකුත් කිරීම ගොවියාගේ වගකීමකි. නමුත් එ් බවට සෑම අවස්ථාවකදීම වගබලා ගැනීම ප්‍රායෝගිකව අසීරු කාර්යයකි.

යම් කෘෂි නිෂ්පාදනයක පණුවන් සිටී නම් එය එම කෘෂි නිෂ්පාදන සඳහා කෘමි නාශක ආදිය යොදා නොමැති බවට එක්තරා සාක්ෂියකි. එවන් අවස්ථාවක අදාළ නිෂ්පාදනයේ පණුවන් සිටින කොටස හෝ ගෙඩිය, කරළ හෝ මල ඉවත් කොට අනෙක් ප්‍රමාණය හෝ කොටස පරිභෝජනයට ගැනීමෙන් සිදුවන හානියක් නැත.

එසේ වුවද යම් හෙයකින් යම් කෘෂි නිෂ්පාදනයක එක් පණුවෙකු සිට හමු වුවහොත්, ඒ නිෂ්පාදනය ලබාදුන් ගොවියාගෙන් නැවත කිසිඳු නිෂ්පාදනයක් මිළදී නොගන්නට වෙළඳුන් පෙළඹෙති. මෙයින් සිදුවන්නේ තමන්ගේ කෘෂි නිෂ්පාදන වල කිසිදු ආකාරයෙන් පණුවන් අඩංගු නොවන බවට කෙසේ හෝ වගබලා ගැනීමට සිදුවන තැනට කාබනික ගොවීන් තල්ලු වීමයි. ඒ හරහා කාබනික යැයි කියවුණද සැබෑ ලෙස කාබනික නොවන ගොවිතැනකට දේශීය ගොවියා යොමුවීමේ ප්‍රවණතාවයක් ඇති වේ.

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම හරහා විදේශීය වෙළෙඳපොලෙන් විදේශ විනිමය ලබාගැනීමට හැකිවනවා පමණක් නොව දේශීය වශයෙන් පිළිකා, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග ප්‍රතිශතය සැළකියයුතු ලෙස අඩු කරගැනීමටද පුරවැසියන්ට ඉහළ හා ගුණාත්මක පෝෂණ මට්ටමක් ලබාදීම තුලින් ජීව ගුණය ඉහළ නැංවීමටද හැකියාව ලැබේ. එබැවින් රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන කෘෂි කර්මාන්තයේ වැදගත් කම ජාතික ප්‍රතිපත්ති මට්ටමින් අවබෝධ කරගත යුතු දෙයකි.

ඒ පිළිබඳව අවබෝධය රජයට, බලධාරීන්ට සහ කාබනික ගොවිතැනේ දැනටමත් යෙදෙන ගොවි මහතුන්ට පමණක් තිබීම ප්‍රමාණවත් වන්නේ නැත. කාබනික කෘෂි නිෂ්පාදන පරිභෝජනය කිරීමේ වැදගත් කම පිළිබඳව දේශීය පාරිභෝගික ප්‍රජාවද දැනුවත් කළ යුතු අතර ඒ පිළිබඳව පවත්නා දුර්මත දුරු කළ යුතු වේ.

(කාබනික බිම්මල් වගාව සිදුකරන ගොවි මහතෙකු සමග සිදුවූ සුහද කතාබහක් අැසුරිනි)

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...