Tuesday, April 14, 2020

ශ්‍රී ලංකාව සංවර්ධනයට තවමත් හරිහැටි අවධානය යොමු නොවූ ක්ෂේත්‍ර 2ක්

1. සංචාරක කර්මාන්තය

සංචාරක ක්ෂේත්‍රය දැනටත් ශ්‍රී ලංකාවේ සැළකියයුතු අවධානයක් දිනාගත් ක්ෂේත්‍රයකි. එය අවධානයට යොමු නොවූ ලෙස මා හඳුන්වන්නේ ඇයි?

සංචාරක ක්ෂේත්‍රය සැළකියයුතු දායකත්වයක් ආර්ථිකයට දැක්වුවද ඒ සඳහා විධිමත් නියාමනයක් හා සැළැස්මක් මේ දක්වාම දක්නට නොලැබේ.

ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම මුහුදින් වටවූ රටකි. එය අතිශය අලංකාර මුහුදු තීරයකි. විශේෂයෙන් සංවර්ධිත රටවල සංචාරකයන් ඝර්ම කළාපීය රටවල මුහුදු ආසන්න ප්‍රදේශවල සංචාරයට දැඩි කැමැත්තක් දක්වති. හිරු රැස් නෑම මගින් ඔවුන්ගේ සුදුමැලි පැහැති සම රන්වන් පැහැ කරගැනීම ඔවුන්ගේ ඉතාම වැදගත් සංචාරක ආකර්ශනයකි.

ශ්‍රී ලංකාව මෙය පැහැදිලිව හඳුනාගෙන ඇති බවක් නොපෙනේ. ශ්‍රී ලංකාව වටා පිහිටි මුහුදු තීර වල ඉතා සුන්දර ස්ථාන රාශියක් දක්නට ලැබුණත් පිළිගත් වෙරළ සංචාරක කළාප ලෙස අපට තවමත් හඳුනාගැනීමට ඇත්තේ හික්කඩුව, උණවටුණ, වැලිගම, පාසිකුඩා, ආරුගම්බේ සහ නිලාවැලි වැනි ඉතාම සීමිත ප්‍රදේශ ගණනාවකි.

ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටා ඇති ඉතා සුන්දර වූ කුඩා දූපත් රාශියක්ද ඇත. ඒ සියල්ල හරිහැටි නියාමනය කළහොත් ලෝකයේ වැඩිම අවධානයට ලක්වන සංචාරක කළාප බවට පත්කළ හැකි වේ. ඒ ප්‍රදේශවල වැල නොකැඩී එක දිගටම තරු පංතියේ සංචාරක හෝටල් මෙන්ම අඩුමුදලට නවාතැන් ලද හැකි කුඩා සරළ සංචාරක නිකේතනද ඉදිකළ යුතුය. යුරෝපාකරයේ සහ ඇමෙරිකාවේ ශීත නිවාඩු වලට සමගාමීව එවැනි කළාපවල සම්පූර්ණයෙන්ම විචිත්‍රවත් සංදර්ශන සංස්කෘතියක් ඇතිකළ යුතුය.

සංචාරකයන්ගේ ප්‍රයෝජනය සඳහා වෙරළාසන්න පුද්ගලයන්ට නවීන පහසුකම් වලින් යුතු yacht යාත්‍රා සහනදායී ණය පහසුකම් යටතේ ලබාදිය යුතුය. මත්පැන් ආදිය සඳහා පණවා ඇති අධික බදුබර යටත් ⁣අඩු කළ යුතුය. මත්පැන් බදුවැඩිවීම හේතුවෙන් අරක්කු බොමින් සිට ආණ්ඩු වලට බණිමින් කසිප්පු බීම පටන්ගත් අය විනා මත්පැන් පානය නතර කළ අයෙකු මට තවමත් හමුවී නැත. එය මත්පැන් පාන සංස්කෘතිය අඩු කිරීම විෂයෙහි අතිශය අසාර්ථක පියවරක් වනවා පමණක් නොව තවත් අතුරු ප්‍රශ්න ගණනාවකට හේතුවකි.

ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ මෑතකාලීන සංචාරක ක්ෂේත්‍රය, රටට ආවේණික පුරාතන දිවි පැවැත්ම හා සම්බන්ධ විවිධදෑ විදේශිකයන්ට විකිණීම හෙවත් අපේකම විකිණීම දෙසට වැඩි වශයෙන් යොමුවී ඇති බවක් පෙනේ. එහි කිසි වරදක් නැත. නමුත් එය සිදුකළ යුත්තේ ලෝකයේ ප්‍රධානතම සංචාරක ආකර්ශණයන් වන මුහුදු වෙරළ සහ සංචාරකයන්ට ලබාදෙන නිදහස යන ක්ෂේත්‍ර වලට යටත්ව අතුරු ආකර්ශනීය උපක්‍රම ලෙස වේ. ඒවා යම් දිනෙක රටේ ප්‍රධාන සංචාරක ආකර්ශනය බවට පත්වීමට ඉඩ තිබේ. නමුත් අපේකම ප්‍රමුඛතම සංචාරක ආකර්ශනය බවට පත්කිරීම දවසින් සතියෙන් මාසයෙන් කළ නොහැකි බව වටහාගත යුතුය. බලහත්කාරයෙන් එසේ කිරීමට උත්සාහ කිරීමෙන් පවත්නා සංචාරක ආකර්ශනයද පහළ යා හැකිය.

ඒ සඳහා ප්‍රමුඛතා වැඩපිළිවෙලක් ලෙස සළකා වෙරළාසන්න සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පියවර ගත යුතු වේ. ධීවර වරාය සහ වාණිජ වරායන් ඇති ප්‍රදේශ සහ වෙරළාසන්නව පිහිටුවා ඇති වෙරළේම තිබීම අත්‍යවශ්‍ය දෑ හැර අන් සියළු දේම සමුද්‍රාසන්නයෙන් ඉවත් කර වෙනත් ස්ථාන වල ස්ථානගත කළ යුතු වේ. ධීවරයන්ගේ එක පෙළට පිහිටි නිවාස ඉවත් කර ඔවුන් සඳහා සමුද්‍රාසන්නයෙන් මහල් නිවාස ලබාදීම මගින් ඉතා වටිනා වෙරළ බිම්කොටස් සංචාරක කර්මාන්තය සඳහා ලබාගත හැකිවා පමණක් නොව ධීවරයන්ගේ ජීවන තත්වයද උසස් කළ හැකි වේ. ඒ හරහා ශ්‍රී ලංකාව වටා වූ වෙරළ තීරයෙන් 90%කට වැඩි කොටසක් සංචාරක වෙරළවල් බවට පත්කළ හැකිය.

දිවයින ආසන්නයේ පිහිටා ඇති කුඩා දූපත් සංචාරක හෝටල් කර්මාන්තය සඳහා ලබාදිය යුතු වේ. විදෙස් සංචාරකයන් දූපතක තනිවූ හෝටල් සඳහා ඉතා ඉහළ කැමැත්තක් දක්වති.
අනෙක් කරුණ සංචාරක කර්මාන්තය ආගම සහ සංස්කෘතිය සමග තුලනය කරගැනීමයි. ආගමික ස්ථාන වලට ඇතුළු වීමේදී සහ රටේ ප්‍රසිද්ධ ස්ථාන වලදී යම් නියාමනයක් ක්‍රියාත්මක කළ යුතු වුවද සංචාරක කළාප තුල සංචාරකයන් සදහා ලබාදිය හැකි උපරිම නිදහස ලබාදිය යුතු වේ. අඩු වියදමකින් වැඩිම සංචාරක තෘප්තියක් ලබාගත හැකි ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව වැඩිම අවධානයට ලක්කල හැක්කේ ඒ අයුරිනි.

සංචාරකයන් සඳහා පමණට වැඩි නිදහසක් දීම රටේ සංස්කෘතික සොදාපාළුවක් ඇතිකරනු ඇත්තේ යැයි ඇති ව්‍යාජ බිය සමනය කරගත යුතුය. සංස්කෘතිය වැනි සංකල්ප ස්වේච්ඡාවෙන් මිස බලහත්කාරයෙන් ආරක්ෂා කිරීමට ගොස් සාර්ථක වූ ස්ථාන වලට වඩා අසාර්ථක වූ ස්ථාන ඇත. එම බිය සමනය කරගැනීමටම හැකියාවක් නැත්තේනම් විදේශිකයන්ට පමණක් සීමාවූ සංචාරක කළාප ඇතිකිරීම යම් ආකාරයක විසඳුමක් වනු ඇත.

2. බැංකු ක්ෂේත්‍රය

මෙම ක්ෂේත්‍රය විදේශ විනිමය ගෙන්වා ගැනීමේ මාවතක් ලෙස භාවිතයට ගැනීම සඳහා තවමත් අවධානය යොමුවී ඇති බවකි නොපෙනේ.

සමස්ථ ආසියාකරයේම විවිධ පාතාල ආර්ථික කටයුතු ⁣ආශ්‍රිතව විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වේ. එනම් කළු මුදල් විශාල ප්‍රමාණයක් හුවමාරු වේ.

ලෝකයේම කළු මුදල් වල බැංකුකරුවා වන්නේ ස්විට්සර්ලන්තයයි. ස්විස් බැංකු වල විශේෂත්වය වන්නේ මුදල් තැන්පත් කරන්නා වෙතින් අසනු ලැබීමට අකමැති කිසිඳු ප්‍රශ්නයක් නොඇසීමයි. ඇතැම් අවස්ථා වල තැන්පත් කරන්නාගේ අනන්‍යතාවය බැංකුව පවා හරිහැටි නොදනී. ඔවුන් තැන්පතු භාරගැනීමේදී නිකුත් කරන ටෝකනය හෝ තැන්පත් සුරැකුම් සහතිකය ඉදිරිපත් කරන ඕනෑම අයෙකුට අදාළ මුදල හා එදිනට අදාළ පොළිය ගෙවනු ලැබේ.

ඇතැම් අවස්ථා වල බැංකුව තැන්පත්කරුගේ අනන්‍යතාවය දැන සිටියද එය කුමන හෝ හේතුවක් මත හෙළිදරව් කිරීම නොකරයි. ඒ අනුව තැන්පත්කරුගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම ආරක්ෂා වේ. මේ හේතුවෙන් පාතාල ආර්ථික කටයුතු වල නිරත ලොව පුරා වෙසෙන බොහෝ දෙනෙක් තම කළු මුදල් ස්විස් බැංකු වල තැනපත් කිරීමට පෙළඹෙති. ඒ බැංකු හරහා විවිධ ආයෝජන කිරීමට පෙළඹෙති. ශ්‍රී ලංකාවේ පවා ඇතැම් පාතාල නායකයන්ට, දේශපාලනඥයන්ට ස්විස් බැංකු ගිණුම් ඇති බවට කටකතා නිතර අසන්නට ලැබේ.

එයින් ස්විට්සර්ලන්තයට සැළසෙන වාසිය වන්නේ ආයෝජන කටයුතු සඳහා විශාල වශයෙන් විදේශ විනිමය රටේ එක්රැස් වීමයි. තැන්පතු භාරගැනීමේදී ඇති ඉතා ලිහිල් වූද නම්‍යශීලී වූද කොන්දේසි හේතුවෙන් තැන්පත්කරුවන් ඉතා විශාල ලෙස ස්විස් බැංකු වෙත ආකර්ශනය වන අතර විශාල ප්‍රමාණ වලින් මුදල්ද තැන්පත් කරති. ස්විස් බැංකු වලට ඒ හේතුවෙන් තම රටේ අභ්‍යන්තර වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ආයෝජන සඳහා විශාල වශයෙන් අරමුදල් ඒකරාශී වේ. දේශීය ව්‍යාපාර සඳහා ඉතා අඩු පොළියට ණය ලබාදීමේ හැකියාව ලැබේ. රටේ විදේශ විනිමය සුලභ වේ. නිතැතින්ම රටේ අනෙකුත් ක්ෂේත්‍ර වලද ස්ථාවර සහ උසස් වර්ධනයක් ඇතිවීමට මෙම තත්වය හේතු වේ.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව අප රට පිහිටා ඇත්තේ ආසියාවේ කළු මුදල් බැංකුකරුවා වීමට ඉතාම උචිත ස්ථානයක වේ. යටත් පිරිසෙයින් විදේශිකයන් සඳහා හෝ ස්විස් බැංකු හා සමාන නම්‍යශීලී බැංකු සේවයක් සැපයීමට ශ්‍රී ලංකාවට හැකිනම් සමස්ථ ආසියාකරය පුරාම ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා වෘත්තිය, මුහුදු කොල්ලකාර ජාවාරම, හොරබඩු ජාවාරම පමණක් නොව අල් කයිඩා සහ අයිසිස් වැනි ත්‍රස්තවාදී සංවිධාන වල මුදල් පවා ශ්‍රී ලංකාවට ඇදී එනු ඇත.
ආසියාවේ දියුණු ආර්ථිකයන් හිමි රටවල බාහිර ආර්ථික දියුණුව හා සමගාමීව අභන්න්තරයෙන් ගොඩනැගුණු විශාල පාතාල ආර්ථිකයක් ඇත. එහිදී සංසරණය මුදල් ඒ ඒ රටවල සැබෑ දළදේශීය නිෂ්පාදිතයට ඇතුලත් නොවී ස්විස් බැංකු කරා ඇදී යයි. ශ්‍රී ලංකාවට ඒ අවස්ථාව ලබාගෙන වෙනත් රටවල කළු මුදල් තම රටට පොම්ප කරගැනීමට ඉතා ඉහළ හැකියාවක් ඇත.

පාතාල ආර්ථික කටයුතු හරහා වෙනත් රටවල ඉපයූ මුදල් කෙසේ හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තද එවැනි මුදල් යා දෙන්නේ නැති බවට කෙනෙකුට තර්ක කළ හැකිය. එවැන්නෙකුට දීමට ඇති පිළිතුර නම් "තම රටට ආ⁣වේණිකයැයි කිව හැකි වැදගත් මට්ටමේ කිසිදු නිෂ්පාදනයක්වත්, යටත් පිරිසෙයින් මුහුදු තීරයක් වත් නොමැතිව ලෝකයේ සතුටින්ම වෙසෙන මිනිසුන් සිටින රට වශයෙන් ස්විට්සර්ලන්තය ඇඟට පතට නොදැනී අත්කරගෙන ඇති සංවර්ධන දෙස අවධානය යොමු කරන්න" යනුවෙනි.

ශ්‍රී ලංකාව සංවර්ධනය කළ හැක්කේ නිෂ්පාදන ආර්ථිකයක් මගින් පමණක් බව ඇතැමුන් කියනු මට ඇසී තිබේ. එය තනිකරම ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල් දෙස බලාගෙන සිදුකරන හුදු ප්‍රකාශයක් පමණි. රටක් වශයෙන් ශ්‍රී ලංකාව සිටින තැන ප්‍රායෝගිකව හඳුනාගනිමින් ඉතා පහසුවෙන් රට සංවර්ධනය කළහැකි ක්ෂේත්‍ර කෙරෙහි පළමුව අවධානය යොමුකිරීමත් ඒ හරහා උත්පාදනය වන විනිමය සම්පත නිෂ්පාදන ආර්ථිකය වෙත ආයෝජනය කිරීමත් ඊට වඩා බොහෝ ප්‍රායෝගික වනු ඇත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...