Monday, April 13, 2020

සාෆි අර්බුදය



කුරුණෑගල ප්‍රදේශයේ පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවේම මහත් ආන්දෝලනයක් ඇතිකල සිදුවීමක් වූ වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි විසින් කාන්තාවන්ට වද සැත්කම් සිදුකළේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිදුකරන තුරු සියළුම අධිකරණ කටයුතු අධිකරණයේ සිටිමින් මා විසින් වාර්තා කරන ලදී. මෙහි දැක්වෙන්නේ ඇප නියෝගය තෙක් අධිකරණ කටයුතු පිළිබදව සංක්ෂිප්ත වාර්තා වල එකතුවකි.

1 වන දිනය - 2019 ජූනි 27 වැනිදා

වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව ඔහු විසින් සිදුකරන ලද සිසේරියන් ශල්‍යකර්ම අතරතුර අනවසරයෙන් කාන්තාවන් වන්ද්‍යකරණයට ලක්කල බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැදවනු ලැබිණි.
ඒ හා සමගාමීව කුරුණෑගල නගරය පුරා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සෙසු පොලිස් බලඇණි යොදාගනිමින් ආරක්ෂාව තරකර තිබුණු අතර ඒ හේතුවෙන්ම වෛද්‍ය සාෆි අධිකරණයට ඉදිරිපත් කරනු සියැසින් දැකබලා ගැනීමට සෑහෙන පිරිසක් අධිකරණ භූමිය තුල හා ඒ අවට රැදී සිටිනු දක්නට ලැබුණි. ඊට අමතරව විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරන වාර්තාකරුවන් විශාල පිරිසක්ද අධිකරණයේ ගේට්ටුව අසළ රැස්ව සිටියහ.

වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි ඇතුලු භික්ෂුන් වහන්සේලා සැළකිය යුතු පිරිසක්ද විවධ හේතූන් මත එම නඩුව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ද අධිකරණ භූමිය තුල සිටිනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් පසුව දැනගන්නට ලැබුණු පරිදි ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව දින 90 රැදවුම් නියෝග පිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටින වෛද්‍ය සාෆි අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් අදාළ පරීක්ෂණ වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට සහ විමර්ශනය සම්බන්ධයෙන් යම් නියෝග කිහිපයක් ලබාගැනීමට පමණක් අද දිනයේ නඩුව කැදවනු ලබන බවයි.

දවසේ සාමාන්‍ය අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු පස්වරු 12.15ට පමණ වෛද්‍ය සාෆිගේ නඩුව විවෘත අධිකරණයේ අඩගසන ලදී. එහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ ඉන්ද‍්‍රසිරි සේනාරත්න මහතා ඇතුල නීතිඥවරුන් පිරිසක්ද, සැකකරු වෙනුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක්ද පෙනී සිටියහ.

අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ කරුණු දැක්වීම:-

පළමුවෙන්ම පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණය ඇමතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී මහතා මෙම සිදුවීමේ පසුබිම පැහැදිලි කරන ලදී. එහිදී දිවයින පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්තියද ඉන්පසු වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීම පිළිබදවද කරුණු සදහන් කෙරිණි.

එහිදී දිවයින පුවත්පතේ අදාළ ප‍්‍රවෘත්තිය පළකරන ලද නියෝජ්‍ය ප‍්‍රධාන කර්තෘ හේමන්ත රන්දුණු මහතා වෙතින් ප‍්‍රකාශ සටහන් කළ බවත් එහිදී අදාළ ප‍්‍රවෘත්ති වාර්තාවේ සදහන් කාරණා තමාට හෙළිකරන ලද්දේ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් බවට හේමන්ත රන්දුණුගේ ප‍්‍රකාශයේ සදහන් වන බවත් වාර්තා කරන ලදී. නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගෙන්ද ප‍්‍රකාශයක් සටහන් කළ බවත් එහිදී තමන් හේමන්ත රන්දුණු මහතාට ප‍්‍රකාශ කළේ මෙම වෛද්‍යවරයා වද සැත්කම් සිදුකරන බවට යම් සැකයක් පවත්නා බව පමණක් බවට නියෝජ්‍ය පොලිස්පතිතුමන් ප‍්‍රකාශ කළ බවද අධිකරණයට වාර්තා කරන ලදී.

ඒ අනුව දිවයින පුවත්පතේ අදාළ ප‍්‍රවෘත්තිය පළවන අවස්ථාව වනවිට වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් අනවසරයෙන් වන්ද්‍යකරණය කරන ලද බවට වාර්තාගත පැමිණිලි කිසිවක් පැවතී නැති බවත් ඒ අනුව දිවයින ප‍්‍රවෘත්තිය කාරණා නිසි පරිදි සොයා බැලීමකින් තොරව පලකරන ලද පුවතක් බවට තමන් නිරීක්ෂණය කරන බවද වැඩිදුරටත් සැළකරන ලදී.

කෙසේ වෙතත් ඉන්පසු වෛද්‍ය සාෆි වෙනත් චෝදනාවක් මත අත්අඩංගුවට ගන්නා ලදුව ඔහුගේ වත්කම් ඉපයීම් පිළිබදව, තව්හිද් ජමාත් සංවිධානයට හෝ අයි.එස්.අයි.එස් සංවිධාන වලට ඔහුගේ පවතින්නේ යැයි කියන සම්බන්ධතා පිළිබදව සහ ප‍්‍රධාන වශයෙන් සිසේරියන් සැත්කම් වලට භාජනය කරන ලද කාන්තාවන් අනවසරයෙන් වන්ද්‍යකරණයට ලක්කලේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කළ බව වැඩිදුරටත් වාර්තා කරන ලදී.

මේ සියලු කාරණා සම්බන්ධයෙන් පිටු 210කින් යුත් දීර්ඝ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයා කියා සිටියේ මෙම වෛද්‍යවරයා යම් ත‍්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ දැයි දුරකථන වාර්තා ආදිය යොදාගෙන විමර්ශනය කරන ලද නමුත් ඔහු එවන් සංවිධානයකට සම්බන්ධ බවට කිසිදු කරුණක් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි.

තවදුරටත් මෙකී වෛද්‍යවරයා සතු වත්කම් පිළිබදව සහ ආදායම් පිළිබදව සිදුකරන ලද විමර්ශන වලදී ඔහු වෛද්‍ය වෘත්තියේ යෙදීමෙන් සහ ව්‍යාපාර කටයුතු වලින් දළ වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ දහනවයක පමණ ආදායමක් උපයන්නෙකු බවද ඒ අනුව ඔහු සතු වත්කම් පැහැදිලි කළ නොහැකි මාර්ග හරහා උපයාගත් ඒවා බවට කරුණු අනාවරණය නොවන බවත් වාර්තා කරන ලදී.

ඉන්පසු මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීට පෙර පැවැතියේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදුකළ බව වාර්තා කළ නිලධාරීවරයා එම විමර්ශනයට අදාළව සටහන් කරගන්නා ලද කටඋත්තර වල උදෘත පෙරකී වාර්තාව සමගින් ඉදිරිපත් කරමින් ඒවායෙන් තෝරාගත් උපුටන කිහිපයක් විවෘත අධිකරණයේ කියවන ලදී. කෙසේ වෙතත් මෙකී පූර්ව චෝදනා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් සොයාගැනීමේ අපහසුතාවයද ඒවා සම්බන්ධ රෝහල් වාර්තා දැනට සාමාන්‍ය රෝහල් ක‍්‍රියා පටිපාටිය යටතේ බැහැර කර ඇති හේතුවෙන්ද ඇතැම් ශල්‍යකර්ම අතරතුරදී සිදුකර ඇතැයි කියන වැරදි සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කිරීමේදී කරුණු අනාවරණය වූ බවද ඒවා අනුව ඒ සම්බන්ධයෙන් පවා වෛද්‍ය සාෆි අපරාධයක් සිදුකර ඇති බවක් මේ දක්වා අනාවරණය වී නැති බවද සදහන් කරන ලදී.

ඉන්පසු මෙම නඩුවේ ප‍්‍රධාන ප‍්‍රශ්නගත කරුණ වන වෛද්‍ය සාෆි විසින් සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන් අනවසරයෙන් වන්ද්‍යකරණයට ලක්කර ඇත්තේද යන්න පිළිබදව සිදුවන විමර්ශනයට අදාළ කරුණු වාර්තා කරන ලදී. එහිදී නිලධාරීවරයා විසින් ලැබී ඇති පැමිණිලි වලින් සැළකිය යුතු ප‍්‍රමාණයක් හුදෙක් වෛද්‍ය සාෆි විසින් සිසේරියන් සැත්කමක් කිරීම හේතුවෙන්ම ඇතිවූ හුදු සැකය මත සිදුකරන ලද පැමිණිලි බවත් ඒ අනුව ඒ අතරින් තෝරාගත් පැමිණිලි විශාල ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් ඒ ඒ ශල්‍ය කර්ම වලට සහභාගි වූ අනෙකුත් සහායක වෛද්‍යවරුන් හෙදියන් සුළු සේවකයන් ආදී විශාල පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බව සදහන් කරමින් එකී ප‍්‍රකාශ වල උදෘත අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එහිදී සටහන් කරන ලද ඇතැම් ප‍්‍රකාශ අනුව වෛද්‍ය සාෆි මුස්ලිම් මව්වරුන් සදහා සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී ඔවුන්ට වැඩි කරුණාවක් දක්වන බවත් සිංහල සහ දෙමළ මව් වරුන්ට එවන් කරුණාවක් නොදක්වන බවත් මුස්ලිම් දරු උපත් වලදී දරුවා බිහිවන අවස්ථාවේදී අල්ලාහු අක්බර් යනුවෙන් පවසන බවත් අනාවරණය වී ඇති බව සදහන් කරන ලදී. එමෙන්ම වෛද්‍ය සාෆි සිංහල මවකගේ ශල්‍යකර්මයක් සදහා විනාඩි 15ක පමණ කාලයක් ගතකරද්දී මුස්ලිම් මවක් සදහා විනාඩි විසිපහක පමණ කාලයක් ගතකරන බවත් ඇතැම් හෙදීන් ප‍්‍රකාශ කොට තිබුණි.

කෙසේ වෙතත් වෛද්‍ය සාෆි විසින් තනිව කාන්තාවන් සැත්කමට භාජනය කරන ලද්දේයැයි කියන අවස්ථාවන් පිළිබදව විමර්ශනය කිරීමේදී එකී සැත්කම සදහා සහභාගි වූ බව කියන අනෙකුත් වෛද්‍යවරුන් සහ හෙදීන් තමන් ඒ සදහා සහභාගි වූ බවට ප‍්‍රකාශ ලබාදී ඇති හෙයින් වෛද්‍ය සාෆි විසින් කිසිදු මවක තනිවම සැත්කමට භාජනය කරන ලද්දේය යන කරුණ විමර්ශන හරහා තහවුරු වී නොමැති බවද වාර්තා කරන ලදී.

එහිදී සැත්කම් සදහා සහභාගි වූ වෛද්‍යවරුන් හා හෙදීන් ගණනාවකගේ ප‍්‍රකාශවල උදෘත උපුටා දක්වමින් නිලධාරීවරයා සදහන් කරන ලද්දේ ඔවුන් කිසිදු අවස්ථාවක චෝදනාවල සදහන් වන පරිදි වෛද්‍ය සාෆි විසින් කිසිදු අයුරකින් අදාළ කාන්තාවන්ගේ පැලෝපීය නාල වලට හානි සිදුකරනවා එකී පුද්ගලයන් විසින් දැක නොමැති බවයි. එපමණක් නොව ඇතැම් වෛද්‍යවරුන් සහ හෙදීන් ප‍්‍රකාශිතවම පවසා තිබුණේ වෛද්‍ය සාෆිට ශල්‍යකර්මයක් අතරතුර තම අවධානයට හසු නොවී එවන් ක‍්‍රියාවක් සිදුකිරීමට කිසිදු අවකාශයක් නොමැති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයා විසින් පස්වරු 12.15 සිට පස්වරු 1.30 දිවා විවේකය දක්වාද ඉන්පසු 2.15 සිට පස්වරු 3.00 දක්වාද දීර්ඝ ලෙස කරුණු දක්වමින් අධිකරණයට සැළකර සිටියේ වෛද්‍ය සාෆි විසින් ප‍්‍රශ්නගත අපරාධය සිදුකර ඇති බවට තහවුරු වන කිසිදු කරුණක් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි. එමෙන්ම වදභාවයට පත්වී ඇත්තේයැයි කියන කාන්තාවන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ දිනකට සිදුකළ හැක්කේ 3ක් පමණ වන හෙයින් ඒ සදහා අවශ්‍ය පහසුකම් සළසා ගැනීම සදහා නියෝගයක්ද ඉල්ලා සිටින ලදී.

අවසාන වශයෙන් නිලධාරීවරයා සදහන් කරන ලද්දේ මෙතෙක් කල් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 රදවා ගැනීමේ නියෝග ප‍්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටින වෛද්‍ය සාෆි මේ දක්වා අනාවරණය වී ඇති කරුණු අනුව තවදුරටත් එසේ රදවාගෙන සිටීම යුක්තිසහගත නොවන බව පෙනී යන බැවින් ඒ සම්බ්න්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කොට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

විත්ති පාර්ශවයේ කරුණු දැක්වීම:-

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරුන් විසින් තමන්ගේ කරුණු දැක්වීමේ අවස්ථාව විත්තියේ නීතිඥවරුන්ට පසුව ලබාගැනීමට අවසර ඉල්ලා සිටි බැවින් ඔවුන්ට පෙර කරුණු දැක්වීමට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට අවස්ථාව ලැබිණි.

එහිදී අධිකරණය ඇමතූ සැකකරුගේ නීතිඥවරයා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමෙන් සිදුවී ඇත්තේ කුමක්ද යන්න මනාව පැහැදිලි වන බවත් එහිදී දිවයින පුවත්පත වගකීම් විරහිත ලෙස පතුරුවා හරින ලද කටකතාව හේතුවෙන් තම සේවාදායකයා මෙම සාවද්‍ය චෝදනාවට ලක්වී ඇති බවත් ඒ හේතුවෙන් ඔහු පමණක් නොව ඔහුගේ බිරිද දරුවන් ආදී සියල්ලන් දැඩි අපහසුවට පත්වී ඇති බවත් පවත්නා තත්වය තුල ඇප නියම කිරීමට මෙම අධිකරණයට බලය නැතත් තමන් යුක්තියේ දෙවොලට පැමිණ තම කතාව කීමට තීරණය කළ බවත් සැළකරන ලදී.

අගතියට පත් පාර්ශවයේ කරුණු දැක්වීම:-

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ තුමා මෙම විමර්ශනය අසම්පූර්ණ අවස්ථාවකදී මෙවන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෝෂ දර්ශනයට ලක්කරන ලදී. තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අවධානය යොමු කර ඇත්තේ පැලෝපීය නාලයට හානි සිදුකිරීම හරහා සිදුවන වදභාවයට පත්කිරීම් සම්බන්ධයෙන් පමණක් බවත් කාන්තාවක වදභාවයට ලක්කල හැකි තවත් ක‍්‍රම පවත්නා බවත් ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොසළකා හැර ඇති බවත් අධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

තවද අනවසර වන්ද්‍යකරණය දැනට ශ‍්‍රී ලංකාවේ පවත්නා දණ්ඩ නීති සංග‍්‍රහයේ හෝ වෙනත් පනතකින් අපරාධයක් ලෙස හදුනා නොගන්නා බවත් එය අමුතුම ස්වභාවයේ පද්ධතික අපරාධයක් (systematic crime) බවත් ඒ සදහා විශේෂ අවධානය යොමුකළ යුතු බවත් ප‍්‍රකාශ කරන ලදී. වෙනත් අපරාධයකදී වින්දිතයාට තමාගේ කන කපා ඇති බවත් අත කපා ඇති බවත් වශයෙන් සිදුවූ හානිය භෞතිකව පෙන්වා සිටිය හැකි වුවද මෙවන් අපරාධයකදී තමන්ට සිදුවී ඇත්තේ කුමක්ද යන්න හෝ මෙම මව්වරුන් නොදන්නා බවත් අධිකරණයේ අවධානයට යොමුකරන ලදී.පද්ධතික අපරාධයක ස්වභාවය අනුව මෙහිදී මෙම වෛද්‍යවරයා විසින් සිදුකරන ලද සැත්කම් වලින් පසු කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් වදභාවයට පත්වීමම ඔහු පිළිබදව සැකයක් ඇතිවීමට ප‍්‍රමාණවත් නොවන්නේදැයි ප‍්‍රශ්න කළේය.

තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීමේ වැදගත්ම සාක්ෂිකරුවා වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පිළිබදව ප‍්‍රමාණවත් අවධානයක් යොමුකරමින් ඔහුගේ උපදෙස් යටතේ විමර්ශනය සිදුකර නොමැති බවට අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා චෝදනා කරන ලදී. එහිදී අදාළ අධ්‍යක්ෂවරයා විසින් සංඛ්‍යා ලේඛණ ආශ‍්‍රයෙන් වෛද්‍ය සාෆි විසින් කාන්තාවන් වදභාවයට පත්කර ඇති බව ඔප්පු කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය සදහා අත්‍යවශ්‍ය නොවන ප‍්‍රශ්නගත සැත්කම් සදහා සහභාගි වූ වෛද්‍යවරුන් සහ හෙදීන්ගේ ප‍්‍රකාශ සටහන් කරමින් ඔවුන් ඒවා නොදුටු බව අධිකරණයට වාර්තා කිරීම දෝෂ දර්ශනයට ලක්කලේය. මෙම වරදට ආධාර අනුබල දීමේ චෝදනාව එල්ල විය හැකි බැවින් එම සැත්කම් වලට සහභාගි වූ වෛද්‍යවරුන් හා හෙදීන් සත්‍ය තත්වය ප‍්‍රකාශ කරතැයි අපේක්ෂා කළ නොහැකි බව නීතිඥවරයා අධිකරණයේ අවධානයට ලක්කලේය.

ඉන්පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණය ඇමතූ තවත් නීතිඥ මහතෙකු මෙම ප‍්‍රශ්නයේ ඇති මානුශීය මුහුණුවර පිළිබදව අධිකරණයේ අවධානයට ලක්කරන ලදී. එහිදී වදභාවයට පත්වී ඇත්තේද නැත්තේද යන්න තහවුරු කරගැනීම සදහා අද දිනයේ අධිකරණයේ අවසරය ලබාගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකිරීමට යන පරීක්ෂණයෙන් එකී පරීක්ෂණයට භාජනය වන මව්වරුන් මදසරුභාවයට මෙන්ම මරණයට පවා පත්විය හැකි බව පෙන්වා දෙමින් එම පරීක්ෂණය සදහා නියෝග නිකුත් නොකරන ලෙස ඉල්ලා සිටින ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිතුර:-

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙතින් තම දෙපාර්තමේන්තුවට එල්ල වූ දෝෂ දර්ශනය ප‍්‍රතික්ශේප කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී වරයා තම දෙපරේතමේන්තුව මෙහිදී පූර්ණ විනිවිධභාවයකින් යුතු විධිමත් පරීක්ෂණයක් සිදුකළ බවත් අවධාරණය කලේය. එහිදී හෙළිදරව් වන කාරණා නිසි පරිදි අධිකරණය වෙත වාර්තා කිරීම තම වගකීම බව සදහන් කළ නිලධාරීවරයා අගතියට පත් පාර්ශවයට මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට තවත් සාක්ෂි ඇත්නම් ඒවා විධිමත්ව ඉදිරිපත් කිරීම මිස අධිකරණයේදී චෝදනා එල්ල කිරීම ඵලදායී නොවන බව පෙන්වා දුන්නේය.

විත්ති පාර්ශවයේ ඉල්ලීම:-

අවසාන වශයෙන් විත්ති පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සමස්ථ ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් වෛද්‍ය සාෆිගේ බිරිද විසින් දැනට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර ඇති බවත් එහිදී ඉදිරිපත් කිරීම සදහා අද දිනයේ ගොණු කරන ලද සම්පූර්ණ වාර්තා වල ලේඛන වල සහ කාර්ය සටහන් වල පිටපතක් නිකුත් කරන ලෙසය.

අධිකරණ නියෝගය:-

මෙම කරුණු සළකා බැලූ ගරු මහේස්ත‍්‍රාත්තුමන් පැමිණිල්ල විසින් ඉල්ලා සිටි වෛද්‍ය පරීක්ෂණය නොපවත්වන ලෙසත් මෙම සිදුවීමෙන් අගතියට පත් තවත් අය වේ නම් ඔවුන්ටද පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සති දෙකකින් මෙම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් විත්තිය ඉල්ලා සිටි පිටපත් දින දෙකක් ඇතුලත නිකුත් කරන ලෙසටත් නියෝග කරමින් නඩුව කල්තබන ලදී.

2 වන දිනය - 2019 ජූනි 11 වැනිදා 

වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව ත‍්‍රස්තවාදී සම්බන්ධතා අයථා වත්කම් ඉපයීම් සහ සිසේරියන් සැත්කම් අතරතුරදී අනවසරයෙන් කාන්තාවන් වන්ද්‍යකරණයට ලක්කල බවට සැකපිට පවරා ඇති නඩුව අද දින කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මැතිතුමන් ඉදිරිපිටදී කැදවන ලදී. අද දිනයේද පළමු දිනයේ මෙන්ම විශාල පොලිස් ආරක්ෂාවක් නගරය පුරා යොදවා තිබෙනු දක්නට ලැබුණු අතර මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසක්ද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි පිලැස්ස රජමහා විහාරවාසී ශාන්තදේව හිමි ඇතුලු සංඝයා වහන්සේලා ගණනාවක්ම අධිකරණයට පැමිණ සිටියෝය. ඊට අමතරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ඇතුලු වෛද්‍යවරුන් පිරිසක්ද මෙම සිදුවීමෙන් අගතියට පත්වූ බව කියන මව්වරුන් සැළකිය යුතු පිරිසක්ද සාෆි වෛද්‍යවරයා වෙනුවෙන් පැමිණි ඔහුගේ හිතවතුන් සැළකියයුතු ප‍්‍රමාණයකින්ද අධිකරණ භූමිය පිරී පැවතුණි.

මෙම නඩුව සම්බන්ධයෙන් මුල් බී වාර්තාව ගොණුු කිරීමෙන් පසු පළමු වරට වෛද්‍ය සාෆි විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීම අද දිනයේ සිදුවිය. දවසේ අනෙකුත් සියලුම නඩු අවසන් වීමෙන් පසුව පස්වරු 1.30ට සාෆිගේ නඩුව කැදවන ලදී.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුසිත මුදලිගේ මහතා පෙනී සිටියේය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සමන් දිසානායක, ප‍්‍රියංකර ඩයස්, ඉන්ද‍්‍රසිරි සේනාරත්න ඇතුලු නීතිඥ මහත්ම මහත්මීන් කණ්ඩායමක් සමග ජනාධිපති නීතිඥ මොහොන් වීරකෝන් මහතා සමග ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පෙනී සිටින ලදී.

වෛද්‍ය සාෆි වෙනුවෙන් නීතිඥ ජයප්‍රෙමබී තෙන්නකෝන් නීතිඥ කීර්ති ජී දුනුසිංහ ඇතුලු නීතිඥ මහත්ම මහත්මීන් පිරිසක් සමග ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා පෙනී සිටින ලදී.
නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුසිත මුදලිගේ මහතා පළමුවෙන්ම අධිකරණයට කරුණු දක්වන ලදී. එහිදී වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා තුනක් ඉසව්ගත කරගනිමින් විමර්ශන මෙහයවන ලද බවත් එහිදී සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් කිසිදු ත‍්‍රස්තවාදී සම්බන්ධතාවයක් අනාවරණය නොවීම හේතුවෙන් එකී කරුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ආමාත්‍යංශයට සැලකරන ලදුව ආරක්ෂක අමාත්‍යවරයා විසින් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප‍්‍රතිපාදන යටතේ නිකුත් කොට තිබූ දින 90ක රැදවුම් නියෝගය ඊයේ දිනයේ අවලංගු කොට ඇති බවට අධිකරණයට සැළකර සිටියේය.

එමෙන්ම දෙවන ඉසව්ගත චෝදනාව වන අයථා වත්කම් ඒකරාශී කරගැනීම සම්බන්ධයෙන්ද මෙතෙක් සැකකාර වෛද්‍යවරයා වෙත අපරාධමය වගකීම ආරෝපණය කිරීමට හැකියාවක් ලැබෙන කරුණු මේ දක්වා අනාවරණය වී නොමැති බවද අධිකරණය සැළකරන ලදී.
තෙවන සහ බරපතළම ඉසව්ගත චෝදනාව වූ සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන් අනවසරයෙන් වදභාවයට ලක්කලේය යන කරුණ සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් ඉදිරිපත් වූ පැමිණිලි වලින් හුදෙක් මෙම වෛද්‍යවරයා වෙතින් ශල්‍යකර්මයකට භාජනය වීම හේතුවෙන් ඇතිවූ හුදු සැකය මත ගොණුකරන ලද පැමිණිලි සහ එසේ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් වසර එකහමාරක් පමණ ඉක්ම ගියද නැවතත් ගර්භනී භාවයට පත්වීම සිදු නොවූ පැමිණිලි වශයෙන් කාණ්ඩ දෙකක් පවත්නා බවත් එකී දෙවනි කාණ්ඩයට අදාළව පැමිණිලි 147ක ප‍්‍රමාණයක් ලැබී ඇති බවද සදහන් කළේය.

එහිදී කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛණ වාර්තාවක් පිළිබදවද අවධානය යොමුකරන ලද බවත් හුදෙක් සංඛ්‍යා ලේඛණ වාර්තා පුද්ගලයෙකු වරකරුවකු වීමට ප‍්‍රමාණවත් නොවන බවත් එසේ හෙයින් ඒ එක් එක් කරුණ වෙන වෙනම ගෙන විධිමත් වෛද්‍ය පරීක්ෂණයකින් පසුව පමණක් එකී කාන්තාවන්ගේ වද භාවය පිළිබදව සත්‍ය අසත්‍යතාව අනාවරණය කරගැනීමට හැකිවන බවත් එසේ වුවද පෙර දිනයේදී අගතියට පත් පාර්ශවය විසින් සංකූලතා ඇතිවීමේ අවදානම පිළිබදව දක්වමින් එකී වෛද්‍ය පරීක්ෂණ වලට එරෙහිව දැක්වූ කරුණු මත මේ වන විට ගරු අධිකරණයේ නියෝගයෙන් එම පරීක්ෂණ අත්හිටුවා ඇති බවත් එම තත්වය තුල මෙම විමර්ශනය ඉදිරියට යාමට නොහැකි අන්දමින් සිරවී තිබෙන බවත් ගරු අධිකරණයේ අවධානයට ලක්කරන ලදී.

එහිදී මෙවන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහ වෘත්තීය දැනුම නීතිඥවරුන්ට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද නොමැති බවත් එසේ හෙයින් ඒ සදහා වෛද්‍යවරුන්ගේ සහාය අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා අවධාරණය කර සිටියේය. මෙහිදී සෑම වෛද්‍ය පරීක්ෂණයකින්ම ප‍්‍රතිකාරයකින්ම පාහේ සංකූලතා ඇතිවීමේ හැකියාවක් පවත්නා බවද සදහන් කරමින් මෙවන් අවස්ථාවකදී භාවිත කළ හැකි පරීක්ෂණ 3ක් දක්වමින් එයින් පරීක්ෂණ දෙකක් සදහාම රෝගියා සිහි නැතිකිරීම අත්‍යවශ්‍ය වන බවත් ශරීරයේ කැපුම් යෙදීම අත්‍යවශ්‍ය බවත් එසේ නොකර අවම හානි සිදුවන පරීක්ෂණය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යෝජනා කරන ලද එච් එස් ජී පරීක්ෂණය බවත් සදහන් කරන ලදී.

අගතියට පත් පාර්ශවය විසින් මෙම වෛද්‍ය පරීක්ෂණය සදහා විරුද්ධ වුවද මෙහිදී භාවිත කළ හැකි වෙනත් විකල්පයක් ඔවුන් යෝජනා නොකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේ අවධානයට ලක්කරන ලදී.

තවමත් නිසි ලෙස කරුණු අනාවරණය වී නැතත් මෙම සිදුවීම ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 311 වගන්තිය යටතේ එන බරපතළ තුවාල කිරීම යන අපරාධ වරද යටතට වැටෙන සිදුවීමක් ලෙස පෙනී යන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේ අවධානයට යොමුකරන ලදී.
ඉන්පසු දෛ්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා කරුණු දැක්වීම ආරම්භ කරන ලදී. මේ මොහොත වන විට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවා ගැනීමේ නියෝගය අවලංගු කොට ඇති බැවින් ඇප සළකා බැලීමේ අධිකරණ බලය මෙම ගරු අධිකරණය වෙත ඇති බව සදහන් කළ ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා වෙත අපරාධ වගකීමක් ආරෝපණය කළහැකි කිසිදු කරුණක් මේ දක්වා අනාවරණය වී නොමැති බව පෙන්වා දුන්නේය.

එමෙන්ම තම සේවාදායකයාගේ උගත්කම වෘත්තීය පළපුරුද්ද චරිතය දේශපාලනය යනාදී කාරණා පිළිබදවද සදහන් කරමින් මෙහිදී සිදුවී ඇත්තේ හුදෙක් ජාතිවාදී හා දේශපාලනික පදනමක් මත තම සේවාදායකයාට අස්ථාන චෝදනා එල්ල කරීමක් බව සදහන් කලේය. එමෙන්ම තම සේවාදායකයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයේ ආරක්ෂාව ලැබෙන බවත් මෙවන් තත්වයක් යටතේ අසාධාරණ ලෙස සිරගත කොට සැකකාර වෛද්‍යවරයාගේ නිදහසේ යාම් ඊම් කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැනටත් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා ඇති බවත් වාර්තා කරන ලදී.

මෙම සිදුවීම ආරම්භයේ පටන්ම මාධ්‍ය මගින් මෙම සිද්ධිය අතිශයෝක්තියෙන් ජනගත කිරීමක් සිදුවී ඇති බවද ඒ හේතුවෙන් සැකකාර වෛද්‍යවරයාට පමණක් නොව ඔහුගේ බිරිදට දරුවන්ට පවා බලවත් අගතියක් සිදුවී ඇති බව පෙන්වා දුන්නේය. අගතියට පත් පාර්ශවය විසින් කෘතීම ලෙස මෙම සිදුවීමට අදාළව මහජන කැළඹිලි තත්වයක් නිර්මාණය කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

මෙම සිදුවීම දණ්ඩ නීති සංග‍්‍රහයේ 311 වගන්තිය යටතේ ගැනෙන අපරාධයක් වන්නේ නම් මේ සම්බන්ධයෙන් ඇප සළකා බැලීමේ අධිකරණ බලය මෙම ගරු අධිකරණයට ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා වෙනුවෙන් අධිකරණය පණවනු ලබන ඔනෑම කොන්දේසියක් යටතේ ඇපයක් නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිප දෙනෙක්ම අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලදී. පළමුවෙන්ම අධිකරණය ඇමතූ ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා මෙම සිදුවීම කිසිසේත් සුළුකොට තැකීමේ හැකියාවක් නොමැති බව අවධාරණය කළේය. මේ සිදුවීම සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මෙහයෙවා ඇති ආකාරය හුදෙක්ම විත්තියට වාසිදායක වන අයුරින් සිදුකොට ඇති බව සදහන් කළ ජනාධිපති නීතිඥවරයා එකී ක‍්‍රියාකළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කලේය.

මෙහිදී සිදුවී ඇත්තේ කුමක්දැයි සංඛ්‍යා ලේඛන දෙස බැලීමේදී මනාව පෙනී යන බවත් එහිදී සිසේරියන් සැත්කම් සිදුකළ සෙසු වෛද්‍යවරුන් කිසි කෙනෙකුට එරෙහිව පැමිණිලි ලැබී නොතිබීමද මෙම සැකකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි ලැබී ඇත්තේ එක මුස්ලිම් මවකගෙන් පමණක් වීම මත මෙහි තත්වය ඉතා පැහැදිලි වන බවත් ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

ඉන්පසු කරුණ දැක්වූ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා පැලෝපීය නාල වලට හානි සිදුකිරීම තත්පර පහක පමණ කාලයක් ඇතුලත ක්ෂණිකව සිදුකළ හැකි ක‍්‍රියාවක් බවත් එය අනෙකුත් සහායක වෛද්‍යවරුන් සහ සහායක හෙදීන් විසින් දැක නොතිබීම මතම ඒ අනුව බැහැර කිරීමට හැකියාවක් නොලැබෙන බව පෙන්වා දුන්නේය. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සහායක වෛද්‍යවරුන්ගෙන් හා හෙදීන්ගෙන් ප‍්‍රශ්න කොට ඇත්තේ මෙහි අපරාධ වගකීම ඔවුන් පිටද පැටවිය හැකි බව දක්වමින් බියගැන්වීමෙන් පසුව බවත් එවන් තත්වයක් තුල ඔවුන් සත්‍ය තත්වය ප‍්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිදැයි ප‍්‍රශ්න කලේය.

ඉන්පසු අධිකරණය ඇමතූ නීතිඥ ඉන්ද‍්‍රසිරි සේනාරත්න මහතා විසින් මෙම විමර්ශනයේදී සැකකාර වෛද්‍යවරයා වෙත ඉන්දියනෙුවෙකු සහ අරාබි ජාතිකයෙකු වෙතින් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව අනාවරණය වී තිබෙන බවද එකී ඉන්දීය ජාතිකයා හා අරාබි ජාතිකයා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකොට නැති බව පෙන්වා දුන්නේය. ඊට අමතර සැකකාර වෛද්‍යවරයාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ දැක්වෙන්නේ බැංකු වාර්තා ලැබී නොමැත යනුවෙන් බව පෙන්වා දනුන් නීතිඥවරයා මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කරුණු අනාවරණය නොවන බවට නිගමනයට එළැඹෙන්නේ එවන් අසම්පූර්ණ විමර්ශනයකින් පසුද යන්වෙන් ප‍්‍රශ්න කලේය.

ඉන්පසු සැකකාර වෛද්‍යවරයාට අයත් ගිණුම් අංක කිහිපයක් සහ එකී ගිණුම් වලට අතිවිශාල ප‍්‍රමාණ වලින් මුදල් ලැබුණු චෙක්පත් කිහිපයක් පිළිබදව අංක සහිතව අධිකරණයට වාර්තා කළ නීතිඥ සේනාරත්න මහතා ඒ පිළිබදව නිසි විමර්ශණයක් සිදුවී නොමැති බව නැවතත් පෙන්වා දුන්නේය. එමෙන්ම සැකකාර වෛද්‍යවරයාගේ වත්කම් සම්බන්ධ ගැටලුවට මූලාරම්භය සැපයූ රියෝ බාර් නම් ගොඩනැගිල්ල මිළදී ගත්තේ තවත් හතර දෙනෙකු සමග බව අනාවරණය වී තිබුණද ඒ සිව් දෙනා ඊට අවශ්‍ය මුදල් උපයා ගන්නා ලද්දේ කෙසේදැයි අනාවරණය කරගැනීමට විමර්ශන මෙහෙයවා නොමැති බව අධිකරණයේ අවධානයට ලක්කලේය.

තවද මෙහිදී ප‍්‍රශ්නගත රියෝ බාර් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් තැරැවුකරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වෛද්‍ය සාෆිගේ අසල්වැසියා වන "මොහාන්" නැමැත්තෙකු බවත් යම් අයුරකින් සැකකාර වෛද්‍යවරයාට ඇප ලබාදුනහොත් ඔහුට එකී මොහාන් නම් පුද්ගලයාට බලපෑම් කිරීමට අවස්ථාවක් සැලසෙන බවත් තමා සේවය කරන රෝහලේ පුද්ගලයන්ට මෙන්ම වාර්තා වලටද බලපෑම් කිරීමේ හැකියාව වෛද්‍යවරයාට ලැබෙන බවත් එමෙන්ම අගතියට පත් මවුවරුන්ට බලපෑමක් සිදුවිය හැකි බවත් සිරගතව සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවද නොමග යැවූ පුද්ගලයාට සාමාන්‍ය ජනතාවට බලපෑම් කිරීම එතරම් දෙයක් නොවන බවත් නීතිඥ සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

තවදුරටත් කරුණු දැක්වූ නීතිඥ සේනාරත්න මහතා සැකකාර වෛද්‍යවරායට අයත් නිශ්චල දේපල ගණනාවක ඔප්පුවල පිටපත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් විමර්ශනයේදී ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

මෙම දේපල සම්බ්නධ කරුණු වලට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සැළකර සිටියේ තම සේවාදායකයා නිසි පරිදි තමාගේ ආදායම් තත්වය පිළිබදව වාර්තා වසර ගණනාවක සිටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරමින් නිසි පරිදි ආදායම් බදු ගෙවූ පුද්ගලයෙකු බවයි. ඊට අමතරව ප‍්‍රශ්නගත රියෝ බාර් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 1300ක් මිළ වී ඇති බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 600ක් සැකකාර වෛද්‍ය වරයා ඇතුලු සිව්දෙනා විසින් හවුලේ යොදවා ඇති බවත් ඉතිරි ලක්ෂ 700 බැංකු ණයක් වශයෙන් ලබාගෙන මේ වන විටත් වාරික ගෙවමින් පවත්නා බවත් පෙන්වා දුන්නේය. ඊට අමතරව අනෙකුත් සියලු වත්කම් සම්බන්ධයෙන් පූර්ණ පැහැදිලි කිරීමක් තම සේවාදායකයා විසින් සිදුකර ඇති බවත් ඔහුගේ දේපල සම්බන්ධයෙන් අදාළ සියලුම ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය.

ඉන්පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මහතා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන මෙහෙයවා ඇති ආකාරය දෝෂ දර්ශනයට ලක්කලේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද නීතිපති දෙපාර්තමේන්තුවද විත්තියේ නීතිඥවරුන්ද "පැලෝපීය නාලයක් බෙල්ලේ පටලවා ගෙන" තිබුණද කාන්තාවක වදභාවයට පත්කළ හැකි එකම ක‍්‍රමය පැලෝපීය නාල වලට හානි කිරීම පමණක් නොවන බව පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කරන වෛද්‍ය පරීක්ෂණයෙන් පරික්ෂා කළ හැක්කේ පැලෝපීය නාලයට හානියක් සිදුවී ඇත්තේද යන්න පමණක් බව පෙන්වා දුන් නීතිඥවරයා පැලෝපීය නාලයට හානියක් සිදුවී නොමැති බව සනාථ වුවද එහිදී ප‍්‍රජනක පද්ධතියේ වෙනත් ඉන්ද‍්‍රියයන්ට සිදුකළ හැකි හානි පිළිබදව සොයාබැලීමක් සිදු නොවීම බරපතළ අඩුපාඩුවක් බවත් මෙම නඩුවේ අගතියට පත් මව්වරුන් කිසි කෙනෙකුන් හෝ අන් කිසිවෙකු පැලෝපීය නාලයට හානි සිදුවූ බවට පැමිණිලි කර නොමැති බවත් තමන් පැලෝපීය නාල සම්බන්ධයෙන් කිසිදු ස්ථානය සදහනක් කර නොමැති බවත් අවධාරණයකලේය.

සැකකාර වෛද්‍යවරයා විසින් මෙවැනි අපරාධයක් සිදුකර නොමැති නම් ඔහු ගෞරවනීය ලෙස නිදොස් කොට නිදහස් කළ යුතුය යන ස්ථාවරයේ තමාද සිටින බව ප‍්‍රකාශ කළ නීතිඥ වරයා එය මෙවැනි "දෙකයි පනහේ වැඩ" හරහා ලබාගත යුතු නිදහසක් නොවන බව ප‍්‍රකාශ කළේය. ඒ අර්ථයෙන් ගත්කල තමා සාෆි වෛද්‍යවරයාගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින්නකුද වන බව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

අවසාන වශයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ තිරාණගම මහතා මෙවැනි තත්වයක් වර්ග ඝාතනයක් වශයෙන් ජාත්‍යන්තර සම්මුතීන් වල හදුනාගන්නා බව අධිකරණයේ අවධානයට ලක්කරන ලදී.

අගතියට පත් පාර්ශවයේ කරුණු දැක්වීම හමාර කරමින් ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ සත්‍ය හෙළිදරව් වන සමස්ථ ප‍්‍රජනක පද්ධතියම ආවරණය වන පරීක්ෂණයකට තමන් විරුද්ධ නොවන බවයි.

ඉන්පසු දිවයින පුවත්පත වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ වරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් දිවයින පුවත්පත පදනම් විරහිත කටකතා මත පදනම් වූ පුවතක් පල කරන ලද බව කියැවුණද අදාළ දිවයින පුවත පලවූයේ 2019 මැයි 23 වැනි දින බවත් ඊට පෙර දිනයේ එනම් 2019 මැයි 22 වැනි දින මෙම ගරු අධිකරණයට මෙම සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් බී වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙන බවත් එහිදී වයඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන් වන්ද්‍යකරණයට ලක්කිරීම ඇතුලු චෝදනා හතරක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ පළවූ මුල් පුවත කටකතා මත පදනම් වූ එකක් නොව අධිකරණයට කරුණු වාර්තා කරන ලද නඩුවක් සම්බන්ධයෙන් පළවූ සාමාන්‍ය පුවතක් බවද පෙන්වා දුන්නේය.

අවසාන වශයෙන් අධිකරණය ඇමතූ සැකකාර වෛද්‍ය වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා ප‍්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයා සම්පූර්ණයෙන් එකග බවත් එයට ඔහු මේ දක්වාම සම්පූර්ණ සහයෝගය සහ අදාළ සියලුම තොරතුරු ලබාදී ඇති බවත් ඔහුගේ ගෞරවාාන්විත නිදහස් වීමකට එය අත්‍යවශ්‍ය බවත්ය. ඊට අමතරව අගතියට පත් පාර්ශවය විසින් කරුණු ඉදිරිපත් කළ නිශ්චල දේපල සහ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් අධ්‍යයනයකින් පසු වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිය තමන් රදවා ගන්නා බවත් එකී ඔප්පු සම්බන්ධයෙන් පමණක් නොව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාර වාර්ථාව ඇතුලු මෙයට අදාළ අනෙකුත් වැදගත් ලේඛන මේ දක්වාම සීල් තබා හෝ භාරයට ගෙන නොමැති බවත් ඒවායේ ඇතුලත් සටහන් ඇතැම් පිරිස් විසින් කාක පාද යොදමින් වෙනස් කිරීම් වලට දැනටමත් භාජනය කර ඇති බවට තමන්ට දැනගන්නට ලැබෙන බවත් සදහන් කරමින් එම සියලු ලේඛන අධිකරණය හමුවට කැදවීමේ අවශ්‍යතාවය අවධාරණය කලේය.

අවසාන වශයෙන් තම සේවාදායකයාට සුදුසු ඇපයක් නියම කරන ලෙස ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා ඒ සදහා අධිකරණය නියම කරන ඔනෑම කොන්දේසියකට යටත් වීමට තම සේවාදායකයා සූදානම් බවද අවධාරණය කලේය.

මෙම කරුණු දැක්වීම් සියල්ල අවසාන වන විට පස්වරු 5.00 පමණ විය. ඉන්පසු මේ සම්බන්ධයෙන් නියෝග පස්වරු 5.30ට ප‍්‍රකාශයට පත්කරන බව ප‍්‍රකාශ කළ මහේස්ත‍්‍රාත්තුමන් අධිකරණ කටයුතු පැය භාගයකට අත්හිටුවන ලදී.

නියමිත කාලයෙන් පසු නැවතත් විනිශ්චයාසනයට පැමිණි ගරු මහේස්ත‍්‍රාත් තුමන් මෙම නඩුව සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් නියෝග 3ක් නිකුත් කරන ලදී.

1. මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනට පත්කර ඇති වෛද්‍ය මණ්ඩලය බල රහිත කර ඒ වෙනුවට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරුන්ද ඇතුලත් විමර්ශන මඩුල්ලක් පත්කිරීම සදහා සුදුසු පස් දෙනෙකුගේ නම් ඉදිරිපත් කරන ලෙස නියෝග කරනලදී.

2. සැකකාර වෛද්‍යවරයා සතු සියලුම වත්කම් සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ තක්සේරුකරුට නියෝග කරන ලදී

3. මෙම නඩුවේ ප‍්‍රශ්නගත දේපල ගනුදෙනුවට තැරැව්කරුවෙකු වූ මොහාන් නැමැත්තාට බලපෑම් කිරීමට සැකකාර වෛද්‍යවරයාට ඇති ඉඩ ප‍්‍රස්තාවද මේ සිදුවීම සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇතිවීමේ හැකියාවද සළකා බලමින් ඇප ඉල්ලීම ප‍්‍රතික්ශේප කළ මහසේත‍්‍රාත්තුමන් සැකකාර වෛද්‍යවරයා 2019 ජූලි මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී

3 වන දිනය - 2019 ජූලි 16 වැනිදා 

වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොණු කරන ලද නඩුව කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මැතිතුමන් ඉදිරිපිට අද කැදවන ලදී.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා ඇතුලු නිලධාරීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

විත්තිය වෙනුවෙන් නීතිඥ ජයප්‍රෙම බී තෙන්නකෝන් මහතා ඇතුලු නීතිඥ කණ්ඩායමක් සමග ජනාධිපත නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතාද අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ චිත‍්‍රසිංහ ද සොයිසා, තරිදු බණ්ඩාර, සමන් බණ්ඩාර දිසානායක, ප‍්‍රියංකර ඩයස්, නිලූෂි උයන්වත්ත, චානක අබේවික‍්‍රම, ඉන්ද‍්‍රසිරි සේනාරත්න, පියුමාල් හේරත් යන නීතිඥ මහත්වරුන් ඇතුලු කණ්ඩායමක් සමග ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතාද පෙනී සිටියහ.

ස්වාමීන් වහන්සේලා සැළකියයුතු ප‍්‍රමාණයක් වෙනදා මෙන්ම නඩුව නැරඹීම සදහා අධිකරණයට පැමිණ සිටියද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි අද අධිකරණයට පැමිණ සිටියේ නැත. වෙනදා මෙන්ම කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක්ද අගතියට පත්වූයේ යැයි කියන මව්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල අය සැළකිය යුතු ප‍්‍රමාණයක්ද වෛද්‍ය සාෆිගේ හිතවතුන් සැළකිය යුතු පිරිසක්ද මාධ්‍යවේදීන්ද අධිකරණ භූමියේ දක්නට ලැබුණි.

අධිකරණ කටයුතු ආරම්භ වීමට පෙර පෙරවරු 9ට පමණ කුරුණෑගල ඉම්පීරියල් සිනමාහළ ඉදිරිපිට වටරවුම මත 40ක පමණ කණ්ජායමක් මුද‍්‍රිත පුවරු සහිතව උද්ඝෝෂණයක යෙදී සිටිනු දක්නට ලැබුණු අතර මහේස්ත‍්‍රාත්තුමන්ගේ රථය එම ස්ථානය පසුකර ගිය වහාම එම පිරිස විසිර ගියහ. ඊට අමතරව මීට පෙර නඩු දිනවලදී මෙන්ම කුරුණෑගල නගරය පුරා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය යොදවා ආරක්ෂාව තරකර තිබූ අතර පෙර දින දෙකට සාපේක්ෂව මහමග රාජකාරි සදහා යොදවා තිබූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබුණි.

නඩුව පස්වරු 1.30ට දවසට නියමිත සෙසු නඩු අවසාන වීමෙන් පසුව කැදවන ලදී. නඩුවේ කටයුතු ආරම්භ වූ වහාම සැකකරු වෙනුවෙන් පෙනී ජනාධිපති නීතිඥ සිටින වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණය වෙතින් විශේෂ ඉල්ලීමක් සිදුකරමින් කියා සිටියේ මෙම නඩුවට අදාළ නොවන පිරිස් විශාල වශයෙන් අධිකරණයේ ඒකරාශී වී සිට මීට පෙර අවස්ථා වලදී නඩුවේ කාරණා පිළිබදව අතිශයෝක්ති සහගතව මාධ්‍ය වෙත අදහස් දැක්වීම් ආදිය සිදුකිරීමෙන් ජාතික සමගියට විශාල තර්ජනයක් ඇතිවන හෙයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා ලැබෙන බලතල ප‍්‍රකාරව මෙම නඩුවට අදාළ නොවන පුද්ගලයන් අධිකරණ ශාලාවෙන් ඉවත් කරන ලෙසය.

එයට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ අධිකරණ ශාලාවේ ඒකරාශී වී සිටින්නේ මෙම නඩුවට සම්බන්ධ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශව වීම හේතුවෙන් ඔවුන් අධිකරණ ශාලාවනේ බැහැර කිරීම අනවශ්‍ය බවයි.

ඉන්පසු නැවතත් විරෝධතාවයක් ඉදිරිපත් කරමින් සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥවරුන් රාශියක් පෙනී සිටිමින් මෙම අධිකරණය තුල දේශපාලන කතා පවත්වන බැවින්ද ඒ එක් එක් නීතිඥවරුන් පෙනී සිට කරුණු දක්වන්නේ කුමන සේවා දායකයන් වෙනුවෙන්දැයි දැන ගැනීමේ අයිතියක් තම සේවාදායකයාට ඇති බැවින්ද අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද යනුවෙන් ඔවුන්ගේ පෙනී සිටීම සටහන් කරන අවස්ථාවේ සදහන් කළ යුතු බවයි.

එමෙන්ම පෙර දිනයේ පුවත්පත් වාර්තාකරුවෙකු වෙනුවෙන්ද මෙම නඩුවේදී නීතිඥවරයෙකු පෙනී සිට තිබෙන බවත් මෙහි පාර්ශවකරුවකු නොවන අයෙකු වෙනුවෙන් එසේ පෙනී සිටියේ කුමන පදනමක් මතද යන්න තමාට නොවැටහෙන බවත් සදහන් කර සිටියේය.

ඒ පිළිබදව යම් අදහස් හුවමාරුවක් ඇති වුවද අවසානයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතිඥවරුන් තමන් කරුණු දැක්වීමට පෙර තමන් පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද යන්න සංකේතාත්මකව සටහන් කරන ලදී.

මේ හේතුව මත අගතියට පත් පාර්ශවයේ නීතිඥ මහත්වරුන් මව් වරුන්ගේ නම් සදහන් කොට පෙනී සිටීම සටහන් කිරීමෙන් පසු සාෆි වෛද්‍යවරයාගේ වත්කම් පිළිබදව කරුණු දැක්වීමට උත්සාහ කළ සෑම අවස්ථාවකදීම එයට සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාගේ දැඩි විරෝධය එල්ල විය.

එහිදී එම විරෝධයේ පදනම ලෙස වදභාවයට පත්වූ මව්වරුන්ට වත්කම් පිළිබදව සම්බන්ධතාවයක් නොමැති හෙයින් සහ තම සේවාදායකයාගේ වත්කම් ප‍්‍රමාණය හේතුවෙන් එකී මව්වරුන් අගතියට පත්වී ඇති බවට කිසිවෙකු චෝදනා නොකළ හෙයින් ඒ මත කරුණු දැක්වීමට මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට හැකියාවක් නොමැති බවට ජනාධිපති නීතිඥවරයා තර්ක කරන ලදී.

තවද මෙම නඩුවේප‍්‍රධාන ප‍්‍රශ්නගත කරුණ වන තම සේවාදායකයා විසින් මව්වරුන් වදභාවයට පත්කරල ලද්දේද යන කරුණ වෙනම ගෙන සළකා බැලිය යුතු බවත් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනාව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් ඉවත් කරගෙන ඇති බැවින් ඉතිරිව ඇති මුදල් විශු්ද්ධිකරණ චෝදනාව මෙම නඩුව තුලම සළකා බැලීම තුල මෙම මව්වරුන් වදභාවයට පත්කර ඒ හරහා අයථා වත්කම් ඉපයීම සිදුකළා වැනි අස්වාභාවික තත්වයක් නිර්මාණය වන බැවින් එසේ එක්ව සැළකීමෙන් තම සේවාදායකට අගතියක් සිදුවන බවත් ඒ නිසි ඒ චෝදනා වෙන් වෙන් වශයෙන් ගෙන වෙන වෙනම සළකා බැලිය යුතු බවටත් විත්තියේ ජනාධිපති නීතිඥවරයා යෝජනා කර සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මේ දක්වා සිදුකරඇති විමර්ශන වල ප‍්‍රගතිය පිළිබදව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනට දණ්ඩ නීති සංග‍්‍රහයේ 311 වගන්තිය යටතේ නිර්වචනය කොට ඇති බරපතළ තුවාල කිරීමේ වරද වෛද්‍ය සාෆි විසින් සිදුකර ඇත්තේය යන සැකය මත පිහිටා විමර්ශන කටයුතු සිදුකරන බවත් එම විමර්ශනයට අත්‍යවශ්‍ය කොටසක් වන වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීම මීට පෙර දිනයේ සිදුකරන ලද අධිකරණ නියෝගය හේතුවෙන් ඇණහිට ඇති බවත් එසේ හෙයින් විමර්ශන එකතැන නැවතී ඇති ස්වභාවයක් ඇතිවී තිබෙන බවයි.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා පෙර දිනයේදී අගතියට පත් පාර්ශවය විසින් විමර්ශන මෙහෙයවන ආකාරය විවේචනය කිරීමද විමර්ශනය සදහා අදාළ බව කියමින් යම් යම් බැංකු ගිණුම් පිළිබදව පළමු වරට අධිකරණයේදී හෙළිදරව් කිරීම විමර්ශනයට ඉතා දැඩිලෙස අගතිදායී වන බවත් එයින් විත්තියට වාසියක් සැළසෙන බවත්ය.

විමර්ශන වලින් අනාවරණය වන කරුණු අනුව දැනට දණ්ඩ නීති සංග‍්‍රහයේ 311 වගන්තිය යටතේ විමර්ශනය සිදුකෙරෙන බැවින් එම චෝදනාව සදහා ඇප ලබාදීමට මෙම අධිකරණයට බලය ඇති බව තමන් නිරීක්ෂණය කරන බව සදහන් කළ තුසිත් මුදලිගේ මහතා සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ නොවන බව සදහන් කලේය.

ඉන්පසු සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා තම සැකකරු දණ්ඩ නීති සංග‍්‍රයේ 311 වගන්තිය යටතේ වරදක් කළබවට සැකපිට විමර්ශනය සිදුකරන බව පැමිණිල්ල ප‍්‍රකාශ කළද තවමත් එකී කරුණු තහවුරු කිරීම සදහා කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවද සදහන් කළේය. කෙසේ වෙතත් එම වගන්තිය දඩුවම් වගන්තියක් නොව නිර්වචනයක් ඇතුලත් වගන්තියක් බව පෙන්වා දුන් ජනාධිති නීතිඥවරයා ඒ හා අදාළ දඩුවම් වගන්තිය යටතේ වුවද ඇප ලබාදීමේ බලය මෙම අධිකරණයට ඇති බැවින්ද පැමිණිල්ල විසින් ඇප ලබාදීමට විරුද්ධ නොවන බවට ප5කාශ කරන හෙයින්ද තම සේවාදායකයා ඔනෑම කොන්දේසියක් මත ඇපයක් නියමකර මුදා හරින මෙන් ඉල්ලා සිටියේය.

ඊට අමතරව තම සේවාදායකයා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පැය 72 රදවා ගැනීමේ නියෝග ප‍්‍රකාරව රදදවා සිට එම කාලය අවසන් වී පැය 48කට පමණ පසුව දින 90 රදවා ගැනීමේ නියෝගය ලබාගෙන ඇති බවත් එසේ හෙයින් තම සේවාදායක පැය 48ක පමණ කාලයක් නීති විරෝධී ලෙස රදවාගෙන ඇති බව අධිකරණයේ අවධානයට ලක්කරන ලදී. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයා ගොණුකරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේදී සදහන් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙහිදී ඉල්ලීමක් නොකරන බව වැඩිදුරට් ප‍්‍රකාශ කරන ලදී.

එයට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුසිත් මුදලිගේ මහතා එකී රදවා ගැනීමේ නියෝග දෙක අතර පරතරය පැය 24ක් පමණක් බව ලේඛන අනුව පෙන්වා දෙමින් එවන් නීති විරෝධී රදවා ගැනීමක් සිදුවී නැති බව අවධාරණය කලේය.

අගතියට පත් පාර්ශවය වෙනුවනේ මුලින්ම කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ වෛද්‍ය පරීක්ෂණයට විරුද්ධ වීමේ පදනම පැහැදිලි කලේය. එමෙන්ම පාස්කු බෝම්බ ප‍්‍රහාරය පිළිබදව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ශානි අබේසේකර මහතා මෙම නඩුව පිළිබදව සිදුකරන ලද සදහනක් සහිත වීඩියෝවක් අන්තර්ජාලයේ ඇති බවද එය මෙම නඩුව විෂයෙහි බෙහෙවින් අනුචිත බවද පෙන්වා දුන්නේය.

ඉන්පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ටෙනී ප‍්‍රනාන්දු මහතා මෙය දණ්ඩ නීති සංගහයේ 311 වගන්තියට ලඝු කළ හැකි තත්වයක් නොවන බවත් ඊට වඩා බරපතළ අපරාධයක් වන බවත් එය සිංහල ජාතික මව්වරුන්ට එරෙහිව සිදුවී ඇති බවත් එසේ හෙයින් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ බලාධිකාරය යටතට වැටෙන ක‍්‍රියාවක් වන බවත් සදහන් කරමින් සැකකරුට ඇප ලබාදීමට මෛ අධිකරණයට බලයක් නොමැති බව සදහන් කලේය.

ඉන්පසු කරුණු දැක්වූ නීතිඥ ඉන්ද‍්‍රසිරි සේනාරත්න මහතා පෙර දිනයේ මෙන්ම තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් නොවූ වෛද්‍ය සාෆිට අයත් බැංකු ගිණුමක් සහ එහි සිදුවී ඇති ගනුදෙණු කිඑිපයක් අධිකරණයේ අවධානයට යොමුකරන ලදී. එමෙන්ම ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ඉවත් කිරීමට තවමත් කල් වැඩි බවද වෛද්‍ය සාෆිගේ ගිණුම් වලට මුදල් පැමිණියේ ත‍්‍රස්තවාදී සංවිධාන හරහාද එම මුදල් වියදම් කරනු ලැබුවේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සදහාද යන්න තවමත් විමර්ශනය කළ යුතුවන හෙයින් මෙම අධිකරණය ඇප ලබාදීමෙන් මෙම නඩුවට බලවත් අගතියක් සිදුවිය හැකි බවත් සැකකරු විසින් මුදල් හා ඔහුගේ බලය පාවිච්චි කොට සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි බවත් එසේ හෙයින් ඇප ලබාදීමට විරුද්ධ බවත් සදහන් කලේය. ඉන්පසු පෙර සදහන් කළ ගිණුම් හා සම්බන්ධ විමර්ශන වලට අදාළව අධිකරණ නියෝග ගණනාවක් නීතිඥ ඉන්ද‍්‍රසිරි සේනාරත්න මහතා ඉල්ලා සිටින ලදී. නමුත් එයට විත්තියේ නීතිඥවරුන් විරෝධය පළකරන ලද්දේ විමර්ශණයට අදාළ නියෝග පැමිණිල්ල විසින් ඉල්ලා සිටිය යුතු බව සදහන් කරමිනි.

නීතිඥ චානක අබේවික‍්‍රම මහතා කරුණු දක්වමින් වෛද්‍ය සාෆි නිර්දෝෂී නම් ඔහුට ගෞරවාන්විත නිදහසක් ලැබිය යුතු බවත් එය සාධාරණ විධිමත් විමර්ශනයකින් පසුව සිදුවිය යුතු බවත් අවධාරණය කලේය. මෙහිදී ඔහුගේ කරුණු දැක්වීම දේශපාලන කතාවක් බව සදහන් කරමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා එයට විරෝධය පලකරන ලද අතර එයට පිළිතුරු ලෙන නීතිඥ චානක අබේවික‍්‍රම මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාගේ හැසිරීම පිළිගත නොහැකි බව සදහන් කලේය.

ඉන්පසු නැවතත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මහතා අගතියට පත් පාර්ශවය විසින් පැමිණිල්ලේ කටයුතු විවේචනය කිරීමෙන් විත්තියට වාසියක් අත්වනවා විනා අන් කිසිදු ප‍්‍රතිඵලයක් අත් නොවන බව පෙන්වා දුන්නේය. ඇප පිළිබදව අධිකරණයෙන් විශේෂයෙන් නැවතත් විමසා සිටි අවස්ථාවේ ඒ සදහා පැමිණිල්ල වෙනුවෙන් විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා නැවතත් අවධාරණය කලේය.

අවසානයේ අධිකරණය ඇමතූ විත්තිය වෙනුවෙන් පෙනීසිට ජනාධිපති නීතිඥවරයා නැවතත් කරුණු සම්පිණ්ඩනය කරමින් තම සේවාදායකට ඇප නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

ඉන්පසු නියෝගය සදහා අධිකරණ කටයුතු පස්වරු 5.45 දක්වා කල්තබන ලද අතර පසුව විනිශ්චයාසනාරූඪ වූ මහේස්ත‍්‍රාත්තුමන් විසින් කරුණු සළකා බලා සැකකරුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක්ද රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප 4ක්ද මත මුදා හැරීමට නියෝග කලේය. ඊට අමතරව සෑම ඉරු දිනකම අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවට වන නියෝගයකටද සැකකරු යටත් කළේය.



No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...