Tuesday, April 14, 2020

නාලන්ද එල්ලාවල ඝාතනය

පොදුජන එක්සත් පෙරමුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද සම්පත් එල්ලාවල සහ පොලිස් කොස්තාපල් උපාලි සිරිසෝම යන දෙදෙනා වර්ෂ 1997 පෙබරවාරි 11 වන දින කුරුවිටදී සිදුවූ වෙඩිතැබීමකින් ඝාතනයට ලක්විය. ඒ වන විට නාලන්ද එල්ලාවලගේ වයස අවුරුදු 29කි. එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ මහින්ද රත්නතිලක සහ සුසන්ත පුංචිනිලමේ සහ තවත් කිහිපදෙනෙකු ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. 

ඒ හා සම්බන්ධ පසුකාලීන ප්‍රවණතා:- 

1. සැකකාර සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා 2007 වසරේදී ආණ්ඩුවට සහය පලකළ අතර ඔහුට රාජ්‍ය වතු කළමනාකරණ සහ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යධුරය පිරිනැමිණි.

2. සැකකාර මහින්ද රත්නතිලක මන්ත්‍රීවරයා 2007 වසරේ අගභාගයේදී, 2008 මුදල් වර්ෂය සඳහා වූ මහින්ද රාජපක්ෂ රජයේ අයවැය දෙවන වර කියවන අවස්ථාවේදී, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයට එක්වූ අතර ඔහුට ඇඟලුම් කර්මාන්ත අමාත්‍ය ධුරය පිරිනැමිණි.

3. මෙම පිල්මාරු සහ තනතුරු ප්‍රදානය සම්බන්ධයෙන් අදාළ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ දැඩි විරෝධය එල්ල විය.

4. 2007 දෙසැම්බර් 17 දිනැතිව BBCSinhala.com වෙබ් අඩවිය වාර්තා කළ පරිදි නීතිපතිවරයාගේ උපදෙස් මත රත්නපුර මහේස්ත්‍රාත්වරයා විසින් මහින්ද රත්නතිලක අමාත්‍යවරයාගේ පුතු වූ විරාජ් රත්නතිලක ඇතුළු නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ සැකකරුවන් හතර දෙනෙකු නිදහස් කරන ලදී. 

5. නඩුවට අදාළ නඩු භාණ්ඩහා ලිපිලේඛන රත්නපුර අධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්නකින් විනාශ වූ බව පෙරකී BBCSinhala.com වෙබ් අඩවිය ඉහත දිනයේම එම පුවතේම කොටසක් වශයෙන් වාර්තා කර තිබුණි. 

6. අමාත්‍ය මහින්ද රත්නතිලක සහ අමාත්‍ය සුසන්ත පුංචිනිලමේද ඇතුළු සැකකරුවන් හය⁣දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොණුකෙරෙන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබුණි. 

7. මහින්ද රත්නතිලක නඩුව විභාගයට ගැනීමට පෙර 2012 ජූනි 19 වැනි දින අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 

8. පැමිණිල්ලෙන් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් රත්නපුර මහාධිකරණය විසින් විත්තියේ සාක්ෂි නොකැඳවාම අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ ඇතුළු නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ චූදිතයින් 2013 නොවැම්බර් 12 සහ දෙසැම්බර් 18 දිනවලදී නිදොස් කොට නිදහස් කරන ලද බව BBC වෙබ් අඩවිය වාර්තා කරන ලදී. 

9. 2018 නොවැම්බර් 11 දින සුසන්ත පුංචිනිලමේද මහින්ද රාජපක්ෂ ඇතුළු තවත් මන්ත්‍රීවරුන් 27ක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නා ලදී. 

10. එක්සත් ජාතික පෙරමුණේ 2019 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය සජිත් ප්රේමදාස ඉදිරිපත් වන්නේ නම් සුසන්ත පුංචිනිලමේද ඔහුට සහාය පලකිරීමට සූදානම් බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණත් එය සිදු වූයේ නැත.

11. 2020 මහමැතිවරණය සඳහා සුසන්ත පුංචිනිලමේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්⁣ද, ඩිලාන් පෙරේරා බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද, නාලන්ද එල්ලාවලගේ පියා (නන්ද එල්ලාවල) ගේ සොයුරු (මොහාන් එල්ලාවල) ගේ පුත් අකිල එල්ලාවල රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වදිති.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...