වර්තමාන එජාප නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ
අනුප්‍රාප්තිකයා සජිත් හෝ නවීන් දිසානායක නොව රුවන් විජේවර්ධන විය හැකි
බවත් එය බොහෝදෙනා බලාපොරොත්තු වන පරිදි අද හෙට නොව 2023දී පමණ සිදුවිය
හැකි බවටත් ඊයේ දිනයේ පෝස්ටුවක් පළකලෙමි.
එයට ලැබුණු ප්‍රතිචාර මත එම පුරෝකතනයේ පදනම පැහැදිලි කළ යුතු බවක් හැගුණු හෙයින් මෙම සටහන ඒ පිළිබඳවයි.
පළමුව කිවයුතු කරුණ වන්නේ එය හුදෙක් මගේ නවෝත්පාදිත පුරෝකථනයක් නොවන බවයි.
රුවන් විජේවර්ධන කවුදැයි කිසිවකු නොදන්නා කාලයේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
වික්ටර් අයිවන් එම පුරෝකථනය සිදුකළේය. ඒ ඔහු විසින් රචිත දේශපාලනයේ පවුල හා
කුලය පොතේ අවසාන පරිච්ඡේදයේ අවසාන කොටස මගිනි.
රනිල් වික්‍රමසිංහගේ වර්තමාන හැසිරීම අධ්‍යයනය කිරීමේදී එම පුරෝකථනය නිවැරදි වීමට ඉතා ඉහළ ඉඩක් පවත්නා බව කිව යුතුය.
ඒ කෙසේද:-
රනිල් වික්‍රමසිංහ වූකලී හෙණ පිට හෙණ ගැහුවත් වගේ වගක් නැති උපන්ගෙයි
කම්මලේ බල්ලෙකි. අන් අය කෙතරම් කලබළ වුවද ඔහු සන්සුන්ව තමා අපේක්ෂා කරන
ඉලක්කය කරා ගමන් කරන්නෙකි. එය රටේ හෝ එජාපයේ යහපතට හේතු වේද නොවේද යන්න
වෙනම කාරණයකි. මෙහිදී මා මතුකරන කරුණ වන්නේ රනිල් වික්‍රමසිංහ යනු
ලෙහෙසියෙන් තමාගේ පීල්ලෙන් පිට නොපනින්නෙකු බව පමණි. එය ඔහු නැවත නැවතත්
පෙන්වා ඇත.
සජිත් සහ පිරිවර 2010 මහ මැතිවරණයෙන් පසුවද රනිල්
නෙරපීම සදහා මේ තරමටම නැතත් සැළකියයුතු තොවිලයක් නැටුවෝය. සජිත් පිල පක්ෂය
කඩාගෙන පිටවී යන්නට අත්‍යාසන්න අවස්ථාවක් එළඹුණි. නමුත් පිටවී ගියේ
දයාසිරි ජයසේකර පමණි. සජිත් පිළෙන් එන ඉඟි ඍජුව වටහා ගැනීමට උත්සාහ කර එය
සම්පූර්ණයෙන්ම වරදවා වටහාගත් දයාසිරි තවත් බොහෝ කාලයකට කැබිනට් අමාත්‍ය
ධුරයකින් ඔබ්බට යාමට නොහැකි වන අන්දමින් තමාවම සීමා කරගත්තේය.
මේ
මොහොතේ පවා රනිල් කටයුතු කරන්නේ ඔහුගේ උප්පරවැට්ටි දේශපාලන භාවිතාව අනුව
තමාම තීරණය කළ පියවර අනුවමය. රනිල් යනු එජාපය බදා සිටින දැවැන්ත බූවල්ලෙකු
වැනිය. ඔහුගේ අඬු කීයක් ඇත්තේද, ඒවා කොපමණ දිගද, ඒවායින් කුමන කුමන
මර්මස්ථාන ස්පර්ශ කර ඇත්තේදැයි දන්නේ ඔහුම පමණි. සමහර අඬු එජාපයෙන් එපිටට
පවා දිගුවී මහින්ද රාජපක්ෂ වැනි එජාපයෙන් පරිබාහිර මර්මස්ථාන පවා ස්පර්ශ
කරන බව බැලු බැල්මටම වුවද පෙනෙන්නට තිබේ.
රාජ්‍ය පාලනයේ රනිල්ගේ
ශක්‍යතාවය කුමක් වුවද පක්ෂ දේශපාලන උප්පරවැට්ටි පිළිබඳව ඔහුගේ ශක්‍යතාවයට
සම කිරීමට කිසිවෙකු ශ්‍රී ලාංකීය දේශපාලනයේ නැත.
ඊයේ දිනයේ එජාපයේ
නායකයන්ගේ රැස්වීමේදී තීරණය වූයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම
කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සිදුකළ යුතු බවය යනුවෙන් සමාජ මාධ්‍ය වාර්තා කර
තිබුණි. රනිල්ගේ දේශපාලන භාවිතාව පිළිබඳව අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට
"කෘත්‍යාධිකාරී මණ්ඩලය" යනු "රනිල්" යන්නට තවත් නමක් බව වටහා ගැනීම අපහසු
නැත. ඒ අනුව එජාප ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ අන් කිසිවෙකු නොව රනිල්
වික්‍රමසිංහ විසින්මය.
ඊළගට පැනනගින ප්‍රශ්නය වන්නේ ඒ තීරණය කුමක්
විය හැකිද යන්නයි. එහිදී පවත්නා ඉහළම සම්භාවිතාවය වන්නේ එජාප අපේක්ෂකයා
ලෙස රනිල්ම ඉදිරිපත් වීමටය. එසේ නොවී වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ
නම් ඒ සජිත් නොව කරු ජයසූරිය වීමට ඉතා ඉහළ ඉඩක් තිබේ.
මන්ද සජිත්
ජනාධිපති අපේක්ෂකයා වී ජයග්‍රහණය කළත් පරාජය වුවත් එජාපයේ සජිත් යුගයක්
ඇරඹෙනු ඇත. පරාජය වුවද සජිත්ගේ වයස සහ සජිත්ට ඇති ජනතා ආකර්ශණය මත ඔහුට
එජාපය සහ විපක්ෂ නායකත්වය භාරදීමට සිදුවනු ඇත. කරු ජයසූරිය ජය ගත්තොත්
එයින් ඇරඹෙන කරු යුගය එතරම් දීර්ඝ එකක් නොවනු ඇත. පරාජය වුවහොත් ඔහුව
චිත්‍රයෙන් ඉවත් කරදැමීමට රනිල්ට මගපෑදෙනු ඇති අතර නැවතත් විපක්ෂ නායක
වන්නේ රනිල්මය. ඒ අනුව රනිල්ගේ පුද්ගලික තීරණය මත ඊළඟ අනුප්‍රාප්තිකයා
පත්කිරීමේ ක්‍රියාවලියට කරු ජයසූරිය ඉදිරිපත් කර ජයග්‍රහණය කළද පරාජය වුවද
සැළකියයුතු බලපෑමක් නොවනු ඇත.
ඒ අනුව රනිල්ගේ අරමුණ 2020 කෙසේ හෝ
ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවීම යැයි කිසිවෙකු කියන්නේ නම් එය මුළාවකි.
ඔහු ඉතා සැහැල්ලුවෙන් විපක්ෂ නායක ධුරය සදහා settle වනු ඇත.
ඊළග
කරුණ වන්නේ අනුප්‍රාප්තිකයා වශයෙන් රනිල්ගේ තේරීම වන්නේ රුවන් විජේවර්ධන
යැයි කියන්නේ කෙසේද යන්නයි. විජේවර්ධන-ජයවර්ධන-වික්‍රමසිංහ තුන් පවුල යනු
එජාපයට කියන තවත් නමක් වශයෙන් හැදින්වුවද වරදක් නැත. රනිල් වික්‍රමසිංහගේ
චරිතාපදානයේ අවසාන පරිච්ඡේදය කියවන විට ඔහුගේ පවුල් සබැඳියාව සතු බලය ගැන
කෙනෙකු පුදුමයටත් ඇතැම් විට බියටත් පත්වනු ඇත.
රාජපක්ෂවරු
පවුල්වාදය ක්‍රියාත්මක කරන්නේ එළිපිටමය. නමුත් එජාපය ග්‍රහණයට ගෙන ඇති
පවුල් වාදය පොළව අභ්‍යන්තරයේ විහිදුණු එකිනෙක හා බැඳුණු දැවැන්ත මූල
පද්ධතියකි. එය කිසිවෙකුට බැලු බැල්මට පෙනෙන්නේ නැත. නමුත් එය පැහැදිලිවම
එතැන තිබේ.
රනිල් වික්‍රමසිංහ, රුවන් විජේවර්ධනගේ දේශපාලන දිවියේ
ආරම්භයේ පටන්ම ඔහුට සුරැකිව වැඩෙන්නට ඉඩ හැරියේය. චෝදනා, මඩ ප්‍රහාර අවලාද
වලට ලක්වන පරිදි ඔහුව අනවශ්‍ය තරමට කිසිදා නිරාවරණය කළේ නැත. රනිල්ගේ
ඉදිරිපෙළ සිට අකිල, සාගල, මංගල, රාජිත, රවී වැන්නන් ප්‍රහාර වලට නිරාවරණය
වද්දී ඔහු රුවන් ස්ථානගත කළේම එතරම් කතාබහට ලක් නොවන අර්බුද අඩු ස්ථාන
වලමය. අදටත් රුවන් විජේවර්ධන යනු ඉස්සර ටයිකෝට් ඇඳ දැන් රෙද්ද බැණියම අඳින
කට වටා රැවුලක් වැවූ මදක් තරබාරු මිනිසෙකු බව හැරෙන්නට වෙනත් කිසිදු කරුණක්
විරුද්ධවාදීන් තබා එජාප පාක්ෂිකයන්වත් රුවන් ගැන හරිහැටි දන්නේ නැත. එනම්
ඔහු කළුද සුදුද යන්න කිසිවෙකු හරිහැටි නොදනී. එම තත්වය surprise
දේශපාලනයේදී බලවත් වාසියකි. හිටි අඩිය්‍ෙම පසු පෙළ සිට ඔහු කේන්ද්‍රයට
පැමිණියහොත් ඔහුට පහරදිය යුත්තේ කුමකින්ද යන්න පවා තෝරා බේරාගැනීමට සැළකිය
යුතු කලක් ගතවනු ඇත.
මේ අනුව රනිල් වික්‍රමසිංහ රුවන් විජේවර්ධනව මේ
මොහොතේ තරගයට දමනු ඇත්ද? කිසිසේත් නැත. 2020 සිට විපක්ෂ නායකයා ලෙස
සිටිමින් වසර 3ක් පමණ තිස්සේ අවශ්‍ය පසුබිම සකසා 2023දී පමණ රුවන්ව අවශ්‍ය
තැන ස්ථානගත කොට ඉවත් වීම වඩාත් ඵලදායී ප්‍රතිඵල අත්කර දෙනු ඇත.
එයට රනිල්ට ඇති ප්‍රධාන බාධාව සජිත් වේ. සජිත් උපක්‍රමශීලී ලෙස දිගින්
දිගටම එජාපයේ රැදී සිට 2023දී තම අයිතිවාසිකම් ඉල්ලා සිටියහොත් රනිල්ගේ
සැලැස්මේ සුමට ගලා යාමට එය බලවත් බාධකයකි. ඔහු එජාපයෙන් ඉවත් කර දයාසිරි
ජයසේකරගේ ඉරණමට පමුණුවන ලදහොත් පෙරකී සැළැස්ම ඉතා පහසුවෙන් ක්‍රියාත්මක
කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සැළසෙනු ඇත. ඒ අනුව මේ මොහොතේ සජිත් එජාපයෙන් පිටමං
වන තැනට තල්ලු කොට ඔහුද යාවජීව වශයෙන් කැබිනට් අමාත්‍යවරයෙකුගේ සීමාවෙන්
ඉහළට යා නොහැකි ඉරණමකට ඇද දැමීම පක්ෂයක් ලෙස පරාජය ලැබුවද දිගුකාලීනව ගත්කල
ජයග්‍රහණයක් ලෙස රනිල් සළකනවා වීමට බොහෝදුරට ඉඩ තිබේ.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment