Monday, April 13, 2020

නීති පීඨ සමයේ කෑම පුරාණය

මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුලත් වෙන්නෙ ආහාර අනුභවය කියන්නෙ දවසෙ වැදගත්ම නැකත විදියට සළකන කාලෙ. ඒ කියන්නෙ ඇස්වහක් කටවහක් නෑ, යකෙකුට වගේ කන්න පුළුවන්, එහෙම කන්න ආස කාලෙ. ගෙදරදි අම්මා හදල දෙන ආස ආස කෑම ජාති වලින් පුරවලා බොහෝවිට පිඟන් තුනක් සමහරවිට හතරක් කාලා පුරුදු වෙලා එකපාරටම කොළඹ ගිහින් නවතින්න වුණාම අතරමං වුණා වගේ. ඒ කාලෙ කාපු හැටි ගැන තමයි මේ සටහන:-

කැන්ටිම
------------
මුලින්ම කැම්පස් එකට ඇතුලත් වුණ ගමන් කන්න වුණේ කැන්ටිමෙන්. ඒකත් එක්තරා අමුතුම අත්දැකීමක්. ෆැකල්ටියෙ කැන්ටිමේ කෑම ටිකක් හොඳයි. යම් තරමකට රසයි. ඒත් පිගානක් කියල කැන්ටිමේ අය සළකන්නෙ මම ගෙදරදි කාපු පිඟානෙන් හතරෙන් එකක් විතර.

හොස්ටල් එකේ කෑම නම් ඇත්තටම කටේ තියන්නත් හරි අමාරුයි. මිරිස් ගම්මිරිස්, කුළුබඩු දැකලවත් නැතුව නිකම් තම්බලා වගේ තියන එළවලුත් එක්ක තම්බපු බිත්තර බාගයක් තමා රුපියල් විස්සකට දුන්නෙ. මම ගොඩක් වෙලාවට ඒකවත් ඔක්කොම කෑවෙ නෑ. ටිකෙන් ටික මම විතරක් නෙවෙයි, අපි ඔක්කොම කෙට්ටු වෙලා ගියා ඒ කෑමෙන්.

කර්ෂි
--------
ඔහොම ඉන්නකොට තමයි ⁣හොස්ටල් කැන්ටිමේ කෑම එපා වෙච්ච අපි කීපදෙනෙක් තුන්වෙනි වසරෙ නන්දන අයියගෙන් ඇහුවෙ එළියට ගිහින් කාල එන්න. එයා තමයි මුළින්ම කර්ෂියට යන පාර කිව්වෙ. ඒ කඩේ තිබුණෙ නාලන්දෙට පොඩ්ඩක් එහායින්.

හොස්ටල් එකේ වතුරෙන් උයපු කෑම කකා හිටපු අපිට ඒක ලොකු වෙනසක් වුණා. ඒත් එතන කෑමත් ඒ තරම් රස නෑ. හොස්ටල් එකේ වැඩි දෙනෙක් එතනට ගියෙ කැෂියර් එකේ හිටපු අක්කව බලන්න මිසක් කෑමෙ හොඳකට නෙවෙයි. සුදු ලස්සන ටිකක් උස මහත ප්‍රමාණයෙන් විශාල අඟපසඟ තිබුණ හොඳටම ෆිට් ඩෙනිමකුයි ඒ වගේම ටීෂර්ට් එකකුයි ඇඳල හිටපු අවුරුදු 35ක විතර ඒ අක්කා එන අයට ඇහි බැම ඉහළ නංවන දර්ශනයක්.

මාතර බත් කඩේ
-------------------------
ඔහොම ඔහොම උදේටයි දවල්ටයි කැම්පස් එකේ කැන්ටිමෙනුයි රෑට කර්ෂියෙනුයි කකා හිටපු එකත් ටිකෙන් ටික එපා වුණා සතියක් විතර යද්දි. උදේ පුංචි බොරැල්ලට පයින් යන ගමන් බෝගහ යටදි හම්බ වෙන පුංචි කඩ කාමරයක තිබුණ මාතර බත්‍ කඩේ උදේටයි රෑටයි අපේ තේරීම වෙන්න ගත්තෙ ඊට පස්සෙ. එතන හරියට ඉඳගන්නවත් ඉඩ තිබුණෙ නෑ. කෑමෙත් ලොකු විශේෂත්වයක් තිබුණෙ නෑ. ඒත් හොදට මිරිස්, ගම්මිරිස්, තුනපහ දාල උයල තිබ්බ. එ්කෙ රසට අපි හැමෝම ටිකෙන් ටික ආස වුණා. විශේෂයෙන්ම ඒකෙ මාළු හදන විදියට හදපු මාළු මම වෙන තැනකින් අද වෙනකල් කාල නෑ. උදේට යන ගමන් නැවතිලා එතනදිම කෑම කාල ගිහින්, දවල්ට ෆැකල්ටියෙ කැන්ටිමෙන් කාලා, හවසට එන ගමන් මාතර බත් කඩෙන් කෑම එකක් අරන් ඇවිත් වොෂ් එකක් දාගෙන නිවිහැනහිල්ලෙ කන්න අපි පුරුදු වුණා. මම දිවුරුම් දුන්නට පස්සෙත් සමහර අවස්ථා වල මාතර බත්කඩෙන් කෑව ඒ රසට වෙච්ච පුරුද්ද හින්ද.

උයාගෙන කෑම
---------------------
මාතර බත්කඩේ කෑම රස වුණත් පිරිසිදු කම ගැන ප්‍රශ්න තිබ්බ කියල කියනව. ඒත් මටනම් කවදාවත් එතනින් කාල අජීර්ණයක් හැදිල නෑ. ඒත් මාස තුනකට විතර සැරයක් එතනට පී.එච්.අයි පැනල කඩේ සීල් තියනව. ඊට පස්සෙ ආපහු අරින්නෙ සති දෙකකට විතර පස්සෙ. එතකොට අපිට කන්න තැනක් නැති වෙනව.

ඒ ප්‍රශ්නෙයි, පිරිසිදු කමේ ප්‍රශ්නෙයි දෙකම හින්ද හොස්ටල් එකේ 31 කාමරේ අය රෑට උයාගන කන්න පටන්ගත්ත. ඒකෙන් මුදල් යම් ප්‍රමාණයකට පිරිමැහුණ විතරක් නෙමෙයි ටිකක් පිරිසිදුවට කන්නත් පුළුවන් වුණා. ඒත් අපි කාටවත් හරියට උයන්න පුළුවන් කම තිබ්බෙ නෑ. එක දවසක බත් එකට වතුර වැඩි. තව දවසක තව මොනවහරි. ඒත් ඒක ටිකක් ඉස්සරහට ගියා.

ඔහොම ඉද්දි අපි උයාගෙන කනව කියල දැනගත්තු අපේ අම්මල රයිස් කුකර් එකක් අරන් දුන්න. මොන හේතුවක්ද දන්නෙ නෑ ඒ රයිස් කුකර් එක ගෙනිච්ච දවසෙ ඉඳන් අපේ උයාගෙන කෑම නතර වුණා. ඊට පස්⁣සෙ උයාගෙන කෑවෙ ස්ටඩී ලීව් කාලෙක එක දවසක් දවාලෙ. එදා හැමෝම එකතු වෙලා කීරි සම්බායි, මීට් බෝල්සුයි, අලයි උයාගෙන කෑව. එදා මම බේසමකට බෙදාගෙන බත් කනව ෆොටෝ එකක් ළඟක් වෙනකල්ම තිබුණා.

මාදම්පා
-----------
මාදම්පා එක තිබුණෙ පුංචි බොරැල්ල හන්දියෙ ඉඳන් මරදාන පැත්තට වෙන්න. මාතර බත් කඩේ වහපු දවස් වලට ටිකක් අඩු මුදලකට ෆ්රයිඩ් රයිස් එකක් කන්න අපේ තේරීම වුණේ මාදම්පා හෝටලේ. අනික තමයි රෑ දෙගොඩහරිය වෙනකල් ඒ කඩේ ඇරල තියන එක. හදිස්සෙයෙවත් රෑ බඩගින්නක් ආවොත් දුවන්න පුළුවන් තැනක් එතන.

අපේ කඩේ
----------------
අපේ කඩේ දැම්මෙ ශ්‍රීනාත් අයිය. එ් කියන්නෙ ෆැකල්ටියෙ ෆොටෝකොපි සෙන්ටර් එක කරපු ශ්‍රී අයිය. ⁣හොස්ටල් එකට කිට්ටුවෙන් කෑම කඩයක් දාගත්තොත් ඇඳුනුම්කමත් එක්ක හොඳට බිස්නස් තියෙයි කියල ශ්‍රී අයිය හිතන්න ඇති. ඇත්ත. හොදට බිස්නස් තිබුණ. හැබැයි ශ්‍රී අයියට වැරදුණෙත් එතන. හොස්ටල් එකේ කොල්ලන්ගෙන් හිතවත්ම අයට එතන අයකලේ රුපියල් සීයයි. කැමති තරමක් බෙදාගෙන කන්න කියලයි තිබ්බෙ.

ඒ වෙනකොට අපි 2nd year එකේ. දනුෂ්ක රගර් ගහනව, අමිල වොලිබෝල් ගහනව, මම ෆුට්බෝල් ගහනව, සුදා ක්‍රිකට් ගහනව. ඔය ඔක්කොම ජිම් එකටත් යනව හැමදාම. ඉතින් ඔය කණ්ඩායම හවසට පුංචි බොරැල්ල පහු කරන්නෙ වැඩි අමාරුවක් නැතුව යකෙක් වුණත් කන්න පුළුවන් ගාණට. අපේ කඩේ කෑම වලට වුණේ මොකක්ද හිතාගන්න මං හිතන්නෙ ඒ ටික ඇති. රුපියල් සීයක් දීල පන්සීයක විතර කාපු එක තමයි වුණේ. අන්තිමට ඉතිං ශ්‍රී අයියට කඩේ වහන්නම වුණා.

අළුත් මාතර බත් කඩේ
-----------------------------------
ශ්‍රී අයියා අපේ කඩේ වහපු ගමන් එතන මාතර බත් කඩයක් දැම්ම. ඒකෙ හිටියෙ ටිකක් ලොකු ලයින් තියන සුදු මහත කොල්ලෙක්. කෑම ඒ තරම්ම රස නෑ. ඒත් වරදක් නෑ. මම එතනින් වැඩිය කාල නෑ. ඒත් මගේ ඉඳිආප්ප 70 රෙකෝඩ් එක තිබ්බෙ ඒ කඩෙන් කාල.

බන්ධනාගාරය
----------------------
මෙතන තමයි ගොඩක් අයගෙ ස්ථිර රාත්‍රි කෑම අලෙවිහල වුණේ. උයන පිහන කෑම බෙදන ඔතන වැඩ කලේ හිරකාරයො. ඒ නිසා ශ්‍රම පිරිවැය අවම වීම නිසා රුපියල් හතලිහකට විතර මස් කෑම එකක් ගන්න පුළුවන්. රුපියල් හතලිහක් දීල හිතේ හැටියට කාල එන්‍නයි තියෙන්නෙ. අනික හරක්මස්, කුකුල්මස්, මාළු, බිත්තර කියන වර්ග 4ම එතන තිබුණ. ඒත් එතනට යන්න කිලෝමීටරයක් විතර පයින් යන්න වුණා. ඒ නිසා ඒ කෑමත් මම ඇතුළු සමහරුන්ට ඇල්ලුවෙ නෑ. මොකද ගිහින් කාලා ආපහු එනකොට කාපු ටික බැහැල ඉවරයි. හැබැයි ඒක නොසළකා අවුරුදු හතරම එතනින් කාපු අයත් හිටිය. අවුරුදු හතර විතරක් නෙවෙයි, කැම්පස් අවුට් වුණාට පස්සෙත් බෝඩිං වලට යන ගමන් විශේෂයෙන් එතනින් බැහැල කෑම කාල ගියපු අය හිටිය.

ඇන්ටිලා
-------------
අවුට් වෙන්න කිට්ටු වෙලා කෑම කෑවෙ ඇන්ටිලාගෙ කඩ වලින්. ඇන්ටිලා දෙන්නෙක් හිටිය:-

1. සෙක්සි ඇන්ටි

සෙක්සි ඇන්ටිගෙ කඩේ තිබ්බෙ නාලන්දාවෙ ගේට්ටුව ඉස්සරහම. සෙක්සි ඇන්ටි කියන නම දැම්මෙ සිසිර. ඒකට හේතුව තමයි එ්‍ ඇන්ටි කොයිවෙ⁣ලාවෙත් ස්කිනි ඇඳල ඉන්න එක. අවුරුදු 70ක් විතර ඇති එතකොටත්. එතන කෑම තිබුණෙ රෑට විතරයි. කෑම උයන්න හිටියෙ කළු මහත අයියා කෙනෙක්. එයා මාතර කියල මට කිව්වෙ සුදා. එතන කෑම ගොඩක්ම රසයි. අනික් තැන්වලට වඩා ටිකක් ගණන්. ඒත් ගොඩක් රසට ෆුල් කෑම එකක්නම් ලොකු චිකන් කෑලි හතරක් විතර එක්ක හම්බවෙන ඒ කෑම එක ඒ ගෙවන ගාණට පොඩ්ඩක්වත් පාඩු නෑ.

2. කළු ඇන්ටි

කළු ඇන්ටි මුලින්ම කෑම ඉව්වෙ ගෙදර. ඒ ගෙදර තිබුණෙ LadyJ එක කිට්ටුව. එතනත් එතනටම ආවේණික රසයක් තියන විදියට උයන තැනක්. අලෙවි වෙන කෑම ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න ඇන්ටි පුංචි බොරැල්ල හන්දියෙ කඩයක් ඇරල එතනට ආව. මම හිතන්නෙ අදටත් ඒ කඩේ එතනම තියනව. දැනුත් ඉඳල හිටල ඒ පැත්තෙ ගියොත් කන්නෙ එතනින්.

ඉඳහිට කාපු තැන්
---------------------------

1. Parishin Hotel
පුංචි බොරැල්ලෙ තියන මුස්ලිම් හෝටලයක්. ටිකක් රස වැඩියෙන් ෆ්රයිඩ් රයිස් එකක් කන්න, කොත්තුවක් ඉඳිආප්ප කොත්තුවක් කන්න අපි ගියෙ එතනට. එතන හරක් මස් කොත්තුවට අඩුම ගානෙ හරක්මස් 250ක් වත් දානව. හැබැයි ගණං.

2. Canny's
සාමාන්‍යයෙන් පුංචි බොරැල්ලෙ හොඳම පිරිසිදුම කඩේ විදියට සැළකුණේ කැනීස් එක. අපි නිතරම කාපු තැනක් නෙමෙයි. එක හේතුවක් කෑමවල මිරිස් තුනපහ මදි වීම. අනික මිළ. ගොඩක් අය පිරිසිදුයි කීවත් එක පාරක් එතනින් එකම වෙලාවෙ එග් රෝල් කාපු අපි තුන්දෙනෙකුට හොදටම වමනෙ ගිහින් උණ ගැනුණ. එදායින් පස්සෙ ඕන නැති පිරිසිදුකම් හොයන්න ගියෙ නෑ.

ඒ කෑම වලට ආස කාලෙ. ඊට පස්සෙ ජීවිතේ කොච්චර දේවල් වෙනස් වුණාද? කාර්ය බහුල බව වැඩිවුණා, කීපවිටක්ම අසනීපත් වුණා. ඉතින් කාලයක් කන්න ජීවත් වෙනව වගේ හිටපු මම ජීවත් වෙන්න කන මිනිහෙක් බවට පත්වුණා. වෙලාවකට පුදුමත් හිතෙනව දැන් කන්නෙ ඒ කාලෙ කාපු ප්‍රමාණායෙන් කොච්චර පොඩ්ඩක්ද කියල හිතනකොට.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...