Monday, April 13, 2020

විල්පත්තුව ඇත්තම කතාව

(විල්පත්තුව අසළ ජනාවාස ඇතිකිරීම ගැසට් කළ මහින්දටවත් සම්බන්ධීකරණය කළ රිෂාඩ් බදුර්දීන්ටවත් එයට බාධා නොකළ යහපාලන ආණ්ඩුවටත් ජනාවාස අතහැර ඉතිරි කොටස විල්පත්තුව ලෙස ගැසට් කිරීමට සැරසෙන ගොඨාභය ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවටත් බැණීමට පෙර මොහොතක් වැයකර මෙය කියවන්න)

ප්‍රශ්නය කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය වන්නේ ප්‍රශ්නය අල්ලන තැන අනුවය. ඇතැම් අය මේ ප්‍රශ්නය අල්ලා ගන්නේ සම්පූර්ණයෙන්ම ජාතිවාදී ස්පර්ශයකිනි. විශේෂයෙන්ම රිෂාඩ් බදුර්දීන් සමග ඇති එදිරිවාදීකම මත ඔහුට හොද පාඩමක් ඉගැන්වීමට විල්පත්තු ප්‍රශ්නය අවස්ථාවක්ය යන විශ්වාසයෙනි. එවැනි අයට මෙය ඩෝසර් කර දැමිය යුතු තම්බි ජනාවාසයක් සහ මුහුදු මහා විහාරයට පළිගැනීමට අවස්ථාවක් පමණි. එවැනි අයට සත්‍යය වැදගත් නැත. කපා ඇත්තේ රක්ෂිතයක් වුවද නැතද ගස් කැපීමට විරුද්ධ වීම නිසා මෙම සටනේ සිටින අය වෙති. එවැනි අයටද සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න එතරම් වැදගත් නැත. නමුත් "රක්ෂිතයකට අයත් කොටසක් කපා එළි පෙහෙළි කර ජනාවාස තනන ලද්දේ නම් එය වැරදිය. නමුත් එසේ නොවන කොටසක ජනාවාස තැනීමේ වරදක් නැත. මෙහිදී ජනාවාස තනා ඇත්තේ රක්ෂිතයකට අයත් කොටසක බව මම සිතන නිසා එයට විරුද්ධ වෙමි" යන ස්ථාවරයේ සිටින අයද සැළකියයුතු පිරිසක් සිටිති. මෙම සටහන සත්‍ය දැනගැනීමට රිසි ඒ පිරිස වෙනුවෙනි.

මේ මොහොතේ ෆේස්බුක්හි වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාව වන්නේ විල්පත්තුවයි. එයට හේතුව විල්පත්තු අභය භූමියෙන් කොටසක් පසුගිය යහපාලන රජයේ ආශිර්වාදය පිට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ වුවමනාව මත හෙළිපෙහෙළි කර එහි ඇති වටිනා ගස් කපා විකුණා එම භූමියේ මුස්ලිම් ජනාවාසයක් අළුතින් ඇතිකරන ලද්දේය යනුවෙන් එල්ලවූ චෝදනාව ජනාධිපතිවරණ වේදිකාවේ උණු කැවුම් මෙන් අලෙවි වූ මාතෘකාවක් වීමය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු එම අලුත් ජනාවාසය ඩෝසර් කොට, එහි පදිංචි මුස්ලිම් ජනයාට තලා පන්නා, කැපූ ගස් නැවත ඔහුම සිටුවීමට සිදුවන තැනට රිෂාඩ් බදුර්දීන් පත්කොට, එම අපරාධයට ඔහුට ජම්පර්ද අන්දවන බවට අතිශය සවිස්තරාත්මක පලිගැනීමේ සැළසුම් ඉදිරිපත් කළ අයද ෆේස්බුක්හි කොතෙකුත් දක්නට ලැබුණි.

එසේ විල්පත්තු දේශපාලන ආයුධයක් කරගත් අයගෙන් බොහෝ දෙනෙක් 2019 නොවැම්බර් 17 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගැනීමත් සමග නැවත ඒ මාතෘකාව පිළිබදව කතා කළේ නැත. ඔවුන්ට එයින් ඉටුකරගැනීමට අවශ්‍ය වූ අරමුණ ඉටුවී තිබූ බැවින් තවදුරටත් එය කර තබාගෙන යාමේ අවශ්‍යතාවයක් නොවුණි.

නමුත් විවිධ හේතු මත සැබැවින්ම එය තමන්ගේ සටනක් කොටගත් පිරිස් දැඩි අපේක්ෂා භංගත්වයට සහ අපහසුතාවයට පත්කරන පුවතක් 2019 නොවැම්බර් 25 වැනි දින වාර්තා විය. එනම් විල්පත්තුව අවට අනවසරයෙන් පුද්ගලයන් පදිචිව සිටින ප්‍රදේශ අතහැර ඉතිරි කොටස විල්පත්තු රක්ෂිතය වශයෙන් ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත්කිරීමට අදහස් කරන බව විල්පත්තුව සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ ගොණු කරන ලද රිට් පෙත්සම මෝසමක් මගින් කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණයට සැළකිරීමත් සමගය.

එය අද වෙබ් අඩවිය (www.ada.lk) වාර්තා කර තිබුණේ පහත පරිදිය:-

උපුටාගැනීම......
"මෙම රිට් පෙත්සම මෝසමක් මඟින් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය අමතමින් විල්පත්තු රක්ෂිතයේ මායිම් ප‍්‍රකාශයට පත් කරමින් 2012 ඔක්තෝබර් 10 වැනි දින නිකුත් කල අංක 1779/15 දරන ගැසට් නිවේදනය ඉවත් කර අවතැන් වූ පුද්ගලයින් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් සහිත ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත් කරන බව අධිකරණයට දැනුම් දුන්නේය"
........උපුටාගැනීම අවසන්

නීතිපතිවරයා යනු රජය පාර්ශවයක් වන නඩුවක රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වේ. ඒ අනුව මෙවැනි නඩුවකදී නීතිපතිවරයාගේ ප්‍රකාශයක් යනු අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය නිල වශයෙන් අධිකරණයට දැනුම් දීමකි. ඒ අනුව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ මනෝහර ජයසිංහ මහතා ඉකුත් 25 වැනිදා අධිකරණයේදී ප්‍රකාශ කරන ලද්දේ විල්පත්තු අර්බුදය සම්බන්ධයෙන් රජයේ නිල ස්ථාවරයයි. කෙසේ වෙතත් එය නඩු තීන්දුවක් නොවන බවත් තීන්දුව ලබාදීමේ බලය ඇත්තේ නීතිපතිවරයාට නොව අධිකරණයට බවත් මෙහිදී අවධාරණය කළ යුතුය.
කෙසේ වෙතත් ඉහත ප්‍රවෘත්තිය පැතිර යාමත් සමගම ප්‍රධාන වශයෙන් සමාජ ජාලා මුල් කරගනිමින් ඇතිවූ මහත් කළබැගෑනියට ප්‍රතිචාර දක්වමින් ඉහත කී රිට් පෙත්සමේ පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සිය ෆේස්බුක් ගිණුමේ පහත පරිදි සටහනක් තබා ඇත

"අද පත්තරේ විල්පත්තුව නිව්ස් එක වැරදියි.ගැසට් එකට අවසර ඉල්ලුවට අපි විරුද්ධ වුණා. උසාවිය තීරණයක් දුන්නේ නැහැ"

ඒ අනුව මෙහිදී කිසිදු පාර්ශවයකට පරාජිත මානසිකත්වයක් ඇතිකරගැනීමට හෝ උද්දාමයට පත්වීමට යමක් සිදුවී නොමැති බව ඉතාම පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් මේ මොහොත වනවිට රජයේ නිල ස්ථාවරය ලෙස පවතින්නේ ජනාවාස පවත්නා කොටස් අතහැර ඉතිරි කොටස් විල්පත්තු රක්ෂිතය වශයෙන් ගැසට් කළයුතුය යන්න බවද අපැහැදිලි නැත. නමුත් එම ස්ථාවරය බොහෝවිට ඉදිරි දින කිහිපය තුල වෙනස් වීමටද ඉඩක් නැත්තේ නොවේ. ඒ සදහා අවශ්‍ය වන්නේ එය රජයේ අවසන් ස්ථාවරය නොවන බවත් විල්පත්තු ප්‍රශ්නය නැවත සමාලෝචනය කිරීමට රජය සූදානම් බවත් ඒ සදහා කමිටුවක් පත්කරන බවටත් වන මාධ්‍ය නිවේදනයක් පමණි. එය බොහෝවිට ඉදිරි පැය 48 තුල සිදුවනු ඇත.

කෙසේ වෙතත් මේ කිසිදු ප්‍රවෘත්තියකින් හෝ වාර්තාවකින් විල්පත්තුවේ සත්‍ය කතාව එනම් විල්පත්තුවේ ඇත්තටම සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබදව මහජනතාවට හරිහැටි අවබෝධයක් ලැබුණේ නැත. පසුගිය ජනාධිපතිවරණ කාල වකවානුවේදී එය සියලුම පක්ෂ තම තමන්ට වාසි සහගත ලෙස අර්ථ නිරූපණය කරගැනීමට උත්සාහ දැරුවා විනා එහි සත්‍ය තත්වය තම පාක්ෂිකයන්ට අවබෝධ කරවීමට උත්සාහ දැරුවේ නැත. එබැවින් පවත්නා ශෝචනීය තත්වය නම් තමන් විල්පත්තුව වෙනුවෙන් හඩ නගන්නේ යැයි සිතා හඩනැගූ අයගෙන්ද 90%ක පමණ ප්‍රතිශතයක් ප්‍රශ්නය කුමක්ද යන්න හරිහැටි නොදන්නා බවයි.

මේ සම්බන්ධයෙන් 2017 ජනවාරි 17 දිනැතිව https://sinhala.news.lk වෙබ් අඩවිය විල්පත්තුවේ සත්‍ය සොයා ගිය ගමනක් යන මෘතෘකාව යටතේ මෙසේ වාර්තා කරයි:-

උපුටාගැනීම..........
"1943 දී එවකට සිටි පාලකයෝ හෙක්ටයාර් හතලිස් තුන් දහසක භූමියක් විල්පත්තු රක්ෂිතය ලෙස නම් කරන්නට යෙදින. ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන විට විල්පත්තුව අවට අනවසර පදිංචිකරුවන් විශාල පිරිසක් පදිංචිව සිට ඇත.

1990 දශකයේ මුල් භාගයේ මේ ගම්මානවල සිටි වැසියන්ට කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් නොයෙක් හිරිහැර සිදුවී ඇත. මෙහි සිටි මුස්ලිම් ජනතාව මෙයින් දැඩි ලෙස අසරණ වී ඇත. සිංහල ජනතාව සමඟ සහජීවනයෙන් සිටි මුස්ලිම් වැසියන් කෙරෙහි කොටි ත‍්‍රස්තවාදීන් බැලූවේ සැකමුසු අයුරිනි. කොටි ත‍්‍රස්තවාදීන් සිතා සිටියේ මේ මුස්ලිම් ජනතාව රජයේ හමුදාවන්ට ඔත්තු සපයන්නන් ලෙසයි. කොටි ත‍්‍රස්තවාදීන් විසින් ඒ ප‍්‍රදේශවල සිටි ජනතාව පන්නා දමන්නට විය. පැය විසි හතරක් ඇතුළත ප‍්‍රදේශයෙන් පිටවන්නැයි කොටි ත‍්‍රස්තවාදීන්ගේ අණ හමුවේ අන්ත අසරණ වූ ඔවුන් තම උපන් බිම් අතහැර දරු මල්ලන් සමඟ පුත්තලමට හා දිවයිනේ දකුණු දෙසට, බෝට්ටු මගින් පැමිණෙන්නට වූහ. ඇතැමෙක් දරු මල්ලන් කරපින්නාගෙන ගොඩබම් මාර්ග ඔස්සේ ආරක්ෂිත ප‍්‍රදේශවලට ආවේ තම ඇදිවත සහ රුපියල් පන්සියයකට අඩු මුදලක් ද සමගිනි. පරම්පරා ගණනාවක් ගොඩනැගු සියලු දේපළ වස්තුව අතහැර දැමුවේ ජීවිතයට ඇති ආසාව නිසාමය. ඉන්පසු ඔවුන්ගේ ලෝකය, අනාථ කඳවුරේ කූඩාරමේ කණු හතරට සීමා විය.

2009 වර්ෂයේ යුද්ධය අවසන් වීමෙන් පසු අනාථ කඳවුරුවල සිටි ජනතාව සිය ගම්බිම් සොයා යළිත් ගියද, ඔවුන්ට දක්නට ලැබෙන්නේ අතහැර ආ නිවෙස් නොව මහා ඝණ වනාන්තරයකින් වැසුනු තම ගම්බිම්ය. එදා තිබූ ගුරු පාරවල් දක්නට තිබුණේ නැත.

චන්ද්‍රිකා තාක්ෂණය මගින් එම ප‍්‍රදේශ ඡායාරූප ගත කර ඒ අනුව හොඳින් වැඩුණු වනාන්තර සිතියම් ගත කර පෙර පැවැති රක්ෂිතවල සිතියම් ද යොදා ගනිමින් අනුමාන වශයෙන් රක්ෂිත නම් කිරීමට මෙහිදී කටයුතු කර තිබිණි. මේවා ස්ථානීය පරීක්ෂාවලින් තොරව චන්ද්‍රිකා ඡායාරූප පමණක් පදනම් කර සිතියම් ගත කිරීම නිසා මහජනතාව සතු පෞද්ගලික ඉඩම් ද රක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් විණි. මෙම කි‍්‍රයාවලිය මගින් මූලිකව ආරක්ෂාව තහවුරු කළ ඉහත රක්ෂිත භූමි බිම් මැනුමක් මගින් භූමියේ මායිම තහවුරු කර මායිම් කණු ස්ථාපිත කර නව රක්ෂිතයක් ලෙස නැවත ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමේ අරමුණක් තිබූ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් 2014 සිට මේ වන තුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උතුරේ රක්ෂිත හඳුනාගනිමින් නිදහස් කළ යුතු ඉඩම් විශාල වශයෙන් නිදහස් කරමින් තිබේ.

මේ ජනතාව එදා කොටි ත‍්‍රස්තයින්ගෙන් මිදී අනාථ කඳවුරුවල දිවිගෙවද්දී රජය මගින් ජී.පී.එස් තාක්ෂණයෙන් ඉහත කී ප‍්‍රදේශ ද ඇතුළත් වන සේ 2012 මැයි 21 වැනිදා අතිවිශේෂ ගැසට්පත‍්‍රයක් සහ 2012 ඔක්තෝබර් 10 වැනිදා අතිවිශේෂ ගැසට් පත‍්‍රයකින් විල්පත්තුව ආසන්නයේ තිබූ 1990ට පෙර ජනතාව පදිංචිව සිටි ප‍්‍රදේශද රක්ෂිත ප‍්‍රදේශයන් ලෙස නම් කරන්නට කටයුතු කර ඇත.

විල්පත්තු ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටා ඇති මෙම මුස්ලිම් ජනතාවගේ පැරණි ගම්බිම් ඔවුන් විසින් නැවත පදිංචි වීමට එළිපෙහෙළි කිරීම දකුණේ ජනතාව වැරදි ලෙස අවබෝධ කරගෙන ඇත. මේ ඉඩම් ඔවුන්ට ලබා දී ඇත්තේ ද පදිංචි විය යුතු ස්ථාන තීරණය කර ඇත්තේ ද මන්නාරම දිසාපතිවරයා විසිනි. එසේනම් එය අනවසර පදිංචිවීමක් ලෙස අර්ථකථනය කරන්නේ කෙසේ ද යන්න ගැටලුවකි. අනාථ කඳවුරුවල සිට නැවත එම ප‍්‍රදේශවලට ගිය ජනතාව එළිකරන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නොව ඔවුන් එදා කොටි ත‍්‍රස්තවාදීන් විසින් එළවා දමන විට පදිංචිව සිටි කරඩිකුලි, පාලක්කුලි, මරිච්චිකට්ටි, කොන්ඩච්චි, කායික්කුලි, ආදී ප‍්‍රදේශයන්යන්ගේ ගම් බිම්වල තම නිවෙස්ය.

තම උපන් බිම් ගැසට් මගින් රක්ෂිත බවට පත්කරන තුරු මේ ගැන කිසිවක් නොදන්නා ගම්වැසියන් තම උපන් බිම්වලට ගොස් තම ඉඩම් එළිපෙහෙළි කර නිවෙස් තනා ගැනීමට කටයුතු කරමින් සිටින විට ඇතැම් මාධ්‍ය ආයතන විසින් විල්පත්තුව වනසමින් සිටින බවට අසත්‍ය පුවත් රටපුරා සහ ජාත්‍යන්තරව ප‍්‍රචාරය කරමින් සිටින බවත්, මේ නිසා තමන් කලෑ පාලූවන් ලෙස ඇතැමුන් හඳුන්වන බවත්, මේ ජනතාව සඳහන් කරන්නේ කණගාටුවෙනි. "
..........උපුටාගැනීම අවසන්

එය කතාවේ එක් පැතිකඩකි. විල්පත්තුව කපන්නේය යන කතාව කරළියට ඒමත් සමගම පේ පිළිබදව පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක්වුණි. ඒ සම්බන්ධයෙන් 2019 මාර්තු 25 වන දින වෙබ් අඩවිය මෙසේ වාර්තා කරයි:-

උපුටාගැනීම......
"මේ සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ විය.
එම විවාදයේදී අනාවරණය කෙරුණේ, 2012 වසරේදී එවක ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමෙන් මෙම ඉඩම් නිදහස් කරනු ලැබූ බවය.
එහිදී කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ප්‍රකාශ කළේ, ජනතාවට රජයෙන් හෙළිපෙහෙළි කළ ඉඩම් ලබා දුන්නා මිස ජනතාව කිසිදු ඉඩමක් හෙළිපෙහෙළි නොකළ බවය.
"ජනතාවට දුන්න ඉඩම් ප්‍රාදේශීය ලේකම් සුද්ද කරලා තමයි දුන්නේ. ජනතාව නෙවෙයි සුද්ද කළේ. ඒ වගේ සුද්ද කරල වැරදි කරල තියෙනවා නම් ඒ අයව හොයා ගන්න. මිනිස්සු කවුරුත් ඒ අයට දුන්නෙ අක්කර භාගය නම් ඒකෙන් පිට කවුරුත් ගියේ නැහැ. ඒක මට සහතිකයෙන් කියන්න පුළුවන්."
.........උපුටාගැනීම අවසන්

මේ පිළිබදව https://citizenpostlk.com වෙබ් අඩවිය 2019 මාර්තු 30 දින ඉතාමත් සවිස්තරාත්මකව Shalika Wimalasena ගේ වාර්තාවක් මෙසේ උපුටාගෙන ඇත:-

උපුටාගැනීම..........
"විල්පත්තු ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ පුත්තලම සහ අනුරාධපුරය දිස්ත්‍රික්ක දෙකේ ය. උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කය සමග ඊට සම්බන්ධතාවක් නැත.

මේ කියන විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් සීමාවේ කිසිදු ආකාරයක නැවත පදිංචි කිරීමක් සිදු කර නැත. විල්පත්තුව පාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්ලිකුලම් කාර්‍යාලය මෙන්ම නොච්චියාගම පිහිටි වනෝද්‍යාන භාරකාර කාර්‍යාලයද එය තහවුරු කරයි.
විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව මෝදරගංආරුවෙන් අවසන් වේ. මන්නාරම දිස්ත්‍රික්කය පටන්ගන්නේ එතැනින් ය. මරිච්චිකට්ටි ගම්මානය පටන් ගන්නේත් එතැනින් ය. කැලේ කපා ජනතාව පදිංචි කළ බව කියන ප්‍රධානම ගම්මානය මේ මරිච්චිකට්ටියයි. ඊට අමතරව විලත්තිකුලම්, වේප්පන්කුලම්, කරඩික්කුලි යන ප්‍රදේශ වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර විනාශ කරමින් නැවත පදිංචි කිරීම් සිදු කරන බවද ඇතැම් පිරිස් මාධ්‍ය මගින් රටට කියති.

2001 වසරේදී ගැසට් පත්‍රයක් මගින් රජයේ කැලෑ සියල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. ඉහතින් කී ගම්මාන පිහිටා ඇත්තේ එසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරුණු රජයේ කැලෑ තුළ ය.

1980 රාජ්‍ය ඉදිකිරීම් !

මෙම ප්‍රදේශ අතරින් මරිච්චිකට්ටි, කරඩික්කුලි ප්‍රදේශ වල පැරණි ගම්මාන පැවති බවට සාධක ඇත. 1980 ජූලි 21 දින ජාතික ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද නිවාස 10 ක නටඹුන් සහ එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ ඵලකය ඊට එක් උදාහරණයකි.

මරිච්චිකට්ටි ගම්මානයේ ඇති කැලෑවට යට වූ පැරණි ඉස්ලාම් පල්ලියද එසේමය. වේප්පන්කුලම් ගම්මානයෙන් එවැනි සාධක කිසිවක් හමුවන්නේ නැත. 1990 සහ 91 කාලයේ ජනශුන්‍ය වූ ප්‍රදේශයක්, එයන් වසර 11 කට පසු කැලේට යටවීමෙන් පසු රජයේ කැලෑ බවට පත් වී තිබේ. ඒ අනුව ඒවා 2001 වසරෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරිණි. එහෙත් ඒ වන විට පැවති යුදමය තත්වය නිසා තමන්ගේ දෙපාර්තමේන්තුව යටතට පැවරුණද, කිසිදු අවස්ථාවක මේ කැලෑ නිරීක්ෂණය කිරීමක් හෝ ඒවාගේ සීමා ලකුණු කිරීමක් සිදු කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නැත.

වැඩිදුරටත් සාක්ෂි

එයිනුත් වසර 11 කට පසු, එනම් මේ ප්‍රදේශය ජනශුන්‍ය වීමෙන් වසර 22 කට පසු මෙම කැලෑ සහිත ප්‍රදේශය,2001 රජයේ කැලෑ පැවරීමේ තීරණය ප්‍රකාරව රක්ෂිත තුනක් ලෙස 2012 වසරේදී ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදීද විධිමත් සහ ක්‍රමානුකූල මැනුම් ක්‍රමවේද සිදු කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඉඩක් ලැබී නැත. GPS සිතියම්ගත කිරීමේ උපකරණ යොදාගනිමින්, ස්ථානීය නිරීක්ෂණ අවම ප්‍රමාණයක් පමණක් සිදු කරමින් කළ මායිම් ලකුණු කිරීමෙන් පසුව ය, මේ රක්ෂිත ප්‍රකාශයට පත්කර ඇත්තේ.

එහිදී විලත්තිකුලම් ප්‍රදේශයේ අක්කර 650 ක් සහ මරිච්චිකට්ටි, කරඩික්කුලි ප්‍රදේශ වල අක්කර 770 ක් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සදහා වෙන්කර ඇත. ඒ අනුව අදාළ ඉඩම් අක්කර 650 සහ 770 යන කොටස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් භාරයට පත්කර තිබේ. එනම්, එම කොටස් රක්ෂිත වලට අදාළ නැත. ඒවා වෙන්කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් බරපතළ ගැටළු තිබේ. විලත්තිකුලම් ඉඩම් වෙන්කිරීම පිළිබද විගණන වාර්තාවට අනුව මේ පිළිබද කිසිදු පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කර නැත. සමස්ත වනාන්තර පද්ධතියට මෙය බලපාන්නේ කෙසේද යන්න අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතුය.

විධිමත්ව කටයුතු නොකළ තැනක් !

මෙසේ අවතැන්වූවන් සදහා ඉඩම් වෙන්කෙරුණද, ඒවාගේ එක්වර ජනතාව පදිංචි වීමක් සිදු වී නැත. අනෙක් අතට මේ ඉඩම් වෙන්කිරීම් සිදු කර ඇත්තේද අවතැන් ජනතාව කොපමණක් සිටීද, ප්‍රධාන පවුල් සහ අනු පවුල් කොපමණ සිටීද යන කරුණු පිළිබද විධිමත් සමීක්ෂණයකින් තොරව ය. එම නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති කැලෑ ඉඩම් රැසක් අනවශ්‍ය ලෙස රක්ෂිත ගැසට් කිරීමේදී නිදහස් කර ඇත. මෙසේ නිදහස් කරන ලද ඇතැම් ඉඩම් ප්‍රදේශයේ දේශපාලකයන්ගේ සමීපතමයන් අතරේ බෙදාගෙන ද තිබේ.

කෙසේ වෙතත් තවදුරටත් අදාළ නිදහස් කරන ලද ඉඩම් කැලෑවට යටවෙමින් තිබී ඇත්තේ අවතැන්වූවන් නොපැමිණීම නිසා ය. වේප්පන්කුලම් ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව සතුව මීට අදාළව 2014 වසරේ ඔක්තෝබර් 13 වැනිදා ලබා දුන් ඉඩම් ඔප්පු තිබේ.

උතුරු පළාත් ඉඩම් පාලන දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මීට මැදිහත් වී ඇත. ඒවා හදුන්වා ඇත්තේ ඉඩම් හිමිකම තහවුරු කිරීමේ බලපත්‍ර හෙවත් දීමනා පත්‍ර ලෙස ය. එක් දිනක් ඇතුළත පමණක් මෙසේ ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව විසිදහසකි. එනම් පවුල් විසි දහසකට මේ ප්‍රදේශයේ යළිත් පදිංචි වීම සදහා රජය විසින් ඉඩම් අයිතිය තහවුරු කර දී ඇත.

කටාර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ ආධාර මත මේ අතරින් කොටසක් නිවාස ඉදිකරගෙන තිබේ. ඒවාට අවශ්‍ය ජල පහසුකම් සපයා දී ඇත්තේද එම ආධාරවලිනි.

මතභේද සහ පාර්ශ්වික විවේචන මැද්දේ කල්ගත විය. ඉන්පසු 2017 මාර්තු 24 වැනිදා ඉහත සදහන් රක්ෂිත තුන එක්කොට, මාවිල්ලු සංරක්ෂිතය ප්‍රකාශයට පත්කරන ලදි. ඊට හෙක්ටයාර් 32,505 ක් අයත් ය. ඒ අනුව සංරක්ෂිතය තුළට අවසරයකින් තොරව ඇතුළු වීම පවා අත්අඩංගුවට ගත හැකි වරදකි. මේ සංරක්ෂිතයට, පෙර අවතැන්වූවන් සදහා නිදහස් කරන ලද ඉඩම් අක්කර 650 සහ 770 අදාළ නොවේ.

මේ වන විට යළිත් අදාළ ඉඩම් බලපත්‍ර ලැබුණු ජනතාවගෙන් කොටසක් තම නිවාස ඉදිකිරීම ආරම්භ කර තිබේ. ඒ සදහා ආධාර ලැබෙන බවත්, රජයෙන් ණය ලැබෙන් බවත් එම ජනතාව පවසති.

ගුවන් නිරීක්ෂණ වාර්තා කියන කතාව

එහෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත සීමාවේ කිසිදු විනාශයක් සිදු කර නැත. කිසිවකු එම සීමාවේ නැවත පදිංචි වී නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද එම කරුණු තහවුරු කරයි. ගුවන් හමුදාව මගින් සතිපතා සිදුකරන මේ කලාපයේ ගුවන් නිරීක්ෂණ වාර්තා වලද අලුතින් කැලෑ එළිකිරීමක් ගැන සදහන් වන්නේ නැත.

සෑම පුරවැසියකුටම ඉඩමක් හිමිවිය යුතුය. එය අයිතියකි. එසේ තිබියදී රිෂාඩ් බ්දූර්දීන් ඇමතිවරයා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටසකින් හෙක්ටයාර් 75 ක් ඉල්ලා ඇත. ඒ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සදහා යැයි පවසමිනි. කොන්ඩච්චි ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් භූමියක් මෙසේ ඉල්ලා ඇත. මුහුදු ප්‍රදේශයට වන්නට පිහිටි මෙම භූමිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වුවද, එම ප්‍රදේශයේ මෙතෙක් විධිමත්ව සීමා ලකුණු කර නැත.

එසේම එම ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කර නොමැති නිසා සංවර්ධන කටයුතු සදහා යැයි පවසමින් එම භූමිය ලබාගැනීමේ බාධාවක් නීතිමය වශයෙන් නැත. එහෙත් මීට පෙර නිදහස් කරන ලද, ජනතාව පදිංචි නොවූ ඉඩම් අක්කර සිය ගණනක් තිබියදී, එම ඉඩම් වල අදාළ ව්‍යාපෘතිය සිදු කිරීමට දේශපාලකයන් එකග නොවීම ගැටළුවකි. 2019 පෙබරවාරි 18 වැනිදා මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකදී මේ ඉඩම් ලබාදීමට රජයේ නිලධාරීන් එකග වී ඇතත්, රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාගේ පාර්ශ්වය එය ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ අදාළ නිදහස් නොකරන ලද, වන සංරක්ෂණ ඉඩම් කොටසම තමන්ට අවශ්‍ය බවයි. කෙසේ වෙතත් මීට අදාළ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැත.

විල්පත්තුව පෙන්වා පත්තු කරන්න යන්නේ මොකක්ද ?

විල්පත්තුව පෙන්වමින් ඇත්ත යටගහන්නට හදන කතාවේ ඇතුළාන්තය සරලව මෙසේ පැහැදිලි කළ හැකිය. කුමන තත්වයක් යටතේ වුවද ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත විය යුතුය. ඊට විනාශ නොකරන ලද පරිසරයක ජීවත් වීමේ අයිතියද ඇතුළත් ය. සතා-සිවුපාවුන් සහ ගහකොළ මියැදුණු දිනයේ මිනිසාගේ පැවැත්මද අහෝසි වී යන්නේය. එම නිසා දේශපාලකයන්ගේ සටකපට උපක්‍රම වෙනුවෙන් පරිසරය වැනසීම මෙන්ම දේශපාලන වාසි තකා අසත්‍ය වැපිරීම යන අපරාධ දෙකටම එක සමානව එරෙහි විය යුතුය. මනුෂ්‍ය සංහිදියාව මෙන්ම පාරිසරික සංහිදියාවද රටේ පැවැත්මට අත්‍යවශ්‍ය ය.

මහනුවර, දිගනදී මේ දේශපාලන කොන්ත්‍රාත්කරුවෝ පසුගිය මාර්තුවේදී අපරාධ රැසක් කළහ. මේ මාර්තුවේ විල්පත්තු කතාව ගොඩනැගුවේද ඔවුන්මය. ඔවුන්ට අවශ්‍ය ගින්දර මතින් යන්නටය."
........උපුටාගැනීම අවසන්.

ඒ අනුව ඉතාමත් පැහැදිලි වන්නේ විල්පත්තුව සම්බන්ධයෙන් ඔය කියනා තරම් මහා විශාල කතාන්තරයක් නැතිබව පමණක් නොව එවැනි කතාන්තරයක් කිසි විටෙක නොතිබුණු බවය. ඇත්තේ ජනාවාස සදහා නිදහස් කරන ලද භුමිය උපයෝජනය කළ ආකාරය පිළිබදව පවත්නා යම් යම් අවිධිමත්භාවයන් පමණි. සරළව ගත් කල පවත්නා සැබෑ අර්බුදය "විල්පත්තුව කපනවෝ" යන තේමාව යටතේ දැක්වීම බරපතළ අතිශයෝක්තියක් බව නොකියාම බැරිය. එය එක්කෝ ජාතිවාදී හේතුවක් මත එසේත් නැත්නම් කොන්දේසි විරහිතව ගස් කැපීමට විරුද්ධ වීමේ හේතුව මත කෘතීමය ගොඩ නංවන ලද ප්‍රොපගැන්ඩාවකි. එය ඉතා හොදින් විල්පත්තුවේ කොටියාගේ මුවාගේ දියකඩිති වල ඡායාරූප යොදාගෙන දේශපාලන වේදිකාවේ පාවිච්චියට ගෙන දැන් හපයක් ලෙස පසෙකට විසිකර දමා ඇත. එයට හසුවූවන්ද සැළකියයුතු පිරිසක් සිටින බව ෆේස්බුක් හරහා පලවන විරෝධයෙන් පෙනෙන්නට තිබේ.

අවසාන වශයෙන් කීමට ඇත්තේ රැවටුණා නම් කණගාටුයි කියා පමණි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...