Tuesday, April 14, 2020

ශ්‍රී ලංකා තායේ

ජාතික ගීය, ශ්‍රී ලංකා ජාතික ගීය වන තාක් එය මෙරට හතර මායිම තුල සිංහලෙන්, දෙමලෙන් , උර්දු වලින් බැරිනම් පට්ට කුණුහරුපෙන් ගැයුවත් මට නම් එහි දොසක් නොපෙනේ. ඔවුන් තමන්ගේ බසින් වෙනත් කුමක් හෝ නොගයා, ආනන්ද සමරකෝන් විසින් රචිත ශ්‍රී ලංකා ජාතික ගීයේ දෙමළ අනුවාදය තමන්ට තේරෙන බාසාවෙන් ගැයීම, බෙදුම්වාදීන් යැයි හංවඩු ගසන ලද ඔවුන් තවදුරටත් බෙදුම්වාදීන්මද යන ප්‍රශ්නය අප හමුවට ගෙන එයි. එය එතරම්ම සාධනීය තත්වයකි.

එවැනි ඉදිරි පියවරක් තබන්නේ දෙමළ ජනතාව අතර සිටින අවබෝධාත්මක යම් කොටසක් පමණක් බව මෙහිදී ඉතාම ප්‍රවේශමෙන් වටහාගත යුතු වේ. සිංහලෙන් තබා දෙමළෙන් හෝ ශ්‍රී ලංකා ජාතික ගීය තමන් ගායනා නොකළ යුත්තේය යන ස්ථාවරයේ සිටින්නෝද දෙමළ ජනයා අතර වෙති. ඔවුන්ට අවශ්‍ය වෙනම රටකි. වෙනම ධජයකි. වෙනම ගීයකි. ඔවුන් " ශ්‍රී ලංකා මාතා" යන්න " ශ්‍රී ලංකා තායේ" වී දෙමළ බස කතාකරන ජනයාගේ හදවතට සමීප වනවාට කිසිදු කැමැත්තක් නැත. ඒ අනුව ජාතික ගීය දෙමළ ජනතාව දෙමළ බසින් ගයනවාට විරුද්ධ වීම යනු එක ධජයක් යට සිටගැනීමට කැමති දෙමළ බස කතා කරන ජනයාට එරෙහිව, එසේ එක ධජයක් ⁣යට සිටගැනීමට අකමැති බෙදුම්වාදී ජනයාගේ ස්ථාවරය ගැනීමක් නොවන්නේද?

සිංහලෙන් හෝ දෙමළෙන් ශ්‍රී ලංකා ජාතික ගී ගැයීමට තරම් රට ගැන හැඟීමක් ඇති දෙමළාට සහෝදරත්වයේ ආදරණීය දෑත දිගුකල යුතු නොවන්නේද?

"කියනවානම් සිංහලෙන් කියපන්. නැත්නම් තොපිත් අරුන් ගාවටම පලයන්" යැයි කීම ඇතැමුන්ට "ගැම්ම" යන සාධකයෙහිලා ගත් විට තෘප්තිදායක විය හැකි වුවද, කෙතරම් දුරට ඥානාන්විත ප්‍රකාශයක් වන්නේද?

එවැනි වියතක දුර "ගැම්ම" ඇති අය පාර තොටේදී ඕනෑ තරම් හමුවේ. එම ගැම්ම ඔවුන්ට කළ යහපතක් පෙනෙන්නට නැත. තත්වය එසේ තිබියදී රටක දිශානතිය සඳහා පදනම් කරගත යුත්තේ එවැනි වියතක දුර ගැම්මක්ද?

සැබැවින්ම ගත්කල ඕවා ප්‍රශ්නද? මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ස්වල්පය හෝ සපිරුණු සමාජයක, ඔවැනි මාතෘකා කළ එළියට එන්නේ වෙලාවක් තිබුණොත් පමණය. එවා එතරම්ම දෙවැනි ගණයේ මාතෘකා වේ. සැබෑ ලෙස රටට ආදරයක් ඇති පුද්ගලයෙකුට " ශ්‍රී ලංකා තායේ අල්ලාගෙන යකා නැටීම"ට වඩා සේවයක් රටක් ලෙස දෙපයින් සිටගත හැකි තත්වයට ආර්ථිකමය වශයෙන් රට ඔසවා තැබීමට දායක වීමෙන් රටට කළ හැකිය. එසේ යකා නටන්නෝ එසේ කරත්ද? නැත. ඔවුන්ගේද අරමුණ රට දිනවීම නොව අනෙකාට නැති වාසි වරප්‍රසාද භුක්ති විඳීම පමණකි. එය පහළම මට්ටමේ සිට බිරිඳට එරෙහිව, සහෝදරයාට එරෙහිව, අසල්වැසියාට එරෙහිව, අල්ලපු ගමට එරෙහිව, එහා පන්තියට එරෙහිව, අහවල් කුලයේ උන්ට එරෙහිව, අහවල් පාසැලේ උන්ට එරෙහිව වශයෙන් පරිණාමය වෙමින් පැමිණි අවසානයේ අහවල් ජාතියේ උන්ට අහවල් ආගමේ උන්ට එරෙහිව යන තැනට පත්වී තිබේ.

එකී එරෙහි/එදිරිවාදී මානසිකත්වය ශ්‍රී ලාංකීය සමාජය මුළුමනින්ම කාබාසිනියා කර තිබේ. එය සුවපත් කළ හැකි නම් යම් තරමක හෝ සාමූහික චින්තනයකට රට ගෙන යා හැකි වනු ඇත. නමුත් සුවපත් කරන්නේ කෙසේද? එසේ සුවපත් කරනු ඇතියි අපේක්ෂිත උන්ම එදිරිවාදිකම් වලට සෙත් පතද්දී?

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...