Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Saturday, April 11, 2020
තණ්ඩලේ
''තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා'' කියල තමන්ගෙ ජීවිතේට එක පාරක් හරි කියල නැති කෙනෙක් නැති තරම්. මොකද ඒ කරත්ත කවිය ඒ තරමට ප‍්‍රසිද්ධ හින්දා. ඒත් ඒ කවියේ පළවෙනි පදේ පළවෙනි වචනෙ තේරුම දැන හිටියද? පුරාණ කරත්ත වෘත්තියෙ එන එක්තරා පැරණි ක‍්‍රියා පිළිවෙලක විස්තරයක්ම ඔය අමුතු වචනෙ ඇතුලෙ ගැබ් වෙලා තියෙනව.
ඉස්සර ඉතිං ලංකාව පුරාම කරත්තෙ තමයි ගමනාගමනේ. විශේෂයෙන් කොපි කාලෙන් පස්සෙ (කෝපි වගාවෙන් ලංකාව සශ‍්‍රීක වුණ යුගය තමයි කෝපි කාලෙ කියන්නෙ. මගදිගට ජනකතා පොත ලියපු ඩී. පී. වික‍්‍රමසිංහයන්ට අනුව කෝපි කාලෙ ආරම්භ වෙන්නෙ 10 වන ශතවර්ෂයේ මැදභායේදි විතර. ඒ කියන්නෙ කෝපි යුගය අපි රජ කරන කාලෙත් තිබිල තියෙනව) කොළඹ සිට උඩරට පළාත් වලට අවශ්‍ය බඩු ගෙනියන්නත් උඩරට සිට කෝපි කොළඹට පටවාගෙන එන්නත් පාවිච්චි කරල තියෙන්නෙ බර කරත්ත. ඇයි ඊට අමතරව විශේෂයෙන්ම කොළඹ ඉදන් අනිත් පළාත් වලට අරක්කු පීප්ප ප‍්‍රවාහනය කරල තියෙන්නෙත් බර කරත්ත වල. මොහාන් රාජ් මඩවලගෙ ''ආදරණීය වික්ටෝරියා'' පොතේ ඒ කර්මාන්තය ගැන හොද විස්තරයක් අඩංගු වෙනව කරත්ත රස්සාව ගැනත් එක්කම.
කතාවටත් කියන්නෙ ''ජරමර පිට බර කරත්ත'' කියල. බරකරත්ත වල පටවාගෙන යන අධික බර ප‍්‍රමාණය හින්ද ඒවා ඇදගෙන යන්න තියෙන අපහසුව සහ ගමන් වේගය අවම වීම නිසා අපේ පැරණි ගැමියා ජීවිතයේ අපහසු අවස්ථා බර කරත්ත වලට උපමා කරල කිව්ව උපහැරණයක් තමයි ඒ.
අපි කුඩා කාලෙත් ඉතා කළාතුරකින් බර කරත්තයක් දෙකක් දකින්න ලැබුණු අවස්ථා නැතුව නෙමෙයි. දැනුත් කුරුණෑගල නගරයෙ ඉදල හිටල සුදුපාට ගොනෙක් බැදපු බරබාගයක් සැරිසරනව මං දැකල තියෙනව. ගොනුන් දෙන්නෙකු බැදපු පිරෙන්න බඩු පටවපු බර කරත්තෙ ලොරියකට දෙවනි නෑ. කරත්තෙ යට ගෝණි පඩංගුවක් එල්ලල තිබ්බ. ඒ කරත්තකාරයන්ගෙ අවශ්‍ය කළමනා දාගෙන යන්නත් කාටහරි කෙනෙකුට පොඩි හාන්සියක් දාගෙන යන්නත් පුලුවන් වෙන්න. මොකද කරත්තෙ පිරෙන්න බඩු පටවපුවම කරත්ත කාරයට ඉදගන්න තැනක් නැති වෙනව. සමහරු කරත්තෙ ගොනාගෙ කරට සම්බන්දවන බොස්ලීයෙ ඉදගෙන යන වෙලාවලුත් තියෙනව. ඒත් එතකොට ගොනාගෙ කරේ පැත්තකට විතරක් බර වැටෙන හින්ද ගොනා යන්නෙ අමාරුවෙන්. ඒ නිසා තමන්ගෙ ගොන්නුන්ට පණ වගේ ආදරේ කරත්ත කාරයො ලීය උඩ ඉදගන්නෙ කළාතුරකින්. ඊට වඩා කතාවෙන් කතාවෙන් පයින් යන එක හරි එක කරත්ත කාරයෙක් කරත්තෙ දක්කද්දි අනික් කරත්ත කාරය ගෝනි පඩංගුවෙ නින්දක් දාන එක හරි තමයි ලේසිම.
දැන් වගේ නෙමෙයි. පිරෙන්න බඩු පටවගෙන හැතැම්ම සිය ගාණක් යන එක කොහොමත් ලේසි වැඩක් නෙමෙයි. ගොනුන්ටත් හරි මහන්සි දැනෙනව ඉක්මනට. දැන් තියෙන කඩපොළවල් වගේ හැතැම්ම පහෙන් පහට වාගෙ කරත්ත වාඩි තිබුණෙ ඒකයි. ඒ කරත්ත වාඩියක කරත්තෙ නතර කරල ගොන්නු ලිහා දාල. උන්ටත් කන්න බොන්න යමක් දීල. තමනුත් මොනවහරි සප්පායම් වෙලා කරත්ත වාඩියෙ නොවැරදීම තියන රා කළේකිනුත් පොල් කට්ටක් දෙකක් බැදපු කරවල කෑල්ලක් එක්ක දාගෙන ඇදල පැදල කරත්ත කවියක් එහෙම කියල තමයි කරත්ත කාරයො ආයෙත් පිටත් වෙන්නෙ.
අහනකොට හෙන ආතල් වගේ හිතෙනව වුණාට හරිම දුෂ්කර භයානක රැකියාවක් තමයි කරත්ත රස්සාව. අතරමගදි ලෙඩක් දුකක් වුණොත් අත් බෙහෙතක් කරනව ඇරෙන්න විකල්පයක් නෑ. මොකද හොස්පිට්ල් ඇඩ්මිට් කරල යන්න කියලයැ. අතරමදි හම්බ වෙන කැලෑ ප‍්‍රදේශ වලදි වල් අලියෙක් කුළු මීමෙක් වල් ඌරෙක් මුණගැහුණොත් ඉතිං විනාසයි. ඒ විතරක්ද එළියට පහලියට යන්න කැලේට කොලේට රිංගපු වෙලාවක සර්පයෙක් එහෙම දෂ්ට කලොත් වැටෙන අමාරුව වචනයෙන් කියන්න බැරි තරම්. ඒ මදිවට හොර හතුරන්ගෙ කරදර. මංකොල්ල කෑම් හැමතැනම. ඒ කරදරයට පිලියමක් විදියට බර කරත්ත හැම වෙලාවෙම වගේ යන්නෙ රංචු පිටින්. හද පායපු රාත්තිරියෙ ලන්තෑරුම් පත්තු කරගත්තු පිරෙන්න බඩු පටවපු කරත්ත තිහක විතර පේලියක් හෙමින් හෙමින් කඩුගන්නාව කන්ද බහිනව පේනකොට මොන තරම් ලස්සනට තියෙන්න ඇද්ද.
මේ කරත්ත රංචු වලට නායකයෙක් හිටිය. මිනිහ ටිකක් අත්දැකීම් බහුල හොද හයිය හත්තිය තියෙන පොරක්. සමහර පැතිවල මේ නායකයට කිව්වෙ ''කරත්ත බාස්'' කියල. තවත් සමහර පැති වල ''රාළ'' කියලත් කියල තියෙනව. තමන් පිටත් වෙන්නෙ කොයි වෙලාවටද ගිමන් අරින්න නතර වෙන්නෙ කොතනද වගේ දේවල් තීරණය කරන්නෙ කරත්ත බාස්.
ඉස්සර සිංහල රජකාලෙ රජකම් කළේ පෙර සිරිතට කියනවනෙ. කරත්ත කාරයන් තමන්ගෙ රස්සාව කළෙත් පෙර සිරිතට. මේ පෙර සිරිතට අනුව සාමාන්‍යයෙන් දවල් දොළහෙ ඉදන් දෙක වෙනකලුත් රාත්තිරි නවයෙ ඉදන් පාන්දර තුන වෙනකලුත් ගිමන් අරින එක කරත්තකාරයන්ගෙ සිරිත. බලාගෙන යනකොට ඒක කොයි තරම් තර්කානුකූලද. ඉන්න හිටින්න බැරි වෙන්න ඉර මුදුන් වෙන ගිනියම් වෙලාවෙයි හිටගෙන හිටියත් නින්ද යන මහ රාත්තිරියෙයි විවේක ගන්න කරත්තකාරයො පුරුදු වෙලා හිටිය.
ඇත්තටම උඩරට ඉදන් කෝපි පටවාගෙන කොළඹට එන එකට වඩා අමාරු කොළඹ ඉදන් විවිධ කළමනා පටවාගෙන උඩරටට යන එක. ''හපුතලේ කන්ද දැකලා බඩ දනවා'' කිව්වෙ නිකම් කට තියෙනවට නෙවෙයිනෙ. ඉතිං ඔහොම කන්ද උඩට යනකොට බර අදින ගොන්නුන්ට බොහොම ඉක්මනට මාන්සි වෙනව. ගමන් වේගය බොහොම අඩු වෙනව. සමහර තැන් වල ගොන්නු දෙන්නට ඇදගන්න බැරි තරම් නැග්ම වැඩියි. ඉතින් ඒ වගේ තැන් වලදි කරත්තෙට අමතර ගොන්නු යොදන්න කරත්තකාරයො පුරුදු වෙලා හිටිය. මේ විදියට කරත්තෙ බැදල ඉන්න ගොන් බානට ඉස්සරහින් අමතර ගොන්නු දෙන්නෙක් යොදලා කරත්තෙ අදින එකට තමයි තණ්ඩලේ යනවා කිව්වෙ.
ඒකනෙ කියන්නෙ ''තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා'' කියල. ඒ කියන්නෙ ඉස්සරහ ගොන් බාන වෙනමත් දෙවනියට ඉන්න කරත්තෙ ස්ථිර ගොන් බාන වෙනමත් දෙපොලක ඉදන් දක්කන්න වෙනවයි කියන එක.
මෙහෙම ගොන් බාන් දෙකක් දාල ඇදලත් කරත්තෙ ඇදගන්න බැරුව කරත්ත කාරයොත් බැහැල වියගහට කර තියල තල්ලු කරන වෙලාවල් නැතුව නෙවෙයි. ඇත්තටම හැබෑ දුෂ්කර ජීවිතයක්. ඒත් පුදුමාකාර විදියට සරළ ජීවිතයක් කරත්ත කාරයො ගෙවල තියෙන්නෙ. හිතල බලද්දි ඒ ජීවිතේට දවසකට දෙකකට යන්න ඇත්නම් කියලත් හිතෙනව.
මම ඇත්තටම හෙව්වෙ ගොන් බාන් දෙකක් දාල අදින තණ්ඩලේ රූපයක්. ඒත් හම්බුන එකේ (1 වන රූපය) තණ්ඩලේ බැදලා තියෙන්නෙ අමතර එක ගොනයි. එහෙම කරපු වෙලාවලුත් තිබුණ. බර දෙන්නෙකුට අදින්න අමාරු නමුත් තුන් දෙනෙකුට අදින්න පුලුවන් වෙලාවල එක අමතර ගොනෙක් ඇති වෙන්න ඇති. අනික පේන විදියට මේ පින්තූරෙ තියෙන්න බර කරත්තයක් නෙවෙයි. බරබාගයක්. දෙවන තුන්වන සහ හතරවන රූපවල බර කරත්තවල නියම ස්වභාවය තියෙනව.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment