Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Saturday, April 11, 2020
ඉඹුල්
කිරිබත් වලට පැණිපොල් මැද්දට දාල හදන රස කෑමක්නෙ ඔය ඉඹුල් කියන්නෙ. කිරිබත් වල කිරි රසයයි පැණිපොල් වල තෙල් ගතියත් එක්ක එන පැණිරසයයි එකතු වුණාම මැවෙන්නෙ අමුතුම මිහිරි රසයක් ඔන්න. දිවියලෝකෙ රස පරාදයි කිව්වත් වරදක් නෑ ඒ රසට.
මටනම් ඉඹුල් රස යන්තමට රස්නෙත් එක්ක කනකොට. ඉඹුල් හදනවට ඔය උඩරට පැතිවල කියන්නෙ ඉඹුල් අඹනව කියලනෙ. ඒකෙත් ඇති වරදක් නෑ ඉස්සර කොළවැඩ තියෙන කාලෙට කිරිඅම්මල පිළිමයක් අඹනවට වැඩිය සුරූවමටනෙ මුත්තෙට්ටුවට ඉඹුල් අඹන්නෙ.
ඉස්සරනං ඉඹුල් අඹන්න ගත්තෙ හවුඩැල්ලයක්. ඔය හවුඩැල්ලෙ කියන්නෙ පුවක් ගහේ මල වැහෙන්න තියෙන කොපුවටනෙ. දැන්නං ඉතිං හවුඩැල්ලෙන් ඉඹුල් අඹනව අඩුයි. ඔය ගොඩක් අය ඉටි කොලයක්නෙ දැන් හවුඩැල්ලෙ වෙනුවට ගන්නෙ.
ළගකදි ඉදං කුරුණෑගල උසාවියෙ කැන්ටිමේ ඉඹුල් තියෙනව. අනං මනං කඩචෝරැ කන්නෑ කියල කොච්චර හිතං හිටියත් ඉඹුල් දැක්කම ඇගේ නෙමේ බඩේ මාලු නටනව ඉඹුල් ඉල්ලල. මාත් ඉතිං ආවොත් ආව ගියොත් ගියා කියල ඇරල දානව හතරපහක්.
ඒක දකින මගෙ සමහර උගත් මිත්‍රයො "මෙන්න මූ නං ඉඹුල් කන්නම උපං එකෙක්" කියල විහිළු කරනව. මං ඒ විහිළුවට හිනා වෙලා අනිත් පැත්ත හැරිල තව දෙකක් විතර කනව.
ඔහොම ඉන්නකොට මට ඉඹුල් ගැන පරණ කතාවක් මතක් වෙනව. ඒ කතාවෙ කතා නායකය අපේ පොඩිඅත්ත. ඒ කියන්නෙ අප්පච්චිගෙ බාප්ප. එයා විවාහ වෙලා නෑ. ඉන්නෙ අපේ ගෙදර. උන්දැට දැන් අනූවකට කිට්ටු ඇති මයෙ හිතේ. ඒත් දෙයියන්ගෙ පිහිටයි තාම කණ්නාඩියක් දාන්නෙ නැතුව පොතක් පතක් එහෙම කියවගෙන ඔය ඉන්නෙ අගේට.
උන්දැගෙ නාඹර වයසෙ ආය ඉතිං මොනව කියනවද? අලියෙකුට වගේ වැඩ කරන්න හැකි, කගවේනෙකුට වගේ දුවන්ඩ පනින්ඩ හැකි, ආයෙ ඇස්වහක් කටවහක් නෑ යකෙකුට වගේ කන්ඩත් හැකි.
ඒකාලෙ පොඩි අත්තට ගමේ කිව්වෙ පොඩි බණ්ඩා කියල. ආය පොඩි බණ්ඩ කිව්වට වැඩනං පොඩි නෑ ඔන්න. කොළ වැඩකට එහෙම ගියොත් ඉතිං තුන්හතර දෙනෙකුගෙ වැඩට පිරිමහිනව. ඒ හින්ද ගමේ හීයකට කොළවැඩකට කම්බපොලේ පොඩිබණ්ඩ ගෙන්නගන්න ගම්මු කවුරුත් කැමති.
ඔන්න පොඩි බණ්ඩා එහෙම නැත්නං අපේ පොඩි අත්ත දවසක් ගොයං කැපිල්ලකට ගියා. ගිහිං ගොයං එහෙම කපල අහක වෙන්න කිට්ටු වෙනකොට කුඹුර අයිති උන්දැ පොඩිඅත්තට කතා කොරල මෙහෙම කිව්ව.
"ඒ පොඩි බණ්ඩො. විගහින් අපේ ගෙදෙට්ට ගොගිං බලාපං මොකද මුත්තෙට්ටුව පරක්කු කියල, උඹත් මුකුත් සප්පායම් වෙලා තේවතුර ඩිංගකුත් බීලම වරෙං"
පොඩි අත්තත් ඉතිං මුත්තෙට්ටුවෙ පරක්කුව බලන්ඩ ගෙදර ගියා. යනකොට ඒ ගෙදර කිරිඅම්ම ඉඹුල් අඹනව. සුවදේ බෑ.
"ආ පොඩි බණ්ඩො උඹ මුත්තෙට්ටුව පරක්කුද බලන්ඩද ආවෙ. මේ ඉඹුල් ටිකක් අඹනව බාං. උඹටත් බඩගිනි අැතිනෙ. ඔන්න ඔහෙං ඉදගෙන ටිකක් කාපං"
ආය "කාපං" කියලද කිව්වෙ. ඉබ්බ දියේ දානකොට ඇන්නෑවෙ කිව්වලු. පොඩි අත්තත් ඉදගෙන කන්න පටන්ගත්ත. උදේ ඉදන් හිස්බඩ මහන්සි වෙලා ආමාශය රබර් වෙලා තියෙන වෙලාව. ටික වෙලාවක් යනකොට අඹල තිබුණ ඉඹුල් ඉවරයි. කිරිඅම්මටත් ගානක් නැතුව වට්ටිය දිහා නොබල අඹන අඹන ඉඹුලෙ වට්ටියට දානව. පොඩි අත්තත් වට්ටියට දාන දාන ඉඹුලෙ අරං කනව. ටික වෙලාවක් යනකොට හරියන්නෑ වගේ. පොඩි බණ්ඩා මැෂිම වගේ දිගටම කනව.
"පොඩි බණ්ඩො දැං ඇති නේද?" කිරි අම්ම කිව්වෙ වට්ටිය දිහා නොබලම.
"හ්ම්මි" කියන ගමං පොඩි අත්ත නැගිට්ට.
"උඹ කමතට යමං පුතේ. මම තව ඩිංගකින් මේ ටිකත් අරං එන්නං." කිරිඅම්ම කිව්ව.
පොඩි අත්තත් කතා නැතුව කමතට ගියා. ටිකකින් වට්ටිය දිහා බලපුවම තමයි කිරිඅම්මට ඉහමොළ රත්වුණේ. වට්ටියෙ තියෙන්නෙ ඉඹුල් හයක් විතර. අනිත් ඔක්කොටම පොඩිබණ්ඩා වගකියල.
එනව කියපු වෙලාවට පැය දෙකකට විතර පස්සෙ කිරිඅම්ම මුත්තෙට්ටුුව අරං කමතට ආව.
"ඈ බොලං ඉලුකේ ගෑණියෙ. උඹ හෙට උදේටම ඔය ටික අරං ආවනං නරකද? දැං බලාපිය කරැවලත් වැටීගෙන ඇවිත්" කොළවැඩේ අයිති අත්තා කිව්වෙ යකා නැගල. කිරිඅම්ම සද්ද නෑ.
කිරි අත්ත පැලේ ඉදගෙන බටපොතු පෙට්ටිය දිගෑරිය.
"මේ මොනවද යකෝ මේ. අග්ගලා කෑහැද්ද දැං?. කෝ ඉඹුල්?" කිරිඅත්ත ආයෙත් කිරිඅම්මට කඩාපැන්න.
"ඒකනෙ දරුවන්ගෙ අප්පච්චියෙ වැඩේ. පොඩිබණ්ඩ ඇවිත් මං අඹන අඹන ඉඹුලෙ කෑවෙ නැතැයි ඉවර වෙනකං. මං අඹනව ඌ කනව. මං අඹනව ඌ කනව. අන්තිමට ඉඹුල් පහයි කියපල්ලකො වට්ටියෙ ඉතුරු. ඉතිං මං මේ කොනක ඉදන් හාල් බැදල කොටල අග්ගල ඩිංගිත්තක් හදං ආවෙ"
ඒක අහපු කිරිඅත්තට මහන්සියයි තරහයි පැත්තක තියෙද්දි හිනා.
ඊට පස්සෙ තමයි අපේ ගමේ කොළදිං වලදි කියන ගමකතා ගොඩට "පොඩිබණ්ඩ ඉඹුල් කෑව වගේ" කියලත් කතාවක් එකතු වුණේ ඔන්න.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment