Sunday, April 12, 2020

කඩ්ඩ

(2016 ජනවාරි 24 වැනි දින ලියන ලද පොස්ටුවකි)

සමහර කාල වල අපි මහ මෝඩ සටන් වල යෙදෙනවා. එහෙම යෙදුණ එක සටනක් තමයි ''අපිට උපාධිය දිගටම සිංහලෙන් කරන්න දීපියව්'' කියන සටන.

වෛද්‍ය පීඨ වල ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම අනිවාර්යයි. හේතුව වෛද්‍ය විද්‍යාව ගැන ලියවුණු පොත්පත් සියයට අනූ නවයයි දශම නවයක්ම තියෙන්නෙ ඉංග‍්‍රීසියෙන් වීම. නීතිය සම්බන්දයෙන් වුණත් වැඩි වෙනසක් නෑ. නමුත් අපි දණගහගෙන ඉල්ලනවා අපිට සිංහලෙන් ඉගෙන ගන්න දීපල්ලා කියලා. එහෙම කරලා උපාධිය අරන් ප‍්‍රැක්ටිස් එකට බැස්සම අලුත් නඩු වාර්තාවක් කියවගන්නවත් වැඩි දෙනෙක් දන්නෙ නෑ. අනිත් පැත්තෙ නීතිඥයා ඉංග‍්‍රීසියෙන් මුකුත් කිව්වොත් උඩබිම බලනවා. ඒක ඉල්ලගෙන කාපු කට්ටක්.

මට පළමු වසරේ අත්දැකීමක් මතක් වෙනවා. අපි නීති පීඨයට ගිය අලුත හිටපු පීඨාධිපතිතුමා දමිළ ජාතිකයෙක්. එතුමා ශිෂ්‍යයන් එක්ක කතා කළේ ඉංග‍්‍රීසියෙන්. නමුත් අපේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් වැඩිදෙනෙක් අපට කිව්වෙ ඔය හිටියට ඩීන්ට හොදට සිංහල පුළුවන් ඒ නිසා සිංහලෙන්ම කතා කරපල්ල කියල.

ඔහොම ඉන්නකොට අපි දවසක් ඩීන් හම්බවෙන්න ගියා. සුපුරුදු විදියට එතුමා කතා කළේ ඉංග‍්‍රීසියෙන්. අපේ කවුරුවත් සද්ද නෑ. මම එතුමාට ඉංග‍්‍රීසියෙන් උත්තර දුන්නා. අපි විනාඩි 5ක් පමණ කතා කරලා අදාළ ගැටළුව නිරාකරණය කරගෙන එළියට ආවා. අපේ ජ්‍යෙෂ්ඨ සහෝදරයින්ට ප‍්‍රශ්නයක් වුණේ මම ඉංග‍්‍රීසියෙන් කතා කිරීම. ඇයි උඹ පොර වෙන්න හදනවද වගේ ඇණුම් බැණුම් රාශියක් විනාඩි 30ක් පමණ තිස්සේ අහන්න මට සිද්ධ වුණා.
විශාල කළකිරීමකින් මම ඉන්නකොට තමයි චතුර අයියා මගෙන් මොකද මල්ලි අවුලෙන් කියල ඇහුවෙ. මම විස්තරේ කිවුව. කියල මෙහෙමත් කිව්ව.

''අයියෙ මිනිහෙක් මට ඉංග‍්‍රීසියෙන් කතා කළාම මම ඌට උත්තර දෙන්නෙ සිංහලෙන් නම් ඌ කීයටවත් හිතන්නෙ නෑ මූ මේ භාෂාව ගැන ආඩම්බරෙන් සිංහලෙන් කතා කලේ කියල. ඌ දැනගන්නවා මම ඉංග‍්‍රීසි දන්නෙ නෑ කියල. මං කැමති නෑ එහෙම කවුරුවත් ළග පාච්චල් වෙන්න. මගෙන් යමක් සිංහලෙන් ඇහුවොත්මම සිංහලෙන් උත්තර දෙනවා. ඉංග‍්‍රීසියෙන් ඇහුවොත් ඔය මොන ලොක්ක එපා කිව්වත් මම උත්තර දෙන්නෙ ඉංග‍්‍රීසියෙන්'' කියල බොහොම ආවේගයෙන් කිව්ව.

''අල්ලල දාපං බන්. උඹෙන් ඉංග‍්‍රීසියෙන් මොනව හරි ඇහුවොත් ඉංග‍්‍රීසියෙන්ම කියපන්. කාටවත් බයවෙන්න එපා'' කියල එදා මගෙ හිත හැදුවෙ චතුර අයිය. චතුර අයිය මගෙන් මොකක්ද මල්ලි අවුලකියල අහල මගෙ හිත හදල තියෙන එකම වතාව ඒක නෙවෙයි. ඒ හැම වතාවක්ම බොහොම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනව.

මම කියන්න හැදුවෙ අපිටත් 1st year ඉදන්ම ඉංග‍්‍රීසියෙන් ඉගෙන ගැනීම අනිවාර්ය කරල තිබ්බනම් අපේ කවුරු කවුරුත් අද කාටවත් 2nd නොවී ඉන්නව. බැරි එකා කොහොමහරි දණිපනි ගාලා ඉගෙන ගන්නව. සමස්ථ ලෝකයේ නීති දැනුම ගබඩාවට අපේ උනුත් එහෙනම් විවෘත වෙනව. දැන් ඉතින් අභිමානයෙන් යුතුව සිංහලෙන් ඉගෙනගෙන එතනින් එහාට මෙළෝ මළ දානයක් දන්නෙ නැතුව ඒ ටික තමයි LAW කියල හිතාගෙන ළිදේ ඉන්න ගෙම්බො වගේ ''වැරදිකරු ස්වාමීනී'' කියාගෙන පාඩුවෙ ඉන්නව.

අපේ එහෙම හිතල ගොඩ ගියපු උන්ගෙන් එකෙක් තමයි අශාන්. ඌ එනකොට ඉංග‍්‍රීසි පුළුවන් බොහොම ටිකයි. කතා කරන්නම බෑ. ඒත් ඌ ආපු දවසෙ ඉදන් ගොත ගහ ගහ හරි චාමරයයි මායි එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කරන්න ගත්ත. දවස් 3 යනකොට උගෙ ලොකු වෙනසක් ඇතිවුණා. 1st year එක ඉවර වෙලා ඌ English medium එකට ගියා. අද අශාන් ඉංග‍්‍රීසි භාෂාවෙ ප‍්‍රවීණයෙක් විතරක් නෙවෙයි. තමන්ගෙ ඉංග‍්‍රීසි දැනුම යොදාගෙන නීති ක්ෂේත‍්‍රයේ අලුත් ප‍්‍රවණතා ගැන නිරන්තර අවධියෙන් ඉන්න කෙනෙක්.

අනිත් එකා හසී. ඌත් අශාන්ගෙ ඉස්කෝලෙ. ඒත් ඌට අශාන්ට වඩා ඉංග‍්‍රීසි දැනුමක් තිබ්බ. ඌ ඉංග‍්‍රීසි මාධ්‍යය තෝරා නොගත්තෙ මම දන්න විදියට කොල්ලොත් එක්ක ටිකක් අල වෙන්න වළ බහින්න වෙලාවක් නැති වෙන හින්ද. ඌත් 3rd year එකේ English medium එකට ගියා. මම ජීවිතේට දැකල තියෙන මාරම ගේමක් දීල exam ගොඩ දාගත්ත. අද හසියා සීයට සීයක්ම ඉංග‍්‍රීසියෙන් වැඩකරන ලංකාවෙ ප‍්‍රමුඛ පෙලේ නීතිඥ සමාගමක ඉතා සාර්ථකව සේවය කරනවා.
දැන් ඉතුරු වුණේ මම. මට ෆැකල්ටි එනකොට ඔය කියපු හැම එකාටම වැඩිය ඉංග‍්‍රීසි පුළුවන්. මමත් ඉංග‍්‍රීසි මාධ්‍යය තෝරා නොගැනීමේ ගොන්කම කලේ හසියා ඒක කරපු වල බහින්න ආතල් ගන්න වෙලාවක් නැති වෙයි කියන බයටමයි. නමුත් මම දිගටම ඉංග‍්‍රීසි පොත් කියෙව්වා. උපසිරැසි නැතුව ඉංග‍්‍රීසි ෆිල්ම් බැලුවා. පුළු පුළුවන් හැම වෙලාවෙම මාත් එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කරන්න සූදානම් ඔනෑම කෙනෙක් එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කළා. මම දන්න විදියට ෆැකල්ටියෙ ඉතිහාසෙටම සිංහල බැරි උන් වෙනම අරගෙන උන්ට ඉංග‍්‍රීසියෙන් තෙල බෙදපු එකම union leader මම. ඒ නිසා මගේ ඉංග‍්‍රීසි දැනුම අඩු වුණේ නෑ. ඒ වගේම නීති ක්ෂේත‍්‍රයේ භාවිත වන technical terms ඉගෙන ගන්න ලැබුණෙත් නෑ. මමත් අවුට් වෙනකොටම ලංකාවේ පැරණිතම නීතිඥ සමාගමේ රස්සාව ලැබුණා. මමත් පුරා අවුරුදු 2 1/2ක්ම සීයට සීයක් ඉංග‍්‍රීසියෙන්ම වැඩ කළා. ඉන් පස්සෙ කුරුණෑගල ආවමත් ඉංග‍්‍රීසියෙන් කරන්න ලැබෙන හැම application/ submission එකක්ම ඉංග‍්‍රීසියෙන් කළා. ඒවා අද වෙනකල් අසාර්ථක වෙලා නම් නෑ. නමුත් මට ඒ හැම වෙලාවකම හිතෙන්නෙ මමත් 1st year ඉදන් English medium ඉගෙන ගත්තනම් අද මම මොන තරම් තැනක ඉදීවිද කියන එක. පසු තැවෙන්නෙ නෑ. නමුත් ඒක ගොන්බස් අසා කළ ගොන්කමක් බව පිළිගන්න වෙනවා.

තාමත් ෆැකල්ටිය ඇතුලෙ ඉන්න උන් ඔය ගොන් වැඩේ කරනව කියල ආරංචි වුණා. ඒකයි මේ ටික ලියන්න හිතුණෙ. මතක තියාගනිල්ලා උඹල නීති පීඨයට ආවෙ නීතිය ඉගෙනගන්න මිසක් එක එකාලට තොරණ් ගහන්න පෝස්ටර් ගහන්න නෙවෙයි. උඹ ඉංග‍්‍රීසියෙන් ඉගෙන නොගන්නෙ උඹට කොල්ලොත් එක්ක ඒ වැඩ වලට වෙලාව මදි වෙයි කියලනම් මලේ ඔය ගොන්කම් ඔය වයසට ආවේණිකයි. අල්ලල දාපං බං

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...