Sunday, April 12, 2020

ශෝකී අතීතාවලෝකන මනො විකාරය

(2016 ජනවාරි 18 වැනි දින ලියන ලද පොස්ටුවකි)

බොහෝ අය මෙම තීරණයේදී රතු පැහැති පෙත්ත තෝරාගනු ඇත. මන්ද අප සමාජයේ බොහෝ දෙනා තම ජීවිතයේ පසුතැවිලි වන අවස්ථා යටත් පිරිසෙයින් කිහිපයක් හෝ ඇත්තවුන් වන බැවිනි. මා සම්බන්දයෙන්ද වෙනසක් නැත. මා කළ කී ඇතැම් දෑ, ගත් තීරණ, සිදුකළ ඇතැම් තෝරාගැනීම්, සිදු නොකළා නම් හොදයැයි මටද අනේක වාරයක් සිතී ඇත. නමුත් අතීතයට ගොස් එය නිවැරදි කර ඒම මදක් සිතා බැලිය යුතු තත්වයකි.

මාගේ ඇතැම් අතීත කල්ක‍්‍රියාවන් තීරණ තෝරාගැනීම් පිළිබදව මා පසුතැවිලි වුවද වර්තමානයේ සිටින අථිල අතාවුද නම් වූ පුද්ගලයා නිර්මාණය කිරීමට ඒ අතීත සිදුවීම් අතපසුවීම් හා වැරදිද දායක වී ඇති බව නොසළකාහැරිය නොහැක.

මා අතීතයේදී යම් මට්ටමකට හෝ වැරදි නොකළා නම්, වැඩ අනා නොගත්තානම්, වැරදි තීරණ නොගත්තානම්, මා තුලින් බිහිවනු ඇත්තේ වර්තමානයේ සිටින මා නොව සබන් බෝල බබෙකි. ජීවිතයේ කර්කෂභාවය පිළිබදව මෙලෝ අවබෝධයක් නොමැත්තෙකි. එනම් මාගේ වයසට සරිලන දැනුම හා අත්දැකීම් මත පදනම් වූ බුද්ධිය නොලැබූවෙකි. එනම් මන්ද බුද්ධිකයෙකි. මට මන්ද බුද්ධිකයෙකු වීමට අවශ්‍ය නැත.

තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයාගැනීම සදහා සිදුකළ මුල් අත්හදා බැලීම් 999ක්ම අසාර්ථක වූ බව කියනු ලැබේ. ඔහුට අනුව ඒවා පරාජයන් නොව එය කළ නොහැකි තවත් ක‍්‍රම 999ක් සොයාගැනීමක් පමණි. එඩිසන්ගේ 1000 වන සොයාගැනීම සාර්ථක වන්නේද එම සොයාගැනීමට අමිල වටිනාකමක් හිමි වන්නේද පෙර සිදුවූ අත්වැරදීම් 999 නිසාවෙනි. ඔහුගේ පළමු උත්සාහයෙන්ම විදුලි බල්බය ලොවට බිහිවූවානම් ඔහුට එය නිර්මාණය කිරීමෙන් ලැබෙන අත්ම තෘප්තියද විජයග‍්‍රාහී සතුටද බොහෝ සෙයින් අල්ප වනු ඇත.

දිගින් දිගටම ලබන සාර්ථකත්වය හා කිසිදු වරදක් නොකරන ලද ජීවිතයක් අවුරුදු 2-3 තොත්ත බබාලා කියන කතාවක් වැනි මෙලෝ රහක් නැති දෙයක් වනු නොඅනුමානය. කතාවක් වුවද රසවත් වන්නේ අසාර්ථකත්වය ඔන්න මෙන්න කියා තිබියදී ලබන ජයග‍්‍රහණය හේතුවෙනි. ඔබේ ජීවිත කතාවේද ඔබ සාර්ථකත්වය දිගේ ඉහළට දිව ගියේ නම්, එය යම් දවසක කෙනෙකුට අසා සිටීමට කම්මැලි හිතෙන ආකාරයේ නීරස එකක් වනු ඇත. ඔබේ ජීවිතය ඔබටම තෘප්තිමත් වන්නේද, එය තවත් අයෙකුට රසවත් වන්නේද, ඔබ වැටි වැටී නැගී සිටි ආකාරය, පරාජය පෙනි පෙනී ජයගත් ආකාරය, ඇතැම් අභියෝග හමුවේ බිමට ඇදවැටී, නැත්තටම නැතිවී, නැවත බින්දුවෙන් පටන්ගත් ආකාරය, ඔබ මුල් කාලයේ රවටනු ලැබූ ආකාරය, ඔබ වැරදි තීරණ ගත් ආකාරය හා ඒවා නිසා පාඩු වින්ද ආකාරය, වැනි හැල හැප්පීම් සහිත කතාන්තරයක් වන විටදීය. ජීවිතයේද ඇසූ පිරූ තැන් ඇති වන්නේ පරිචයක් ලැබෙන්නේ, ඔනෑම අභියෝගයකට මුහුණ දීමට අවශ්‍ය පන්නරය ලැබෙන්නේ, තමාට වැරදුණු සහ වරද්දාගත් අවස්ථා වලිනි. මුහුණ දුන් කටුක අත්දැකීම් වලිනි.

ඇත්තමට මෙම photo එකේ අසා ඇති ප‍්‍රශ්නය බැලු බැල්මට ගොන් ප‍්‍රශ්නයකි. මන්ද කිසිදා කිසිවකුට කාලයේ ආපස්සට ගොස් තමාගේ වැරදි නිවැරදි කර ආපසු ඒමට හැකි බෙහෙත් පෙත්තක් තැනීම කළ නොහැකි දෙයක් වන බැවිනි. නමුත් මෙම ප‍්‍රශ්නයේ ගැබ්වුණු සැගවුණ අරුත වන්නේ ඔබ ඔබගේ අතීතය ගැන කණගාටු වන්නේද යන්නයි.

නමුත් එම අතීතය මිහිරි වුවද අමිහිරි වුවද වර්තමාන ඔබව නිර්මාණය කරන්නේද එම අතීතයමය. එහි ඇති ඔබේ වැරදි හා පසුතැවීම් ඔබේම කොටස්ය. ඔබ ඒ ගැන කණගාටු වන්නේය එය නැවත නිවැරදි කිරීමට අවස්ථාවක් බලාපොරොත්තු වන්නේය යන්නෙන් අදහස් වන්නේ ඔබට වර්තමාන ඔබ සම්බන්දයෙන් අති විශාල හීන මානයක් පවත්නා බවයි. සත්‍ය වශයෙන්ම එය ප‍්‍රතිකාර ගතයුතු මට්ටමේ මානසික ව්‍යාධියකි.
එබැවින් මේ බැලු බැල්මට ගොන් ප‍්‍රශ්නයක් සේ පෙනෙන ගැඹුරු පැනයට මට දීමට ඇත්තේ එකම පිළිතුරකි. මට මා අතීතයේදී කළ කිසිදු වරදක් අතපසු වීමක් වැරදි තීරණයක් අතීතයට ගොස් නිවැරදි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ඒ අත්දැකීම් මගේ කොටසකි. මගෙන් කොටසක් මරා දැමීමට මට අවශ්‍ය නැත. එබැවින් කිසිදු වසක් විසක් නොමැත්තේ නම් සහ එය බිව් පලියට මට මුදලින් ඩොලර් මිලියන 10ක් ගෙවීමට තරම් මෝඩ කෝටිපතියෝත් සිටිත් නම් තවත් බලා සිටින්නේ කුමට? දෙන්න මට වහාම නිල් බෙහෙත් කරළ.

අනිත් අය අතීතයට ගිහින් වැරදි හද හද ඉන්න වෙලාවෙ ඒ වැරදි වල අත්දැකීමුත් අරගෙන මට ඩොලර් මිලියන දහයකින් කරන්න ගොඩක් දේවල් තියෙනවා.


No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...