Monday, April 13, 2020

ලෝක රූ රැජින, ලස්සන සහ එහි සාපේක්ෂතාවය

කළු ජාතික තරුණියක් ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීම ගැන පළවෙන විවිධ කතා දැකල මීට කලින් ලියල නැති දෙයක් ගැන ටිකක් ලියන්න හිතුණ.

ලෝක රූ රැජින වැනි තරග වලදී අප පුද්ගලිකව ලස්සන ලෙස නොසළකන අය ජයග්‍රහණය කරන අවස්ථා ඕනැ තරම් තියෙනව. මොකද එතනදි සළකා බලන්නෙ යම් නිශ්චිත නිර්ණායක කීපයක්. ඒ නිර්ණායක සම්පූර්ණ වන තරුණියක් සමස්ථයක් ලෙස ගත්තාම ලස්සනයි ලෙස හදුන්වන්න පුළුවන් කියන විශ්වාසය මතයි ඒ නිර්ණායක හදල තියෙන්නෙ. ඒත් ඇත්තටම ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්. ඒක පුද්ගලයාගෙන පුද්ගලයාට පමණක් නොව භූගෝලීය මට්ටමින් පවා වෙනස් වෙනව.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ වැඩිදෙනෙක් හරි හෝ වැරදි වේවා සමේ වර්ණය පැහැපත් වීම ලස්සනක් ලෙස සළකනව. ඒත් පැහැපත් සමක් ඇති කාන්තාවන් පිරුණු රටවල මදක් තද එහෙමත් නැත්නම් තළෙලු වර්ණය හෝ ඇතැම් විට කට්ට කළු පැහැයට ඉතා ආසන්න කළු වර්ණය ලස්සන ලෙස දකින අය ඕනෑ තරම් ඉන්නව.

අනික ඇගේ හැඩය. ආසියාතික ගැහැණියගෙ මේදය සාමාන්‍යයෙන් තැන්පත් වෙන්නෙ උදරය ආශ්‍රිතව. නමුත් ලතින් ඇමෙරිකානු වගේ රටවල් වල කාන්තාවන්ගෙ මේදය තැන්පත් වන බව කියවෙන්නෙ කලවා සහ තට්ටම් ආශ්‍රිතව. එතකොට ඒ රටවල් වල ඉන්න අය ලස්සන තීරණය කරන්නෙ ඔවුන් උපන්දා සිට දැකපු ඒ ඒ ලස්සනට සාපේක්ෂව. යුරෝපයේ සිටින සුදු ජාතික කාන්තාවන් සාමාන්‍යයෙන් මහත් වුණොත් ආසියාතික හෝ ලතින් ඇමෙරිකානු කාන්තාවක් මහත් වුණාට ශරීරයට අමුතු හැඩයක් තමයි ලැබෙන්නෙ. ඒක ගොඩක් දුරට කැතයි ලෙස සම්මත හැඩයක්. ඒ නිසා යුරෝපය මූලික කරගත් රූපලාවන්‍ය සහ මෝස්තර නිරූපණ ක්ෂේතයන්හි කෙසග බව ලස්සනක් විදියට සැළකෙනව. නමුත් ඇත්තටම ගත්තාම ආසියාතික හෝ ලතින් ඇමෙරිකානු කාන්තාවක් මහත් වුණාට යුරෝපීය සුදුජාතික කාන්තාවක් මහත් වුණා තරම් කැත නෑ. ඒත් ලෝක ප්‍රමිතිය වෙලා තියෙන්නෙ සුදු ජාතික ප්‍රමිතිය.

ඉන්දියානු රූපසුන්දරියන් තේරීමේ තරග යූ ටියුබ් හරහා නැරඹිය හැකියි. ඒවැනි තරගයක එක් වතාවක් මා දැක තිබෙනවා විනිශ්චය මණ්ඩලය විසින් Shreeradhe Khanduja නැමති තරගකාරියට කියනවා ඔබේ කළවා මහත වැඩියි. ඔබ ඒවා සිහින් කරගැනීම සදහා ව්‍යායාම කළ යුතුයි කියලා. නමුත් ඇත්තටම මා දුටු ආකාරයට ඒ තරගකාරියට ඉතා සුන්දර දෙපා යුගලක් ඒ වනවිටත් තිබුණා. ඇය එය උත්සාහයෙන් මහන්සි වී කෙට්ටු කරගෙන අවලස්සන කරගන්නේ ඇයිදැයි යන්නයි මට නැගුණු ප්‍රශ්නය.

රූපරාජිනිය තේරීමේ තරග වල පමණක් නොවෙයි. කාන්තාවන් සම්බන්ධයෙන් පමණකුත් නොවෙයි. අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව හිටපු අර්ජුන රණතුංගට හැමදාම අලි බඩක් තිබුණා. ඒක දුවනකොට හෙල්ලෙන තරම් ලොකු එකක්. අරවින්ද ද සිල්වාට පවා කිසි දිනක කෙසග ක්‍රීඩකයෙකුගේ යැයි කිව හැකි සිරුරක් තිබෙනවා මා දැක නැහැ. පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩාඩ් එවැනි තවත් අති දක්ෂ අලි බඩෙක්. අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එවැනි බඩාලා කීදෙනෙක් සිටිනවාද? එක්කෙනෙක්වත් නෑ. යන්තම් හෝ බඩ තිබෙන්නේ මාලිංගට පමණයි. එයත් ඔහුට ආබාධ හේතුවෙන් ශාරිරික අභ්‍යාස කිරීමට නොහැකි වීම නිසා පසුකාලීනව ඇතිවූ බඩක්. නමුත් එදා අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා වැනි ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතාවයෙන් සහ ඔවුන් පෙන්වූ ස්ථිරසාර බවෙන් භාගයක් පෙන්වන්නට සමත් ක්‍රීඩකයන් අපේ ක්‍රීඩාශීලී පෙනුමැති ඇගවල් තිබෙන කණ්ඩායමේ සිටිනවාද? මගේ පිළිතුර නැහැ කියන එක.

ඒ කියන්නෙ කොතනහරි වැරදිලා. අපි මේ හැමදෙයක්ම වෙන වෙන අයගේ කෝණ මත මිසක් අපිට සාපේක්ෂව කියවාගෙන නෑ. යමක් ලස්සනයි හෝ හොදයි ලෙස කවුරුන් හෝ කවදා හෝ ගොඩනගපු මිණුම්දණ්ඩක් මත තමයි අපිත් තීරණ ගන්නෙ. සමහරවිට ඒ මිණුම්දඩු වැරදියි. සමහර ඒවා යාවත්කාලීන වෙලා නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් නම් එවැනි මිණුම්දඩු ඇතිකරගැනීම සම්පූර්ණයෙන්ම වැරදියි. Ashes Cricket නැමති පරිඝනක ක්‍රිකට් ක්‍රීඩාව සදහා විස්තර විචාරක ලෙස හඩ කවමින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රේග් කියූ කතාවක් මට සිහියට නැගෙනවා. එතැනදී ඔහුට යොමුවූ ප්‍රශ්නය වන්නේ වේග පන්දු යවන්නෙකුගේ ශාරීරික යෝග්‍යතා මට්ටම කුමක් විය යුතු යන්නයි. එයට ඔහු මෙසේ පිළිතුරු දෙනවා:-

"වේගපන්දු යවන්නෙකුගේ ශාරීරික යොග්‍යතාවය පන්දු යැවීමට තරම් ඔහු යෝග්‍යතාවයෙන් සිටීම යන මට්ටමට තිබීම ප්‍රමාණවත්. ඔහුට එක හුස්මට හැතැප්මක් දිවීමට තරම් යෝග්‍යතාවයක් තිබීම අත්‍යවශ්‍ය වන්නේ නෑ"

නමුත් ඉතා හොදින් පන්දු යැවීමට හැකි නමුත් හැතැප්මක් දිවීමට නොහැකි වීම මත ක්‍රිකට් ක්‍රීඩාවේ අවස්ථා නොළද කීදෙනෙක්නම් සිටින්නට ඇත්ද?

රූපරාජිනිය තේරීමේ තරග වලට දැන් පිළිගත් නිර්ණායක පවතිනවා. ඒවා වෙනස් කිරීමට යාම අපහසු කරුණක්. ඒ නිසා ඒ තරග වලට ඉදිරිපත් වන අය ඒවායේ නියම කරන ප්‍රමිතීන්ට අනුව හැඩගැසීමට සිදුවෙනවා. නමුත් අවධාරණය කළ යුත්තේ ඉහත සදහන් කළ පරිදි අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට බඩ බාධාවක් නොවනවා සේම කෙනෙකුට ලස්සන තරුණියක් වීමට ලෝක රූ රැජින තරගවල ප්‍රමිතීන්ට සිරුර සකසා ගැනීම අනවශ්‍යයි. ලස්සන සම්පූර්ණයෙන්ම සාපේක්ෂ දෙයක්.

ලෝකය මෙය ක්‍රමක්‍රමයෙන් හදුනාගනිමින් යනවා. ඔවුන් දැන් දැන් ශරීර ප්‍රමාණ අනුව නිරූපිකාවන් ඛාණ්ඩ කිරීම කරන්නේ ඒ අනුව.

ආකර්ශනීය බව පිළිබදව එම ප්‍රමිතීන් අදාළ නොවන බවට එක ශ්‍රී ලාංකීය උදාහරණයක් දක්වන්නට කැමතියි. අමන්දා සිල්වා කියන්නේ ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජබෙන තරුවක්. බොහෝ ඡායාරූප ශිල්පීන්ගෙන් ඇසුවොත් ශ්‍රී ලාංකීය නිරූපණ ක්ෂේත්‍රයේ අංක එක කවුද කියලා ඔවුන් වැඩිදෙනෙකුගෙ පිළිතුර අමන්දා සිල්වා. ඇගේ සිරුර සැබැවින්ම ලෝක රූ රැජින තරග වල දැක්වෙන ප්‍රමිතීන්ට අනුව සකසාගත් එසේ නඩත්තු කරන එකක්. ඇගේ නිල ෆේස්බුක් පිටුවේ රසිකයන් ගණන 23K වශයෙන් සදහන් වෙනවා. ඒ කියන්නෙ දළ වශයෙන් 23000ක්. සදනි ප්‍රනාන්දු කියන්නෙ තවත් නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම නිළියක්. ඕනෑම කෙනෙකුට බැලු බැල්මට පෙනෙන කරුණක් තමයි සදනි ප්‍රනාන්දුගේ සිරුර ලෝක රූ රැජින තරග වල ප්‍රමිතියෙන් සැළකියයුතු ලෙස වෙනස් වෙන බව. නමුත් ඇගේ නිළ ෆේස්බුක් පිටුවේ රසිකයන් ගණන සදහන් වන්නෙ 91K යනුවෙන්. එනම් ආසන්න වශයෙන් 91000ක්. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් වඩාත් ආකර්ශණීය ලෙස තෝරාගෙන තියෙන්නෙ ලෝක ප්‍රමිතියට ඉන්න අමන්දා නොව ඒ ප්‍රමිතියට නැති සදනි. සම්පූර්ණයෙන්ම සාපේක්ෂ චින්තනයක්.

ඒ නිසා තම තමන්ගෙ විවිධ ශරීර අංග ලක්ෂණ අනුව තමන් කැතයි කියල හිත හිත දුක්වෙන අයට කියන්න තියෙන්නෙ එහෙම එකක් නෑ. ඔය තියන ලස්සනට ආස අයත් ඕන තරම් ඉන්න පුළුවන්. ලෝක රූ රැජිනනම් ඉතින් මොනවද? හැටි විතරක්.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...