ඇසූ පමණින් හිත සසළ වෙලා සෙලවිලා යන ගීත කීපයක් අපි හැමෝටම තියනව. මගේ
අතිශය සංවේදී ගීත ගොන්නේ වියෝ වූ පසුවයි, හදේ කොතැනක හෝ හිදී ඔබ, පිපුණු
මලක හැඩ දෑස සලා, හන්තාන සිහිනේ වැනි එවැනි ගීත ගණනාවක්ම තියනව. ඒ ගීත
අහන්න පුළුවන් විදියක් තියනව. එහෙම නොවන තැනකදි ඒක ඇහුණොත් මම සාමාන්‍යයෙන්
කරන්නෙ වෙන පැත්තකට අවධානය යොමු කරන එක. මොකද ඒ ගීත දිගට අහන්න ගියොත් ඒකට
ඉතාම දැඩිව සමවදින එක වලක්වන්න බැරි නිසා. ඒ ගීත ගොන්නට එකතු වන තවත්
ගීතයක් තමයි "අපි ආයෙත් හමු නොවුනා නම්" කියන්නෙ.
මම අහල තියෙන
විදියට මේ ගීතය ලියවෙන්නෙ එක්තරා ගුරුවරයෙකුගෙ අත්දැකීමක් පාදක කරගෙන. මේ
ගුරුවරයා තරුණ වියේදි තමන්ගෙ මුල්ම පත්වීම අරගෙන පාසැලකට යනව. ඕනෑම තරුණ
ගුරුවරයෙක් පාසැලකට ආවාම පාසැලේ සිසුවියන්ගෙන් විශේෂ අවධානයක් ඒ ගුරුවරයාට
ලැබෙන එක හරිම ස්වභාවිකයිනෙ. ඒ වගේම ගුරුවරයෙක් වුණත් ඔහුටත් තියෙන්නෙ
තවමත් නාඹර ළපටි හිතක්. ඒ හිත ආදරය හොය හොයා ඉන්නෙ. ඉතින් මේ පාසැලේ ඉන්න
එක් සිසුවියක් කෙරෙහි මේ තරුණ ගුරුතුමාගෙ හිත ඇදිල යනව. ඒක විවිධ විදි වලට
අර්ථකථනය කරන්න පුළුවන්. ඒක කිසිසේත් නොවිය යුතු දෙයක් විදියට ගොඩක් අය
හදුන්වයි. නමුත් චිංගීස් අයිත්මාතව්ගෙ ගුරු ගීතයේ දුයිෂේන් ගුරුතුමා පවා
තමන්ගෙ සිසුවිය වූ අල්තීනායිට ආදරය ඉක්මවා ගොස් ආලය කරන අවස්ථාවක් එළඹෙනව.
ඒකෙ කිසි වරදක් නෑ. එහෙම තමයි හිතේ හැටි. කිසිදාක තුන්හිතකින්වත් නොහිතූ
දෙයක් ගැන කෙනෙක් ගැන ආලයක් ඇතිවෙන එක හරිම ස්වභාවිකයි. ඒ සිසුවියගෙ සහ
ගුරුවරයාගෙ තත්වයන් එක්ක බලනකොට ඒ අවස්ථාවෙදි ආලය ප්‍රකාශ වුණානම් තමයි ඒක
අනුචිත වෙන්නෙ.
මෙතනදි අපි කතා කරන ගුරුතුමා ඉතාම වැදගත් මහත්මයෙක්
විදියට ඒ තත්වය තේරුම් ගන්නව. ඔහු වැඩිහිටියෙක්. අර පාසැල් දැරියට වයස
දහසයක් විතර. අවම වශයෙන් තව අවුරුදු දෙකක්වත් යනතුරු ඔහුට මහත්මයෙකු ලෙස
ඔහුගේ රහස රැකගන්නට වෙනව. ඔහු හදවතේ බිත්ති පුපුරාගෙන එළියට පනින්න දගළන
හැගීම උත්සාහයෙන් යටපත්කරගෙන නිහඩ වෙනව.
කාලය හැමවිටම හැම දෙයක්ම
වෙනස් කරනව. අර සිසුවිය පාසැලෙන් ඉවත් වෙලා ගියාට පස්සෙ මේ ගුරුතුමාට ආයෙ
දකින්න ලැබෙන්නෙ නෑ. නියම වෙලාවට එළියට දාන්න හිතේ හිරකරගෙන හිටපු හැගීම
ඔහුම බලහත්කාරයෙන් එළියට ඇදල අරගෙන කෑලි කෑලි යන්න පොඩිකරල විසිකරල දානව.
පුළුවන් විදියට හිත හදාගන්නව. බිම බලාගත්තු දුක්බර මිනිසෙක් විදියට ජීවිතේට
තවත් අත්දැකීමක් එකතු කරගෙන ඉස්සරහට යනව.
ටික කලක් ගිහින් ගුරුතුමා
ගෙදරින් හොයා දෙන කෙනෙක්ව විවාහ කරගන්නව. ඉතාම නිහඩ සන්සුන් සාමාන්‍ය
පවුල් ජීවිතයක් ගතකරනව. දරුවොත් ලැබෙනව. දරුවො උස්මහත් වෙලා උසස් අධ්‍යාපනය
ලබන කාලෙ වෙනකොට අපේ ගුරුතුමා විශ්‍රාම යන්න වසර කිහිපයයි ඉතුරු. එහෙම
ඉන්නකොට ඔහුගෙ පාසැලට ගුරුවරියක් ස්ථාන මාරු ලබා පැමිණෙනව. ඒ ගුරුවරිය
දැකපු ගමන් ඔහු ගල් ගැහිලා යනව. ඒ තමයි ඇය. එදා සුන්දර සුදු ගවුමක් ඇදගෙන
කොණ්ඩය කරල් දෙකට ගොතාගෙන තමන්ගෙ යහළුවන් එක්ක කෙළිදෙලෙන් දොඩමළුව හිටපු ඒ
හිරිමල් යෞවනිය අද මැදිවියේ කාන්තාවක්.
මේ ගුරුවරිය තමන්ගෙ පුංචි
කාලෙ ගුරුතුමා දැකල බොහොම සතුටු වෙනව. ඔහුට බොහොම ගෞරව කරනව. ගුරුතුමා
සැලෙන හිතින් නමුත් වයසයි අත්දැකීමුයි එක්ක ආපු විනය මත උපේක්ෂා සහගත
මූණකින් බලා ඉන්නව. තමන් ගොඩක් ආදරය කරපු ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරල
හැගීම් හංගගෙන හිටපු අන්තිමට ඒ හැගීම් ගිලදාලා කල්පනාකාරී නිහඩ මිනිසෙක්
බවට තමන්ව පත්වෙන්න හේතු වෙච්ච ඒ කාන්තාව දැන් ඔහු ඉදිරියේ. ඔහුට ඇය නැවත
දකින්න ලැබුණ එක ගැන සතුටු වෙන්නද හිනාවෙන්නද දුක්වෙන්නද අඩන්නද කියලවත්
හිතාගන්න බෑ. අතීතය එක මොහොතකින් චිත්‍රපටයක් වගේ ඔහුගෙ මතකයේ මැවිලා නැති
වෙලා යනව. එය ඔහුව රෝගී කරවනව. අදුරේ නොනිදා ඔහේ බලා සිටින්නෙක් කරවනව.
ඒ මොහොතේ ඔහුගෙ හිතේ ඇතිවන හැගීම තමයි ආචාර්ය අජන්තා රණසිංහයන් අතින්
අකුරු වෙලා වික්ටර් රත්නායකයන්ගෙ හඩ නළුවකින් හැඩවෙලා සෝමතිලක ජයමහගෙ
මුවින් අපිට ඇසෙන්නෙ.
ගීතය මෙතනින්
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment