සාමාන්‍යයෙන් පාංකිරිත්තා සළකන්නෙ අසුබ සතෙක් විදියට. තනි
පාංකිරිත්තෙක් දැකීම අසුබ ලකුණක් විදියට විශ්වාසයක පැරැන්නෝ අතර තිබ්බ කියල
කියනව. හැබැයි ඔය විශ්වාසය ඇරෙන්න පාංකිරිත්තෙක්ගෙන් කාටවත් වෙච්ච හානියක්
කරදරයක් තාම වාර්තා වෙලා නෑ. මේ සිංදුවෙ ප්‍රධාන චරිතයට එහෙම අහේතුකව කොන්
වෙච්ච කුරුල්ලෙක් තෝරගෙන ප්රේමකීර්ති ද අල්විස් හණමිටි කාරයන්ට හොඳ කණේ
පාරක් දෙනව.
පාංකිරිත්තා නැටුමක් නටනව කියන්නෙ කුරුළු ලෝකයේ විතරක්
නෙමෙයි මොන පදනමින් ගත්තත් සම්මතයට ඉඳුරාම පටහැනි දෙයක්. ඒකට එක හේතුවක් ඌ
අසුබ සතෙක් වීම. අනික ඌ නටනව කියල අපි අහලා නැති සතෙක් වීම. ඒ හින්ද
පාංකිරිත්තෙක් නටනව කියල සම්මතය පිළිගන්න බහුතරයට කිව්වොත් කියයි ඌ පිස්සු
පාංකිරිත්තෙක් කියල.
අනික් කාරණේ තමයි අම්මා රබන් ගහනව, තාත්තා
නටනව, දරුවො අප්පුඩි ගහනව. මේකත් ලංකාවෙ පිළිගත් සම්මත රාමුවෙන් එළියෙ තියන
දෙයක්. ඇත්තටම පවුලක් එහෙම කරනවනම් මොකක්ද ඒකෙ ඇති වැරැද්ද? එ්ත් ලෝකය ඒක
දකින්නෙ "ආං අරූ බීලා, ළමයින්ගෙ විලිසංගෙ නැතිකරනවා" වගේ කෝණ වලින්. ඒ
භූමිකාව තමයි මෙතනදි කෑදැත්තා කරන්නෙ.
කෑදැත්තා ස්වභාවයෙන්ම
අමිහිරි කරදරකාරී හඬක් තියන කුරුල්ලෙක්. ඌ ඇවිත් ඌට කොහොමටවත් වැඩක් නැති
අනුංගෙ කෙහෙම්මලකට උගෙ අමිහිරි හඬින් බාධා කරනව. වර්තමාන සමාජයෙත් මේක
වෙනව.
මේක ලංකාවේ සමාජය සංස්කෘතික වශයෙන් අලුත් වෙනවට වඩා පරණ වන
යුගයක් කියන්න පුළුවන්. ආපහු අර අනුංගෙ ඒවට හොම්බ දාන, තමන්ගෙ පුද්ගලික
අගනාකම් මත අනිකාව හැඩගස්වන්න යන ළදරු මානසිකත්වයන් උගත් මිනිස්සුන්ගෙ පවා
සිත් තුල පහළ වෙන්නෙ ඒ පරණ වීමේ ප්‍රතිඵලයක් විදියට. හැබැයි එහෙම අනුංගෙ
ඒවට හොම්බ දාන්න එනවට කරන්න ඕන දේත් සිංදුවෙ කියනව.
නැටුම නවත්තල
පාං කිරිත්තා ගිහිං කෑදැත්තගෙ අත් තටුවෙන් අල්ලලා හොලවලා කියනව අනුංගෙ
කෙහෙම්මල් හොයන්න යන්නෙ නැතුව තමංගෙ වැඩක් බලාගෙන පාඩුවෙ හිටපං කියල. ඒක
කටේ මසුරං දැම්මත් මදි කතාවක්.
ඒකෙ තව පණිවිඩේකුත් තියනව. මෙතනදි
ලොකු කුරුල්ලෙක් වෙන කෑදැත්තගෙ තටුවෙන් අල්ලල හොලවන්නෙ පුංචි කුරුල්ලෙක්
වෙන පාංකිරිත්තා. සාමාන්‍යයෙන් අනුංගෙ දේවල් වලට හොම්බ දාන්න, අනුන්ව
හදන්න එන අය එන්නෙ තනියම නෙමෙයි. කණ්ඩායමක් විදියට එකතු වෙලා. ගොඩක් වෙලාවට
පූජ්‍ය පක්ෂය පවා පෙරටු කරගෙන. ලොකු බලයක් එක්ක. ඒ කොහොම ආවත් කවුරු අාවත්
"තමංගෙ වැඩක් බලාගෙන පල යකෝ යන්න" කියල බය නැතුව කියපං කියන පණිවිඩේ රචකයා
මේ සිංදුවෙදි දෙනව.
මේ සිංදුව ලියවෙන කාලෙටත් වඩා ඒක අපේ රටේ
සමාජය සංස්කෘතික වශයෙන් පරණ වෙමින් තියන වර්තමානයට ගැලපෙනව කියල මට හිතෙනව.
සිංදුව හදපු රජ තුන් කට්ටුවෙන් අද ජීවතුන් අතර ඉන්නෙ වික්ටර් රත්නායකයන්
විතරයි. තුන් දෙනාගෙ එකතුවෙන් හැදුන ගීතය නම් හරිම අපූරුයි. අනුංගෙ ඒවට
හොම්බ දාන්න පුරුදු වෙච්ච අයත් මේක පිස්සු පාංකිරිත්තෙක්ගෙ බයිලාවක් කියල
හිතල ඔහේ කියනව අහනව මම දැකල තියනව.
ඒත් මේ ගීතය තමයි ශ්‍රී ලාංකීය ගීත ඉතිහාසයේ තමංගෙ ප්‍රමිතීන්ට අනුව අනුං හැඩගස්සවන්න එන අයට දීල තියන තදම කණේ පාර.
ආයෙත් කියවල බලන්න වටින වචන ටිකක්:-
පාංකිරිත්තා තක්කිට තරිකිට
උඩ පැන පැන නටතෙයි
පාංකිරිත්තී රබාන අරගෙන
කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන
දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑඳැත්තෙක්
කීචි බීචි කියතෙයි
පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ
නැටුම පටන්ගත්තේ
අහල පහල කිසිවෙකුටත් ඒකෙන්
හිරිහැරයක් නැත්තේ
කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා
වහලා අර අත්තේ
උන්ගෙ නැටුමට බාදා කරමින්
ගීය පටන්ගත්තේ
පාංකිරිත්තා නැටුම නවත්තා
කේන්තියෙන් ආවා
කෑඳැත්තාගේ කළු අත්තටුවෙන්
අල්ලා සෙලවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා
මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළුවතින්
ඊට සවන් පෑවා
අනුන්ගෙ වැඩ ගැන විවේචනය
කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන්
කියලා කීය හඬා ///
ගායනය - ෆ්‍රෙඩී සිල්වා
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment