වෛද්‍ය
ශිෂ්‍ය බණ්ඩාර ජයවීර අනපේක්ෂිත අවස්ථාවක අත්අඩංගුවට පත්වන්නේ 1971
කැරැල්ලට සම්බන්ධ වූයේ යැයි සැකපිටය. ඉන්පසු වසර ගණනාවක් සිර කඳවුරක
ගතකිරීමට සිදුවීමෙන් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම, පෙම්වතිය අහිමි වීම
යනාදී වශයෙන් සමස්ථ ජීවන රටාවේ පරිවර්තනීය වෙනසකට ඔහු භාජනය වෙයි.
කෙසේ වෙතත් සිර කඳවුර තුලදී උදාසීනව කල්ගෙවීම වෙනුවට තම හැකියා, දක්ෂතා සහ
දැනුම යොදාගනිමින් පවත්නා සීමාවන් යටතේ හැකි උපරිම ඵලදායී ජීවිතයක් ගෙවීමට
ඔහු සමත් වෙයි. නමුත් නිදහස ලබන විට ජීවිතය සම්පූර්ණයෙන්ම පාහේ
ප්‍රතිනිර්මාණය කරගැනීමට සිදුවන තත්වයකට ඔහු පත්ව සිටී.
ඉහත
සියල්ල අන්තර්ගත වන්නේ වෛද්‍ය බණ්ඩාර ජයවීර විසින් රචිත "වසන්තයේ මළගෙය"
කෘතියේය. එය මට කියවන්නට ලැබුණේ 2002 වසරේදී පමණ මා 9 ශ්‍රේණියේ අධ්‍යාපනය
ලබන කාලයේදීය. එම පොත අවසන් වූයේ "යළි ඉපැදේ තුලින් හමුවෙමු" යන පාඨයෙනි.
එතැන් පටන් වසර 17ක් පමණ තිස්සේ මම "යළි ඉපැදේ" සෙව්වෙමි. පොත්
වෙළෙඳසැලකට, පුස්තකාලයකට ගොඩවදින සෑම අවස්ථාවකම මෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත්
ප්‍රදර්ශනයට ගිය සෑම දිනකම පාහේ නිතැතින්ම "යළි ඉපැදේ" ඇත්තේ දැයි විපරම්
කිරීම නිරුත්සාහක පුරුද්දක් බවට පත්විය. නමුත් එම බලාපොරොත්තුව 2019
වනතුරුම ඉටුවූයේ නැත.
තත්වය එසේ තිබියදී දිනක් මාගේ ජ්‍යෙෂ්ඨ උගත් මිතුරු Srilal Wedage මහතාගේ අභිනවයෙන් විවෘත කළ කාර්යාලය අසලින් ගමන් කරමින් සිටියදී, අහම්බෙන් මෙන් ඔහුගේ පොත් එකතුව දෙස මගේ නෙත යොමු විය.
අහා... එය වැරදීමක් වන්නට බැරිය. මා වසර 17ක් තිස්සේ සෙවූ ඒ නම "යළි
ඉපැදේ" ද එ් මට පෙනුණේ? මම නැවතී වඩාත් හොදින් බැලුවෙමි. ඔව්. පොතේ නම නම්
"යළි ඉපැදේ"මය. කාර්යාලයට ඇතුළු වූ මම එහි සිටි ලේකම්වරියගේ අවසරය පිට පොත
අතට ගෙන බැලුවෙමි. මට වැරදී නැත. "යළි ඉපැදේ" "බණ්ඩාර ජයවීර" ඒ වචන දෙක
නැවත නැවතත් කියවූයේ එය මටම තහවුරු කරගන්නටය. දශක දෙකකට ආසන්න කාලයක් සෙවූ
පොතක් එකවරම නොසිතූ ලෙස අතටම ලැබීමේ ආනන්දයේ තරම දන්නේ පොත් ගුල්ලෙකුම
පමණි. මට සතුටින් කෑගසන්නට සිතුනි.
හැගීම් පාලනය කරගෙන පොත එතැනම
තබා "සර් ආපුවම එන්නම්" යනුවෙන් ලේකම්වරියට පවසා එළියට බැස්සෙමි. එතැන්
සිට වරින් වර මාගේ කාර්යාලයෙන් එළියට බැස විපරම් කර බැලුවේ මාගේ උගත්
මිතුරා කාර්යාලයට පැමිණ ඇත්තේදැයි කියාය.
මෙන්න ඔහු ඇවිත්. මම වේගයෙන් ඇවිද ගොස් පාර පැන වහාම ඔහුගේ කාර්යාලයට කඩා වැදුණෙමි.
"අයියේ මම කාලෙක ඉඳලා හොයපු පොතක් ඔයා ළග තියෙනවා. මම කියවලා දෙන්නද?"
කියමින් අනාරාධිතවම පොත අතට ගත්තෙමි. මාගේ නොඉවසිලිමත් උද්යෝගය දුටු ඔහුද
බොහෝ සතුටින් මට පොත දුන්නේය. එපමණක් නොව ඔහු අධ්‍යාපනය ලැබූ ඉබ්බාගමුව
මධ්‍යමහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ වෛද්‍ය බණ්ඩාර ජයවීරයන්ගේ
පොතට මම එතරම් ආශා කිරීමද, 17 වසරකට පෙර කියවූ "වසන්තයේ මළගෙය" පොතෙහි
ඇතැම් දෙබස් පවා මට අද වන තුරු මතක තිබීම ඔහුගේ අමන්දානන්දයට හේතු විය.
එම පොත බොහෝ ආදරයෙන් ගෙදර ගෙන ආවෙමි. ඉන්පසු පළමු වරට එය මුල සිට අගටද,
මාස දෙකක පමණ කාලයක් තිස්සේ වරින් වර මුළ සිට අගට, අග සිට මුළට, මැද සිට
දෙපසට නැවත නැවතත් කියවීමි. මාහට "වසන්තයේ මළගෙය" තම පාසැලේ පුස්තකාලයෙන්
ගෙනවිත් කියවීමට දුන්නේ අම්මාය. ඇයටද "යළි ඉපැදේ" කියවීමට අවස්ථාව සළසා
දුනිමි.
මෙසේ ආසන්න වශයෙන් තුන්මසක් පමණ "යළි ඉපැදේ" සමග
සාහිත්‍ය සම්භෝගය අත්විදීමට මට ඉඩ ලැබුණි. එයට ඉඩ සැළසූ Srilal Wedage
සොයුරාට නැවතත් අපමණ තුති.
පොත ගැන:-
එහි ඇත්තේ
ඇදවැටුණු මිනිසෙකුගේ නැගිටීමෙි කතා පුවතයි. පොතක් වශයෙන් ගත්කල "යළි ඉපැදේ"
ඇත්තේ "වසන්තයේ මළගෙය"ට වඩා මදක් පසුපසින් බව කිවයුතුය. වසන්තයේ මළගෙයෙහි
කතාව ඉතා වේගවත් ගලායාමක් සහිතව එක හුස්මට අවසානය දක්වා දිවෙන, යථා
අත්දැකීම ගැන පැහැදිලි චිත්‍රයක් සිතේ මවන පොතකි. මා පෙරකී තරම් දැඩි
උනන්දුවකින් එහි දෙවැනි කොටස වූ "යළි ඉපැදේ" සෙව්වේ පළමු පොත මා සිත
සනිටුහන් කරන ලද එම නොමැකෙන සළකුණ නිසාමය.
නමුත් "යළි ඉපැදේ"
රචනා කරන විට කතුවරයා බොහෝ අවස්ථා වලදී තමාගේ අතීතාවර්ජනයන් තුල තනිවීම
දක්නට ලැබුණි. එය එවන් අත්දැකීමක් ලැබුවෙකුගේ අත්දැකීමේ යථාර්ථවාදී
නිරූපණයක් බව සත්‍ය නමුදු පළමු කෘතියේ මෙන් වේගවත් සිද්ධි විස්තර කිරීම්
හරහා හැගීම්ද නිරූපණය කළේනම් මැනවැයි මට සිතුණි.
කෙසේ වුවද එය
වූකලී ශ්‍රේෂ්ඨ නැගිටීමක් බව කිව යුතුමය. සමාජ දේශපාලනික යාන්ත්‍රණය මගින්
උඩදමා පයින් ගසන ලද්දෙකු නැවත නැගීසිටීමේ කතාව කියවීම සැබෑ අානන්දජනක
අත්දැකීමකි. මහගු ආදර්ශයකි.
වෛද්‍ය බණ්ඩාර ජයවීර මහතා දැනට රජයේ
සේවයෙන් විශ්‍රාම ලබා නිහඬ චාම් ජීවිතයක් ගෙවන බව දැනගන්නට ලැබුණි. එතුමන්ව
වරක් මුණගැසී කතාබහ කරන්නට ඇත්නම් අගෙයි.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment