Tuesday, April 14, 2020

වාසු

වාසුදේව නානායක්කාරට මම පුද්ගලිකව කැමතිය. අත්දැක නැතත් ඔහු දේශපාලන ඉතිහාසයේ යම් යම් අවස්ථා වල නිරූපණය කළ භූමිකාවන් පිළිබඳව කියවීමේදී සහ වර්තමානයේද කණකොක් සුද පෙන්වන ඇතැම් අවස්ථා වලදී ඔහු ගැන යම් උදාසීන ප්‍රසාදයක් උපදී.

නමුත් ගැටලුව ඇත්තේ අපි වාසුට කැමති වීමත් වාසු වාසුට අකමැතිවීම හෝ වෙනත් යම්යම් අවස්ථානුගත කරුණු හේතුවෙන් වාසු "වාසු සළකුණ" නියෝජනය කිරීමෙන් වැලකී සිටීමත් තුලය.

බොහෝ දෙනා පසුගියදා වාසු සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු කෙරේ කෝප ගෙන ඇති බවක් පෙනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට නුසුදුසු බව කීම වරදක් බව පිළිගනිමි යනුවෙන් ඔහු ප්‍රකාශ කිරීම මෙම කෝපයට හේතුවී තිබුණි.
නමුත් මා සිතන අයුරින් ඒ පිළිබඳව වාසු කෙරේ කෝප වීමට වඩා කළ යුතු වන්නේ බොහෝ මාක්ස්වාදීන්ගේ විශ්රාමික යථාර්ථය වටහා ගැනීමට එය ජීවමානය උදාහරණයක් කොටගැනීමය. තම ප්‍රතිරූපයට වන හානිය නොසලකා එවන් උදාහරණයක් සැපයීම පිළිබඳව වාසුට ස්තුතිවන්ත විය යුතුය.

වාමාංශිකයෙකුට යම් යම් අවස්ථා වලදී යම් යම් තල වලදී දක්ෂිණාංශය සමග උපක්‍රමිකව අත්වැල් බැඳගත නොහැක්කේ නොවේ. නමුත් එසේ අත්වැල් බැඳගෙන අන්ත ප්‍රතිගාමීත්වයේ වැලි මාලිගාවට වැද එහි ඇණබාගෙන සැළකිය යුතු කාලයක් ගත කිරීමෙන් මාලිගාවෙන් පිටතට බැසීමට තබා සිටින තැනින් නැගී සිටීමට වුවද කම්මැලිකාර හැගීමක් මනුෂ්‍යයෙකු තුල ඇතිවීම ස්වභාවිකය. එම කම්මැලිකම තුල කෙතරම් නොගැලපෙන්නේ වුවද, ආයාසයෙන් සොයාගන්නා ගැලපෙන එක වැලි කැටයක් සමග තමාගේ සමස්ථය තුලනය කරගැනීමට උත්සාහ දරමින් ඉතිරි කාලය එතැනම ලැග සිටීමට විශ්රාමික මාක්ස්වාදියෙකුට සිදුවිය හැකිය.

තමා ජීවිතයේ වැඩිම කාලයක් ගතකරන ලද්දේ පෙරකී මාලිගවල අන්තේවාසික කමට නම් අතපය වලංගු නැති වීගෙන යන විට එයින් එතැනින් එළියට බැස පවතින්නේ කෙසේද? එදා වේල සොයාගන්නේ කෙසේද? දේශපාලනඥයෙකුට ජීවත් වීමට දේශපාලනික ආහාර අවශ්‍ය වේ. අබල දුබල සමයේ පෙරකී මාළිගයෙන් නික්මුණහොත් ප්‍රමාණවත් තරම් දේශපාලනික ආහාර නොලැබීමෙන් මියැදෙන්නට පවා පුළුවන. එබැවින් වාසු එතැනින් එළියට බැසිය යුතුයැයි කීම බලවත් අකාරුණික කමකි, අනුකම්පා විරහිතකමකි, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කරන හිංසාවකි.
එබැවින් වාසුගේ තත්වය තම තමන්ගේ ආකෘතීන් තුල විග්‍රහ කරගෙන ඔහුට බැණ වදිනවා වෙනුවට කළ යුතු වන්නේ ඔහුගේ සමස්ථ ජීවනය, ප්‍රතිගාමී පඩංගු මත දීර්ඝ කාලීනව ලගින ලද විශ්රාමික මාක්ස්වාදියෙකුගේ ජීවිතය පිළිබඳව යථාර්ථය අවබෝධකරගැනීම සදහා සාහිත්‍යයක් කොට ගැනීමය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...