මම ලසිත් මාලිංගට කැමතිය. ඔහුගේ දක්ෂතාවයට, ආක්‍රමණශීලී ක්‍රීඩා
විලාසයට, කිසිවෙකු මායිම් නොකරන නොදැමුණු ස්වභාවයට, ඕනෑම මොහොතක තරඟයක්
සම්පූර්ණයෙන්ම කණපිට පෙරළීමට පවත්නා හැකියාවට මම ඉතා කැමතිය. ඒ අතින් ගත්
කල දක්ෂ වේගපන්දු යවන්නෙකු සතුව තිබිය යුතු සියළුම ලක්ෂණ ඔහු තුල තිබේ.
නමුත් නායකයෙකු ලෙස පැවැතිය යුතු ලක්ෂණ ඔහු තුල ඇතැයි යමෙකු පවසන්නේ නම්,
ඔහුගෙන් "හොඳටම විශ්වාසද?" ඇසීමට මම කිසි සේත් මැළි නොවෙමි.
ඔහු
තුල නායකයෙකු තුල තිබිය යුතු එක් ලක්ෂණයක් පමණක් අඩු නැතිව තිබේ. එනම්
තමන්ගේ කොටස උපරිමයෙන් ඉටු කර තමා යටතේ ක්‍රීඩා කරන අන් අයට ආදර්ශයක්
සැපයීමයි. නමුත් එපමණක් ප්‍රමාණවත් නොවේ. අනෙක් ක්‍රීඩකයන් වෙතින් උපරිමය
ඉටු කරවා ගැනීමේ කලාව නායකයෙකු දැන සිටිය යුතුය. එය ලසිත් මාලිංග තුල
පිහිටා ඇති බවක් පෙනෙන්නට නැත.
ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ
නායකත්වයට පත්වන්නේ අප විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ තරඟාවලිය
අතරතුරය. එබැවින් ලෝක කුසලානය දිනූ විස්සයි 20 නායකයා බවට ලසිත් මාලිංග
පත්විය. එබැවින් ඔහු අර්ජුන රණතුංග හා සමාන යැයි කෙනෙකුට කිව හැකිය. ලෝක
කුසලාන දිනූ නායකයෝ යන අර්ථයෙන් ගත්කල එවැනි සමානත්වයක් ඇති බව සත්‍යයකි.
නමුත් ලසිත් මාලිංග දෙස බැලූ කල ඔහු තුලින් අති විශිෂ්ට වේගපන්දු යවන්නෙකු
මිස දක්ෂ නායකයෙකු දැකීමට මම අසමත් වෙමි.
ලෝක කුසලානය ජයග්‍රහණය
කරන අවස්ථාව වන විට කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අති විශිෂ්ට
නායකයන් දෙදෙනා සහ තිලකරත්න ඩිල්ෂාන් නම් අති විශිෂ්ට තුන් ඉරියව්
ක්‍රීඩකයා යන තිදෙනාම කණ්ඩායමේ සිටියෝය. එකළ සැබැවින්ම ඒ මොහොතේ කණ්ඩායමේ
නායකයා කවුරුන් වුවද අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ සිදුකිරීම සඳහා සියල්ලෝම දායක
වන ස්වභාවයක් දක්නට ලැබුණි. ඉහත නම් සඳහන් කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාම
තම අත්දැකීම් සහ දක්ෂතා කණ්ඩායමේ අභිවෘද්ධිය උදෙසා නොමසුරුව ලබාදෙන ලදී.
එක් අවස්ථාවක පිතිකරුවෙකු ආබාධයකට ලක්වී කඩුළු අතර දිව යාමට අපහසු තත්වයට
පත්වූ කල ඔහු වෙනුවෙන් කඩුළු අතර දිවීමට පිටියට පැමිණියේ මහේල ජයවර්ධනයි. ඒ
මහේලට වඩා වේගයෙන් කඩුළු අතර දිව යා හැකි ඔහුට වඩා තරුණ කණිෂ්ඨ ක්‍රීඩකයන්
රැසක් කණ්ඩායමේ සිටියදීය. නමුත් අවශ්‍යතාවය කඩුළු අතර දිවයාම පමණක් නොවේ.
මහේල ජයවර්ධන පිටිය තුල සිටී නම් අනෙක් ක්‍රීඩකයන් ලවා අවශ්‍ය දෙය
කරවාගැනීමේ අපූරු හැකියාවක් එනම් "කියලා ගස්සවා ගැනීමේ හැකියාවක්" ඔහුට
තිබීමයි. එම ගුණය අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර මෙන්ම
ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයේ මුල් අවධිය තුලද දක්නට ලැබුණි. මාලිංගට එය
තිබේද? මම නම් දැක නැත.
කෙතරම් ලෝක පූජිත පන්දු යවන්නෙකු වුවද
ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක මුත්තයියා මුරලිදරන් නායකත්වයට පත්කලේ නැත.
මුරලිදරන් එය බලාපොරොත්තු වූ බවක් හෝ එය ඉටු නොවීමෙන් අමනාපව සිටි බවක්ද
අප අසා නැත. මුරලි කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවද කෙතරම් විනෝදාත්මක
මිනිසෙක් වුවද ඔහු නායකත්ව අමුද්‍රව්‍යවල නිමැවුමක් නොවන බව (not
leadership material) බව තේරීම් කමිටුව මෙන්ම මුරලිද හොඳින් දැන සිටියෝය.
සචින් තෙන්දුල්කාර් කෙතරම් දක්ෂ පිතිකරුවෙකු වුවද කිසිදා සාර්ථක නායකයෙකු
ලෙස සැලකෙන්නේ නැත. ඕස්ට්‍රේලියානු සුපිරි වේගපන්දු යවන්නා ග්ලේන්
මැග්‍රාත් ඔහු ක්‍රීඩා කරන සමයේ සිටි සියලුම පිතිකරුවන්ගේ දුර්වලතා
අතැඹුලක් සේ දැන සිටියෙකි. ඒවායෙන් ඉතාම නිර්මාණශීලී උපක්‍රම මගින්
ප්‍රයෝජන ගත් අයෙකි. නමුත් නායකත්වයට ඔහුගේ සුදුසුකමක් සාකච්ඡාවට හෝ භාජනය
වී නැත. දක්ෂතම ක්‍රීඩකයා යනු නායකත්වයට සුදුස්සා නොවේ. නායකත්වය ක්‍රීඩාවේ
දක්වන දක්ෂතාවයට එහා ගිය භුමිකාවකි.
පාසල් කණ්ඩායමක දක්ෂතම
ක්‍රීඩකයා නායකත්වයට පත්කිරීම එතරම් ගැටලුවක් නොවිය හැකිය. මන්ද ඔහු
බොහෝවිට නායකයා ලෙස පෙනී සිටින්නේ කාසිය වාසිය උරගා බැලීමේදී පමණක් වන
බැවිනි. අන් සෑම අවස්ථාවකම පාහේ සියල්ල සිදුවන්නේ පුහුණුකරු සහ ක්‍රීඩා භාර
ආචාර්යවරයාගේ කැමැත්ත පරිදි වේ. නමුත් ජාතික කණ්ඩායමක එසේ නොවේ. නායකත්වයට
පත්වන ක්‍රීඩකයා ක්‍රීඩාවෙහි ප්‍රාමාණික දක්ෂයෙකු වීමට අමතරව නායකත්ව
ගුණාංග සහිත පුද්ගලයෙකු වීම අත්‍යවශ්‍ය වේ. නැතහොත් කෙතරම් පෘතුල දක්ෂතා
සහිත ක්‍රීඩකයන්ගෙන් පිරි කණ්ඩායමක් වුවද ජයග්‍රහණය වෙත කේන්ද්‍රගත
කරගැනීමට නායකයා අසමත් වනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙකී
කේන්ද්‍රගත ගුණය පසුගිය වසර ගණනාව පුරාම ගිලිහී තිබෙනු දක්නට ලැබුණත්
දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ යම් අයුරකින් කණ්ඩායමේ සියලු ප්‍රබලතා එක
අරමුණකට ඒකාත්මික වනු දක්නට ලැබුණි. පසුගියදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමග
පැවති එක්දින තරඟාවලියේදී විශේෂයෙන්ම පොදු අරමුණ වූ ජයග්‍රහණය උදෙසා
සියල්ලෝම හැකි උපරිම ලෙස දායක වනු ඇස් පනා පිට පෙනුණි. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයා
වූ ඇන්ජෙලෝ මැතිව්ස් පවා නිරන්තරයෙන් නායකයා සමග සාකච්ඡා කරමින් දැඩි
උනන්දුවකින් කටයුතු කරනවා පෙනුණි.
එහෙත් විස්සයි 20 තරඟාවලිය තුල
නැවතත් ක්‍රීඩකයන් තම තමන්ගේ පාඩුවේ තම තමන්ගේ භූමිකාවන් පමණක් ඉටුකර පසෙකට
වී සිටින බවක් දකින්නට ඇත. එහිදී නායකයාට සහයෝගය දීම අනෙක් ක්‍රීඩකයන්ගේ
වගකීම යැයි කෙනෙකුට කිව හැකිය. නමුත් මම විශ්වාස කරන ආකාරයට වගකීම මත
ක්‍රීඩකයන්ගේ සහයෝගය ලැබිය යුතු යැයි කල්පනා කිරීමට වඩා දායක්තවය උපරිමයෙන්
දියයුතු බවට ක්‍රීඩකයන් තුල පෙළඹවීමක් ඇතිකිරීම නායකත්වයේ අත්‍යවශ්‍යම
ගුණාංගයයි. මන්ද ක්‍රීඩා කණ්ඩායමක නායකත්වය යනු සෑම ක්‍රීඩකයෙකුටම තම
ක්‍රීඩා ජීවිතයේ යම් අවස්ථාවක ලැබිය යුතු ගරු තනතුරක් නොවේ. එය ලැබිය
යුත්තේ එයට සුදුසු නායකත්ව ගුණාංග ඇති අයට පමණි. කණ්ඩායමේ දක්ෂතමයා වුවද
නායකත්ව ගුණාංග නොමැති නම් නායකත්වය දැරීමට සුදුස්සෙකු නොවන්නේමය.
මෙම තත්වය ක්‍රිකට් පරිපාලයකයන්ටත් වඩා මාලිංග විසින්ම වටහා ගැනීම වටී.
මන්ද ඔහුගේ ස්වභාවය අනුව ලසිත් මාලිංග යනු නායකත්වයෙන් ඉවත් කරන්නේ නම්
ක්‍රීඩාවෙන්ද සමුගන්නා බවට තර්ජනය කිරීමට පවා අධික සම්භාවිතාවයක් ඇති
ක්‍රීඩකයෙකු බැවිනි.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment