Monday, April 13, 2020

අනෙකා හදන්නට යාම

(2018 නොවැම්බර් 26 වැනි දිනැති පොස්ටුවකි)

අද කෑම කන්න වාඩි වුණා. මම වාඩිවෙන තැනට කෙලින් ටීවී එක දාල තියනව. ඒකෙ දුවන ළමයා කියල සිංහලෙන් හඩ කවපු ඉන්දියන් ටෙලියක් යනව. කන ගමන් නිකමට වගේ ඒ දිහා බැලුණ. ඒකෙ ලොකු ගිනි විජ්ජුම්බරයක්. කවුදෝ කෙල්ලෙක් ජාතියට ලැජ්ජා කළා කියල පූජකවරු වගේ පේන ආච්චිලා ටිකක් ඇවිල්ල ඒ කෙල්ලට කෑ කෝ් ගහල බැණල මූණ කළු කරන්න හදනව. ඒ ටික වෙන්න කලින් මං නැගිටල ආව. ඒ හින්දා කළු කිරීමේ සාර්ථක අසාර්ථකභාවය දැක්කෙ නැහැ.

ඉන්දියාවෙ විතරක් නෙවෙයි. පෙරදිග ලෝ්කයේ ගොඩක් රටවලට ආවේණික අවුලක් එතැන තිබුණයි කියල මට හිතුණ. ඒ තමයි අනෙකා හදන්නට යාම. තමාට ජීවිතය ගැන තියෙන මිමි, සීමා මාලක, ආචාර ධර්ම, ඇදහිළි විශ්වාස වලට අනුව අනෙකා ජීවත් විය යුතුයැයි හිතීම. තම තමන් සම්මතයෙහි පිහිටන්න කලින් ගොඩක් අය හදන්න යන්නෙ අනෙකාව. ඒකත් තමන්ගෙ තියරි වලට අනුව. ඒ තියරි අනෙකාට කොයි තරම් දුරට අදාළද? ඒවා පිළිබද අනෙකාගෙ හිතේ ඇති හැගීම මොකක්ද? වගේ දේවල් සත පහකට මායිම් නොකර සම්මතය කියල කවුරුහරි තීරණය කරපු යම් විදියකට අනෙකා ජීවත් විය යුතුයි, එහෙම ජීවත් නොවෙන උන්ට පාඩම් ඉගැන්වීමේ අයිතිය තමා සතුයි කියල තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ.

සමාජයක් වශයෙන් ජීවත් වෙනකොට යම් සම්මතයක් තිබිය යුතු බව ඇත්ත. නැත්නම් සමාජයක් ලෙස පවතින්න බැහැ. නමුත් ඒවා පොදුවේ සමාජයේ අනෙක් අයට ඍජු හානි වන දේවල් සම්බන්ධයෙන් පමණක් තබාගැනීම හොදටම ප‍්‍රමාණවත්. ඒකට තමයි නීති රීති පණවල තියෙන්නෙ. ඇතැම් සිරිත් විරිත් තියෙන්නෙත් ඒකට. නමුත් ඒ නීති රීති වලින් සිරිත් විරිත් වලින් කෙනෙකුගෙ පුද්ගලික රුචි අරුචිකම් තව කෙනෙකුට හානියක් නොවන පෞද්ගලික හැසිරීම් රටා ආදිය පාලනය කළයුතුයි කියල හිතනව නම් ඒක බරපතළ ගැටලුවකට මග පාදනව.

උදාහරණයක් ලෙස කෙනෙක් අදින පළදින විදිය, ඇවිදින විදිය, කොණ්ඩ මෝස්තරය, ඇගේ ගහල තියන පච්ච, රූපලාවන්‍ය උපකරණ ආදිය භාවිතා කරන විදිය, කතාබහ කරන විදිය, කතාකිරීමට භාවිතා කරන භාෂාව සහ බස හසුරුවන ශෛලිය, කන්න කැමති කෑම වර්ග, අකමැති කෑම වර්ග, කියවන්න කැමති පොත්පත්, බලන්න කැමති ටෙලිනාට්‍ය චිත‍්‍රපට, මත්පැන් බීමට ඇති කැමැත්ත අකමැත්ත, බීමට කැමති මත්පැන් වර්ගය, ලිංගික ලැදියාව වගේ අති පෞද්ගලික වෙනත් කෙනෙකුට බලපෑමක් නොවන කාරණා සම්බන්ධයෙන් වෙනත් අයට බලපෑමක් නොවන පරාසයක් ඇතුලේ ක‍්‍රියාත්මක වන තාක්කල් බලපෑම් කරන්න recommendation දෙන්න හුදී ජනයාට අයිතියක් නෑ. ඒත් එහෙම recommendation ගන්න ආස කෙනෙකුට තමන් කැමති කෙනෙකුගෙන් recommendation ගන්නත් බාධාවක් නැහැ. හැබැයි එහෙම සමහරු ආස වුණ පළියට පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් හැමෝටම recommendation දෙන්න ගියොත් වෙන්නෙ ලොකු අවුලක්.

සාමාන්‍යයෙන් දියුණු යැයි සළකන රටවල මිනිස්සු අනික් මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතයට එබිකම් කරන්නෙ එකෙ අඩුපාඩු හොයන්න යන්නෙ ඒව හදන්න යන්නෙ නැතුවම නෙමෙයි. ඒත් බොහොම අඩුවෙන්. එහෙමයි කියල ඒ පුරුද්දෙන් ඒ රටවලට පාඩුවක් වෙලා නැහැ කියන එක බැලු බැල්මටම පේන්න තියන දෙයක්නෙ.

පොදු කාරණා සම්බන්ධයෙන් හැර තමන්ට අදාළ නොවන අනිත් අයගේ ජීවිත වල පුද්ගලිකත්වයේ සීමාවට ඇගිලි ගහන්නට යාම සමාජයෙන්ම ගුටිකන්න වෙන වැඩක් බවට පත්කරපු දවසට, ඒ වගේ අනුන්ගේ පුද්ගලිකත්වයට අදාළ මාතෘකා සම්බන්ධයෙන් නාස්ති කරන කාලය වෙනත් ප‍්‍රයෝජනවත් දෙයකට යොදවන්න අපේ මිනිස්සුත් පෙළඹෙයි.

නමුත් දැනට ලංකාවෙ සමාජයේ තියෙන්නෙ අනුන්ගෙ පෞද්ගලිකත්වයේ සීමාව තුලට පවා එබිකම් කරල බලල ඒකෙ තියෙන සම්මත යැයි තමන් පිළිගත් සීමාවෙන් එපිට තියන දේවල් ප‍්‍රසිද්ධියේම ගැරහුමට ලක් කරල තව මෝඩයො තුන්හතර දෙනෙක් එක්කගෙන ගිහින් අර පොදු ක‍්‍රමයට විරුද්ධව තමන්ගෙ පෞද්ගලිකත්වයේ සීමාව තුල ජීවත් වන මිනිහාට ගහන්න යන තුප්පහි සංස්කෘතියක්.

එහෙම ගහන්න එන උන්ට ගහන්න මතයක් හදන එක සමාජ අවශ්‍යතාවයක්. පෞද්ගලිකත්වයේ අයිතිය වෙනුවෙන්. මම එනව එකෙන්ම.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...