(2018 නොවැම්බර් 28 වැනි දිනැති පොස්ටුවකි)
2015 ජනවාරි 8 වැනිදා බලයට පත්වූ ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන සටන් පාඨයක්
වූයේ රටේ මාධ්‍ය නිදහස සහතික කරන බවය. එය ඒ අවස්ථාවේ තීරණාත්මක
සටන්පාඨයක් වීමට සාධාරණ හේතු රාශියක් තිබුණි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය,
ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, සිරස ආයතනයට පහරදීම, කීත් නොයාර්
පැහැරගෙන ගොස් පහරදීම, පෝද්දල ජයන්තට පහරදීම. ජාතික රූපවාහිනියේ ටී එම් ජී
චන්ද‍්‍රසේකරට පහරදීමද ඇතුළුව ගණනය කළ නොහැකි තරමේ වාර ගණනක් හිරිහැර
හිංසා පීඩා ශ‍්‍රී ලංකාවේ මාධ්‍යකරුවන්ට සිදුවූ කාල වකවානුවකින් පසු
මාධ්‍ය නිදහස සටන් පාඨයක් වීම පුදුමයට කරුණක් නොවේ.
සැබිවින්ම
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමගම ශ‍්‍රී ලංකාවේ
මාධ්‍ය වලට පෙර නොවූ විරූ තරමේ නිදහසක් හිමිවූ බව අසත්‍යයක් නොවේ.
මාධ්‍යවලට සිදුකරන බියවැද්දීම් මාධ්‍යවේදීන්ට පහරදීම් අවම වූවා පමණක් නොව
තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත්කිරීම හා තොරතුරු
දැනගැනීමේ අයිතිය පිළිබදව පනත සම්මත කිරීම හරහා විමර්ශනාත්මක මාධ්‍ය
සංස්කෘතියක් ඇතිවන්නේ නම් ඒ සදහා වුවමනාවටත් වඩැ වැඩි ඉඩකඩක් විවර වී
තිබිණි.
මාධ්‍ය නිදහස සටන් පාඨයක් බවට පත්කළද නිදහස් මාධ්‍ය
සංස්කෘතියක් ඇතිකරගැනීම සදහා මාධ්‍යකරුවන් සවිබලගැන්වීම සටන් පාඨයක්
නොවීමේ ආදීනව අද සමස්ථ ශ‍්‍රී ලංකාවටම විදදරා ගැනීමට සිදුවී තිබේ.
මාධ්‍ය නිදහස යන වචනයේ ඇති අප‍්‍රමාණික පුළුල් බවෙන් සැබැවින්ම ප‍්‍රයෝජන
ලබාගත්තේ මාධ්‍යවේදීන් නොව මාධ්‍ය ආයතන හිමිකරුවන් වේ. ඔවුන් ඉතා
ආත්මාර්තකාමී අන්දමින් තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍රවල සදහන් කටයුතු
සාක්ෂාත් කරගැනීම සදහා මාධ්‍ය අවියක් කොටගත්හ. අද වන විට ශ‍්‍රී ලංකාවේ
විද්‍යුත් රූපමය මාධ්‍යජාලා අතුරින් වැඩිම දෙනෙක් නරඹන්නේ යැයි කියන ලබන
දෙරණ, හිරු සහ සිරස මාධ්‍ය ජාලා වල පුවත් පැහැදිළි ලෙසම එළිපිටම මාධ්‍ය
ආයතනයක් වශයෙන් ඔවුන් සහයෝගය දක්වන දේශපාලන නඩය වෙනුවෙන් පෙනී සිටිනු
ලැබේ.
එක අතකට ඉංග‍්‍රීසි අකුරු තුනයි හිස්තැනක් තබා අංකයක් යොදා
ඉලක්කම් හතරක අංකයකට හැකිතාක් එස් එම් එස් කරන්නට යැයි කියා එයට ජනතා
පරමාධිපත්‍යය යැයි කියන මාධ්‍ය මුදලාලිලාට මාධ්‍ය නිදහස සහ නිදහස් මාධ්‍ය
සංස්කෘතිය නොතේරීමේ පුදුමයක්ද නැත.
ලොව පිළිගත් ප‍්‍රකට මාධ්‍ය
ජාලා තමන්ගේ නරඹන්නන් සංඛ්‍යාව වැඩිකොටගෙන ඇත්තේ පුද්ගලික ලැදියාවන් පසෙකලා
සෑම ප‍්‍රවෘත්තිමය වටිනාකමකින් යුතු කාරණයක්ම විමර්ශණශීලී ලෙසත්
අභියෝගාත්මක ලෙසත් විවේචනාත්මක ලෙසත් නිර්දය ලෙසත් වාර්තා කිරීම හේතුවෙනි.
නමුත් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය තමන්ගේ නරඹන්නන් වැඩිකරගෙන ඇත්තේ නරඹන අයට
එළිපිටම කෑෂ් වලින්ම අල්ලස් දීමෙනි. මෙම අල්ලස් දීම එළිපිට සිදුකරනවා පමණක්
නොව එය ඔවුන්ගේ නාලිකා වල ඇතැම් විට සජීවීව පෙන්වීමට තරම් මෙම නාලිකා පහත්
තත්වයට වැටී ඇත. තවද ඇතැම් නාලිකා තමන්ගෙ ප‍්‍රවෘත්ති වාර්තාකරණ වගකීම
ඉටුකිරීමෙන් නොව සමාජසේවා කටයුතු වල යෙදීමෙන් නරඹන්නන් සංඛ්‍යාව
වැඩිකරගැනීමට උත්සාහ දරනුද පෙනේ. සමාජසේවා කටයුතු වලදී මාධ්‍ය නාලිකා
මූලිකත්වය ගැනීමේ හෝ රටේ ආපදා අවස්ථා වලදී සහන සේවා සැලසීම සම්බන්ධීකරණය
කිරීමට ඉදිරිපත් වීමේ කිසිදු සදාචාරාත්මක වරදක් නැතත් ශ‍්‍රී ලංකාවේ
සිදුවන්නේ ඒ හරහා තම තමන් මාකට් කරගැනීමේ සහ පාරට්ටු කරගැනීමේ නිහීන
ක‍්‍රියාවක් වීම ඛේදජනකය.
ප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක භූමිකාව
වාර්තා කිරීමය. එහිදී මාධ්‍යකරුවාට පැත්තක් තිබිය නොහැක. විවිධ හේතූන් මත
සගවන කාරණා තිබිය නොහැක. ලොව පූජිත මාධ්‍ය ආයතනයන්හි ජගත් සම්භාවනාවට
පාත‍්‍ර වූ මාධ්‍යකරුවන් ශ්‍රේෂ්ඨ පෞරුෂයන්ට හිමිකම් කියන්නන් වේ. එය
ශ‍්‍රී ලංකාවේ මෙන් රැවුලෙන් කද බඩේ සයිස් එකෙන් මනින පෞරුෂයක් නොව මුදල්
වරදාන වරප‍්‍රසාද වලට ඉහළින් මාධ්‍ය කරුවන් ලෙස තම ප‍්‍රතිරූපය තබාගැනීම
හරහා ඇතිවූ පෞරුෂයකි.
2015දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්තරා
බරපතළ වරදක් කළේය. ඒ සමාජජාලා සදහා විශේෂයෙන් ෆේස්බුක් සදහා ප‍්‍රමාණවත්
බරක් නොතැබීමයි. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් වාර්තා නොකිරීමට ඔවුන්
ස්වයංව වාරණය කරගන්නා බොහෝ කරුණු කිසිදු වාරණයකින් තොරව සමාජ ජාලා ඔස්සේ
නිදහසේ ගලා ඒම ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට වඩා සමාජ ජාලා මාධ්‍ය කෙරෙහි
විශ්වාසය තැබීමට විචාරශීලී පාවෙන ඡන්දදායකයා පෙළඹවීය. 2015 ජනවාරි 8
වැනිදාට පෙර ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ මතය වූයේ ෆේස්බුක් විප්ලව වලින්
ආණ්ඩු පෙරළිය නොහැකිය යන්නයි. නමුත් එසේ සිතූ බොහෝ දෙනාගේ නළල රැළිගන්වමින්
ජනවාරි 08 පෙරළියේ තීරණාත්මක භූමිකාවක් ෆේස්බුක් හරහාද ඉටුවිණ.
එහි
ප‍්‍රතිඵලය වූයේ ප‍්‍රධාන ධාරාවේ තිබූ මාධ්‍යවලට සීමාවී පැවැති විකෘතිය
සමාජ ජාලාද ආක‍්‍රමණය කිරීමය. වර්තමානයේ සෑම ක‍්‍රියාකාරී දේශපාලනඥයෙකුටම
පාහේ සමාජ මාධ්‍ය කැම්පේන් ටීම් එකක් ෆේස්බුක් ගිණුම් දහ පහළොවක් පමණක් නොව
ඊනියා ප‍්‍රවෘත්ති වෙබ් අඩවි අඩුම වශයෙන් එකක්වත් ඇත. ඒ ප‍්‍රවෘත්ති වෙබ්
අඩවි හරහා ඔවුන්ට සමාජගත කිරීමට සිතෙන සත්‍ය අසත්‍ය සුරංගනා කතා හොල්මන්
කතා සියල්ල කිසිදු වාරණයකින් තොරව ප‍්‍රවෘත්තිමය විටිනාකමක් අන්දවා පළකරති.
මෙය සමාජජාලා වල පැවැති තොරතුරු ගලා යාමේ ක‍්‍රියාවලියේ මීට වසර
තුනහමාරකට පෙර පැවැති ගූණාත්මකබව සෑහෙන තරමට අඩු කිරීමට හේතු විය. කෙසේ
වෙතත් සමාජ මාධ්‍යයට දොස් පැවරීමට කිසිවෙකුට හැකියාවක් නැත්තේ ඒවා හරහා තම
පුද්ගලික මත පළකිරීම කිසිවෙකුට සීමා කළ නොහැකි නිසා නොව ඒවා ඇත්තේ පුද්ගලික
මත පළකිරීම සදහාම වන නිසාය.
සමාජ මාධ්‍ය වල තත්වය ඒසේ වුවද
ප‍්‍රධාන ධාරාවේ පිළිගත් ජනමාධ්‍ය වලට එකී නිදහසට කරුණ කරපින්නා ගැනීමේ
අයිතියක් නැත. ඔවුන් රටේ ලියාපදිංචි වූ පිළිගත් ජනමාධ්‍ය වශයෙන්
ජනමාධ්‍යකරුවෙකුගේ භූමිකාව යැයි ලෝකය පිළිගත් මෙහෙවරක් ඉටුකිරීමට බැදී
සිටින බැවිනි. 2018 ඔක්තෝබර් 26 වැනිදා සිට මේ දක්වා ගතවූ මසකට ආසන්න කාලය
තුල රටේ සැබැවින්ම සිදුවන තත්වය උකුසු ඇසකින් (eagle eye view)
අපක්ෂපාතීව කිසිදු මාධ්‍යයක් වාර්තා කළේ නැත. මේ මොහොත දක්වාම සිදුවූයේ
කුමක්ද යන්න පිළිබදව රටේ ජනතාවගේ සියයට හැත්තෑවක පමණ පිරිසක් සිටින්නේ
පැහැදිලි අවබෝධයකින් නොව මාධ්‍ය මුදලාලිලාගේ දේශපාලන න්‍යාය පත‍්‍ර මත
ඔවුන් තුලට කාවද්දන ලද පරිදි මේ මොහොතේ තමන් ප‍්‍රවෘත්ති බලන මාධ්‍ය
නාළිකාවේ හිමිකරුවා කැමති දේශපාලන පක්ෂය හරිදේ කරමින් සිටී අනෙක් සියල්ලෝ
වැරදිය යන සාවද්‍ය මතයේය.
ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට තෙමිච්ච
කුකුලෙක් තරමටවත් නොවටිනා උකුස්සන් සිටින බව කියනු ලැබේ. ඔවුන්ගේ
උකුස්සන්ට CIA වලට සහ විමර්ශන වලට පෙනෙන්නේ ගල්කිස්සේ පොලීසියෙන් ගණිකා
මඩමක් වටලා ගණිකාවන් පොලිසියට රැගෙන යන විට ඔවුන් ලැජ්ජාවෙන් මුහුණවල්
වසාගෙන කෙටි ඇදුම් වලින් අඩ වශයෙන් ආවරණය වූ අග පසග වසාගැනීමට දරණ
උත්සාහයන් පමණි.
කෙසේ වෙතත් මාධ්‍ය නිදහස මාධ්‍ය ආයතන හිමිකරුගේ
දේශපාලන න්‍යායපත‍්‍රයෙන් එහා දෙයක් ජනතාවට පෙන්වීම වාරණය කළද ඒවායේ සිටින
ඇතැම් ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් ඔවුන්ට නිදහස් මාධ්‍ය සංස්කෘතිය පිළිබදව
යම් අවබෝධයක් ඇති බව ඇතැම් සංකේත වලින් විදහා පාන බව ඉතා දැඩි පුද්ගලික
දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව ප‍්‍රවෘත්ති වනමින් සිටින මාධ්‍ය ආයතනයක
සේවය කරන මාගේ මිතුරෙකු මට පැවසීය.
ඔහු පැවසූ දෙය ඔහුගේ වචන වලින්ම මෙසේය.
"මචං මේ වෙලාවෙ කවුද අගමැති කියල මිනිස්සුන්ට නෙවේ අපිටත් පැහැදිලි නෑ.
ඒත් අපේ නිවුස් වල හොදට බලපං ඇත්තමට අගමැති කියල අපි හිතන කෙනාට විතරයි අපි
"ගරු" කියල පාවිච්චි කරන්නෙ. අනිත් එක්කනාට නිකම්ම තනතුර එක්ක නම විතරයි
කියන්නෙ. ඒක wording කරන උන් හිතලම කරන වැඩක් අර අහවල් චැනල් වලත් එහෙමමයි.
ඩිරෙක්ටර්ලා බයිල ගැහුවට අපිට කරන්න පුළුවන් පොඩි පොඩි වැඩ තමයි ඒවා."
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ‍්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment