ක්‍රිස්ටීන් කීලර් සම්බන්ධ සිදුවීම 1963 දී පමණ එංගලන්ත දේශපාලනය උඩු
යටිකුරු කළ සිදුවීමක්. හැරල්ඩ් මැක්මිලන්ගෙ කොනසවර්ටිව් ආණ්ඩුව දෙදරන්න
බරපතළම හේතුව විදියට සැළකෙන්නෙ කීලර් සිද්ධිය.
ක්‍රිස්ටීන්
මාග්‍රට් කීලර් උපත ලබන්නෙ 1942 පෙබරවාරි 22 වැනිදා එංගලන්තයේ මිඩ්ල්සෙක්ස්
ප්‍රාන්තයේ. කළාතුරකින් පිහිටන ආකාරයේ සුන්දර රූසපුවක් හිමි ඇය වයස 15දී
මෝස්තර නිරූපිකාවක් වශයෙන් ලන්ඩනයේ ඇඟලුම් වෙළඳසැලකට සම්බන්ධ වෙනවා. නමුත්
ඇමරිකානු සොල්දාදුවෙකු සමග පැවැති සම්බන්ධතාවයක් හේතුවෙන් ඇය වයස 17දි
ප්‍රසූත කරන දරුවා මියයනවා.
ඉන්පසු ලන්ඩනයේ බේකර් වීදියේ අවන්හලක
සේවිකාවක් වශයෙන් සේවය කරන ඇයට මොරීන් ඕකොනර් විසින් "Murray's Cabaret
Club" හි හිමිකරු පර්සි මරේ හඳුන්වා දීමත් සමගම ඇගේ ජීවිතය වෙනස් වෙනවා.
ක්‍රිස්ටීන් කීලර්ගෙ සුන්දර රූසපුව හේතුවෙන් පර්සි මරේ ඇයව වහාම තම ආයතනයේ
සේවිකාවක් වශයෙන් බඳවාගන්නවා. එහිදී ඇගේ භූමිකාව වන්නේ උඩුකය නිරුවත්ව
රංගනයේ යෙදීම සහ පැමිණෙන අමුත්තන්ට කෙටි ඇඳුම් වලින් සැරසී වේටර් වරියක්
ලෙස සේවය කිරීම.
ඇයට ඉංග්‍රීසි ජාතික කළාකරුවෙකු වන ස්ටීවන් වෝඩ්
මුණගැසෙන්නේ පර්සි මරේ ළඟ සේවය කරන කාලයේදි. ඔහු වහාම ක්‍රිස්ටීන් කීලර්ට
තමන්ගේ කළාකෘති සඳහා නිරූපිකාවක් වන්නට ආරාධනා කරනවා. ඒ හරහා ඇතිවන
සම්බන්ධතාවය මත කීලර් සහ වෝඩ් අතර ඉතාම සමීප සම්බන්ධතාවයක් ඇතිවෙනවා.
අන්තිමට ඔවුන් එක නිවසක එකට ජීවත් වීමටත් බාහිර සමාජය ඉදිරියේ යුවළක් ලෙස
පෙනී සිටින්නටත් පටන්ගන්නවා. නමුත් කීලර් පසුව ප්‍රකාශ කර ඇති පරිදි වෝඩ්
සහ තමා අතර ඇතැම් විට ආදරයක සේයාවක් පැවතියා විය හැකි වුණත් ලිංගික
සම්බන්ධතාවයක් කිසිදාක ඇති වී නැහැ.
වෝඩ් එක්තරා ආකාරයක අමුතු
පුද්ගලයෙක්. ඔහු කීලර්ව තම පෙම්වතිය ලෙස තැන් තැන් වල කැටුව යාමටත් ඇය
තමාගේ හිතවතුන් අතර ඇඳුම් අඩුවෙන් අඳින සරාගිනියක් ලෙස හැසිරෙනු දැකීමටත්
කැමැත්තක් දැක්වූ අයෙක්. වෝඩ්ගේ හිතවතුන් නිවසට පැමිණි අවස්ථා වලදී
ක්‍රිස්ටීන් කීලර් බොහෝ අවස්ථා වල ඔවුන් අතර ඉතාම කෙටි ඇඳුම් වලින් සැරසී සිටි බවත්
ඇතැම් අවස්ථා වල නිරුවතින්ම සිටි බවත් පැවසෙනවා. මේ හේතුවෙන් ස්ටීවන් වෝඩ්
යනු කීලර්ගේ පෙම්වතා නොව ඇයට ගණිකාවක් ලෙස කටයුතු කිරීම සඳහා තැරැව්කරුවා
නොහොත් කීලර්ගේ පිම්පියා වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු බවටත් පසුව චෝදනා
එල්ල වෙනවා.
ස්ටීවන් වෝඩ් විසින් හැරල්ඩ් මැක්මිලන්ගේ රජයේ ආරක්ෂාව
සම්බන්ධ ප්‍රබල අමාත්‍ය ධුරයක් හෙබවූ ජොන් ප්රොපියුමෝට කීලර් හදුන්වා
දෙන්නේ 1961 වසරේ බකිංහැම්ෂයරයේ ක්ලීව්ඩන්හි ඇස්ටර් සාමිවරයාට අයත්
මන්දිරයක පැවති සාදයක් අතරතුරදී.
මෙය පැහැදිලිව සහ ඍජුවම කෙරුණු
හදුන්වා දීමක් නොව ක්‍රිස්ටීන් කීලර් හඳුනාගැනීමේ අවශ්‍යතාවය ජොන්
ප්රොපියුමෝට ඇතිකොට ඉන්පසුව සැළසුම් සහගතව කළ හඳුන්වා දීමක් බවද පැවසෙනවා.
මන්ද පිහිනුම් තටාකයක් අසළ පැවති මෙම සාදයේදී සම්පූර්ණයෙන්ම නිරුවතින්
පිහිනීම කරන ලෙස කීලර්ට පවසන්නේ වෝඩ් විසින්. ඉන්පසු තටාකයෙන් ගොඩවී තුවාය
ඇඳගැනීමට යාමේදී වෝඩ් ඉතාම අකාරුණික ලෙස කීලර්ගේ තුවාය ඉවතට විසි කරනවා.
මුළු සාදයේම සිටින සියලු දෙනාගේ අවධානය වහාම කීලර්ට යොමු වෙනවා. එතැන සිටි
බලවත්ම පුද්ගලයෙකු වන ජෝන් ප්රොපියුමෝගේ හිතේ එම සිදුවීම හේතුවෙන් කීලර්ව
ඉතාම තදින් සනිටුහන් වෙනවා.
ඉන්පසුයි වෝඩ් විසින් ප්රොපියුමෝට
කීලර්ව හඳුන්වා දෙනු ලබන්නේ. කීලර් පිළිබඳව සිතේ ඇතිවූ කැළඹීම පරාජය කරන්නට
පිරොපියුමෝ අසමත් වෙනවා. ඔහු උත්සාහයෙන් කීලර් සමග සම්බන්ධතාවයක්
ගොඩනගාගන්නවා. කීලර්ගෙන් සහ වෝඩ්ගෙන් එයට ලැබෙන්නේ සතුටුදායක අනුබලයක්.
සීතල යුද්ධය සමයේ එංගලන්තයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින ප්‍රබලම
අමාත්‍යවරයාගේ අනියම් භාර්යාව බවට කීලර් පත්වන්නේ ඒ අයුරින්. එය
ප්‍රසිද්ධියට පත්වූ පසු ප්රොපියුමෝ මුලින්ම කීලර් සමග තමාගේ සම්බන්ධතාවය
ප්‍රතික්ෂේප කළත් පසුව ඔහුට එය පිළිගන්නට සිදුවෙනවා.
කීලර්ගේ කලින්
සිටි පෙම්වතෙකු කීලර්ගේ තවත් පෙම්වතෙකුට පිහියෙන් ඇනීම හේතුවෙන් ආරක්ෂක අංශ
වල අවධානය කීලර් වෙත යොමුවෙනවා. ඔවුන් කීලර් පිළිබඳව ඉතා ගැඹුරින් සොයා
බලන්නේ ඒ අනුව. කීලර් ප්රොපියුමෝ සමග සබඳතාවය පවත්වන අතරතුරදීම ස්ටීවන්
වෝඩ්ගේ තවත් මිතුරෙකු වූ සෝවියට් ආරක්ෂක අංශ වලට සම්බන්ධ යෙව්ගිනි ඉවානොව්
සමගද සම්බන්ධතා පවත්වා ඇති බව හෙළිදරව් වෙන්නෙ ඒ අනුව.
ගින්න
පටන්ගන්නෙ එතනින්. එංගලන්ත ආරක්ෂක ඇමතිවරයාගේ අනියම් බිරිඳ, සෝවියට්
නිලධාරියෙකු හා සම්බන්ධතා පැවැත්වූ බවට හෙළිදරව් වීමෙන් එංගලන්ත දේශපාලනය
දෙදරුම්කනවා. ඒ හේතුවෙන් තම සහෝදර දේශපාලනඥයන් අතර ජොන් ප්රොපියුමෝ ඉතාම
දැඩි අපකීර්තියට පත්වනවා පමණක් නොව මේ සිදුවීම හරහා රටේ ආරක්ෂාව හා සම්බන්ධ
සංවේදී තොරතුරු සෝවියට් දේශයට ලැබී ඇත්තේද යනුවෙන් දැඩි කතාබහක් ඇතිවෙනවා.
ඒ කතාබහ තුල ප්රොපියුමෝ අමාත්‍ය ධුරය දරණ ලද හැරල්ඩ් මැක්මිලන්ගේ ආණ්ඩුවේ
ජනප්‍රියතාවය සහ විශ්වාසනීයත්වය සීග්‍රයෙන් පහළ බහිනවා.
මේ හා සමගම
ක්‍රිස්ටීන් කීලර්ව ගණිකා වෘත්තියේ යොදවා මුදල් ඉපයූ බවට ස්ටීවන් වෝඩ්ට
එරෙහිව නඩුවක් පැවරෙනවා. එම නඩුවෙන් වෝඩ් වරදකරු බවට පත්වෙනවා. නමුත්
තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර නිද්‍රාකාරක ඖෂධයක් අධි මාත්‍රාවෙන් ගැනීම
මගින් ස්ටීවන් වෝඩ් සියදිවි නසාගන්නවා.
ඒ හා සමගම කීලර්
සාක්ෂිකාරියක් වූ නඩුවක ඇය විසින් බොරු සාක්ෂි ලබාදී ඇති බව හෙළදරව් වෙනවා.
එම චෝදනාවට අධිකරණය ඉදිරියේ වරද පිළිගන්නා ඇයට මාස නවයක සිර දඬුවමක් නියම
වෙනවා.
සිර දඬුවමින් පසු නිදහස ලබන ඇය දෙවරක් විවාහ වෙනවා. ඒ
විවාහයන් දෙකම කෙටි කාලයකින් අවසාන වෙනවා. නමුත් ඒ විවාහ දෙකෙන් ඇයට දරුවන්
දෙදෙනෙකු ලැබෙනවා.
පසුකාලීනව එංගලන්තය හෙල්ලූ ඇය සහ ජෝන් ප්රොපියුමෝ අතර සම්බන්ධතාවය ආශ්‍රිතව 1989දී Scandal නම් සිනමා නිර්මාණය බිහි වෙනවා.
ඇය සහ ප්රොපියුමෝ අතර සම්බන්ධය අලලා කීලර් විසින් ඩග්ලස් තොම්සන් සමඟ එක්ව
"Truth at last - my story" කෘතිය රචනා කරනවා. මගේ මතකය නිවැරදි නම් මෙම
කෘතිය "ක්‍රිස්ටීන් කීලර් : කාගෙද වරද?" නමින් සිංහල භාෂාවට පවා පරිවර්තනය
කොට තිබෙනවා.
රටක් ලෝකයක් හෙල්ලූ සුරූපී ක්‍රිස්ටීන් කීලර් වර්ෂ 2017 දෙසැම්බර් 05 දින හැත්තෑපස් වසරක් ආයු වළඳා මිය යනවා.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙ...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
-
රත්න ශ් රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්...

No comments:
Post a Comment