Tuesday, April 14, 2020

වැස්ස



1995
--------
අපි හිටියෙ මාවතගම පිලැස්සේ ඉඳල වැල්ලවායෙ හඳපානාගලට යන ගමන්. 2 වසරෙ හිටපු මම හොන්ඩා CB 125 බයික් එකේ පෙට්රල් ටැංකිය උඩ හිටියෙ ඇඳුම් පුරවපු ස්කූල් බෑග් එකත් මට ඉස්සරහින් තියාගෙන. දෙවනියට අප්පච්චි බයිසිකලය පදවන ගමන්. ඊට පස්සෙ අම්මා ඉඳගෙන හිටියෙ ඔඩොක්කුවෙ අවුරුදු 3ක නංගිත් තියාගෙන අනිත් ඇඳුම් බෑග් එකත් කරේ එල්ලගෙන.

ඒ වෙනකල් මම දැකල තිබ්බ ලොකුම වැස්සට අපි අහු වුණේ. බෙරගල-කොස්ලන්ද පාරෙදි. අර කිවියක තියන විදියෙම දොඹගෙඩි සයිස් වැහි බින්දු එක සීරුවට වැටෙන්න පටන්ගන්නකොට අපි කොස්ලන්ද පහුකලා විතරයි. නවත්තල නොතෙමී ඉන්න තැනක් තිබුණෙ නැති නිසා අපි ගහක් යටට බයිසිකලේ දාල එහෙමම ඉඳන් කුඩ දෙකක් ඉහළගත්ත. මම රතුපාට පොඩි කුඩයක් ඉහළගෙන. අප්පච්චි අම්මවයි නංගිවයි අප්පච්චිවයි තුන්දෙනාම වැහෙන්න ලොකු කුඩේ ඉහළගෙන. කුඩ තිබුණට මමයි අප්පච්චියි අම්මයි වැස්සෙ සැරට තෙමෙනව. නංගිව හොඳට ඔතල කුඩේ මැද හරියට වෙන්න වතුර බිංදුවක්වත් වැටෙන් නැති විදියටයි තියාගෙන හිටියෙ. ඒත් මේ දඩබ්බර කෙල්ල කුඩෙන් එළියට අත් කකුල් දික්කරකර පුළුවන් හැටියට තෙමුණ.

නැවතිල හිටියට වැස්ස නවතින පාටක් නෑ. අනික ජීවිතේට දැකල නැති තරම් ලොකු කූඬැල්ලො එක පොදියට කැරකි කැරකි අපි දිහාට එනව. අපි කුඩ ඉහළගෙන වැස්සෙම පිටත් වුණා. ඇටකටුත් එක්ක වෙව්ලන තරම් හීතල. වැල්ලවායට එනකල්ම වැස්සා. වැල්ලවායෙ හෝටලේකින් උණුවට තේකක් බිව්වට පස්සෙ තමයි වෙව්ලිල්ල නතර වුණේ.

2000
--------
පින්නවල මධ්‍යමහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ වළවේ නිවාසය දිනාගත්තෙ තුන්වෙනි ස්ථානය. හැමදම ක්‍රීඩා උත්සවය ඉවර වුණාට පස්සෙ ළමයින්ගෙ ක්‍රීඩාශීලී හැඟීම හෝදල අධ්‍යාපන මානසිකත්වයට පත්කරන්න වගේ හොඳ තද මුරුගසන් වරුසාවක් වැටෙනව. අනිත් ළමයි ඔක්කොම වගේ ගිහින්. ඒත් වළවේ නිවාසය ඇතුලෙ තවම ජීවයෙන් පිරිල.

තුන්වෙනි ස්ථානය හම්බ වුණාට එක දෙක වෙච්ච අය හිතන්නෙවත් නැති තරම් උද්වේගකර විදියට සිංදුවක් කියල ඒක සමරන්න නිවාස භාර ආචාර්ය මහින්ද සර්ට ආත්ම ශක්තියක් තිබ්බ.

"සෝබන සැන්දෑවේ
සීතල මද පවනේ
ඔබ එනතුරු සිටියා"

සර්ලත් එක්ක, දොළහෙ දහතුනේ හිටපු ධනසිරි අයියල ගයාන් අයියලයි, දහයෙ ව⁣සරෙ වගේ හිටපු නුවන් අයියලයි එක්ක එතකොට හත වසරෙ හිටපු මමත් මොරසූරන වැස්සෙ සද්දෙත් පරදින තරම් හයියෙන් සිංදු කිය කිය නැටුව.

2002
--------
ආපහු නිවාසාන්තර ක්‍රීඩා උළෙල, 17න්පහළ ෆුට්බෝල් අවසාන තරඟය. දඬුවම් පහර. වෙනද ක්‍රීඩා උත්සවේ අන්තිම දවසට එන වැස්ස මෙදා පොටේ කලින් ඇවිත්. වලවේ නිවාසය වෙනුවෙන් හතරවෙනි දඬුවම් පහර එල්ල කරන්න අවශ්‍ය තැන බෝලෙ තියල මම පුරුදු විදියට අඩි තුනක් පස්සට ආව. (ඔව්. මම අවුරුදු 14ක නවය ව⁣සරෙ පොඩි එකෙක් විදියට වලවේ නිවාසයෙ 17න් පහළ කණ්ඩායමට ගැහුව විතරක නෙවෙයි, දඬුවම් පහර ගහන පස්දෙනා අතරත් හිටිය. මම විතරක් නෙවේ. අපේ 15න් පහළ පාසල් කණ්ඩායමේ හැමෝම නිවාස හතරට බෙදිල අපිට වඩා අවුරුදු තුනක් වැඩිමල් අය එක්ක 17න් පහළ ගැහුව. අපිට එච්චරටම ප්‍රබල ටීම් එකක් හිටිය)
වෙනදට දඬුවම් පහර ගහනකොට ගොල් එක වටේට කට්ටිය පිරෙනව. අද වැස්ස හින්ද ඉන්නෙ ගෝලියි මමයි රෙෆ්රි හිටපු ජයනාත් අයියයි විතරයි. මොකද කරන්නෙ? බෝලෙ ටිකක් උස්සල දැලට වැටෙන්න ගැහුවනම් පාර ලස්සනයි. ඒත් බැරිවෙලා හරි දැලට උඩින් ගියොත්, පැත්තෙන් එළියට ගියොත්. මේකෙ ස්කෝර් කළොත් පස්වෙන පෙනල්ටිය ගහන්නත් ඕන නෑ. අපි දිනුම්. මං තීරණයක් ගත්ත. මේ මොරසූරන වැස්සෙ වැඩදාන්න ගිහිං වරද්දගන්නෙ මොකටද? අනික බලාගෙන ඉන්න අය ඉන්නෙ ඈත. මම සන්සුන්ව අඩි තුන තියල ගෝලෙ වම්පැත්තෙ කෙළවර ඉලක්ක කරල බෝලෙට බිමදිගේ පාරක් දුන්න. ලිස්සුවෙ නෑ. පාර හොඳට වැදුන.
විසිල් එකත් එක්ක ජයනාත් අයිය අත ඉස්සුව.

"ගෝල්"

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2002, 17න් පහළ පාපන්දු ශූරතාවය වළවේ නිවාසය.

2008
--------
වැස්ස එන්න එන්නම් වැඩි වෙනව. අපි හිටියෙ කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට රීඩ් මාවතේ තිබුණ බස් හෝල්ට් එකේ ඉඳගන්න තිබුණ සීට් උඩ හිටගෙන වහළෙ එල්ලිලා. අපි කිව්වෙ මායි අමිලයි චතුර අයියයි. කැම්පස් එකෙන් පිටත් වෙනකොට වහින්න ඔන්න මෙන්න තිබුණත් වැස්සට ඉස්සර බස් එකකට ගොඩවෙන්න පුළුවන් වෙයි කියල අපි හිතුව. ඒත් ගේට්ටුවෙන් එළියට එනකොටම වහින්න පටන්ගත්ත. රීඩ් මාවතේ බස් හෝල්ට් එක ගාවට එනකොට තවත් යන්න බැරි තරමට වහිනව. අපි බස් එකට නගින්න පාර පැනල කොලේජ් හවුස් එක ගාව තියන හෝල්ට් එකට යන්න ඕන. තව මීටර් එකසිය පනහක් විතර තියනව. දැන්නම් කොහොමටවත් යන්න බෑ.

අපි වැස්ස නවතිනකල් කියල හොල්ට් එකට රිංගුව. වැඩිය කවුරුත් නැති එක හොඳට ගියා. එන පොට හරියන් නෑ පුතෝ. මෙන්න වැස්ස එන්න එන්න වැඩි කරනව විතරක් නෙවෙයි වළලුකර ගාවට විතර වතුර. කැම්පස් කාලෙ නෑනෙ ඔය පුහු මාන්නය. තියන ඩිංගත් රැග් සීසන් එකේදි බිඳෙනව. ඕන එකක් කියල අපි තුන්දෙනාම ඉදගන්න හදල තියන සීට් උඩට නැගල අත්වලින් වහලෙ එල්ලුනා. වවුලගෙ ජීවිතේ කොච්චර දුක්බරද කියල අපිට තේරුණ දවස ඒක. අපි එකදිගට පැය දෙකක් විතර එහෙමම එල්ලිල හිටිය. වැස්සත් එක්ක අඩි එකහමාරක් විතර උඩට වතුර දැම්ම. ෆැකල්ටිය, පාර, ඊට එහා තිබුණ පිට්ටනිය වැටවල් නැත්නම් අඳුනගන්න බැරි වෙන තරමට එක යායට වැවක් වගේ වුණා. පස්සෙ වැස්සත් හිමින් හිමින් අඩුවෙන්න අඩුවෙන්න වතුරත් බහින්න පටන්ගත්ත. අපිට යාගන්න පුළුවන් තත්වයක් ආවේ පැය දෙකකට විතර පස්සෙ. එතකොට ඉතිං එල්ලිල හිටපු ඉරියව්වට සර්වාංගෙම රිදෙනව. අපි ඇදුම්කන උරපතු අතගගා හිමින් හිමින් කොලේජ් හවුස් එක පැත්තට ගාටන්න පටන් ගත්ත.

2009
-------
ඒ අවුරුද්දෙ වැස්සකාලෙ සෙට් වුණේ ස්ටඩි ලීව් එක මැදට. අපි හිටියෙ පුංචි බොරැල්ල කිත්‍යාකර නේවාසිකාගාරයෙ තිහේ කාමරේ. ඒක තිබුණෙ පළවෙනි තට්ටුවෙ හින්ද වැස්සෙන් ආබාධයක් නෑ. හැබැයි බිම්මහල සම්පූර්ණයෙන්ම වගේ යට වෙනව. බිම් මහලෙ කාමර වල ඉන්න අය තාවකාලිකව උඩ තට්ටුවල කාමරවලට එනව.

දනුෂ්කයි මමයි උදේම කොටුව ස්ටේෂන් එකට ගිහින් සරසවි උයනට ටිකට් දෙකක් ගත්ත. ඒ පේරාදෙණිය කැම්පස් එකේ හිටපු දනුවගෙ යාළුවෙක් හම්බ වෙන්න යන්න. විශේෂ හේතුවක් තිබු⁣ණට නෙවෙයි. අපි පේරෙ දැකල තිබුණෙත් නෑ. අනික ස්ටඩි ලීව් එක හින්දා ඔලුවත් මඥ්ඥං වීගෙන ඇවිල්ල තිබුණෙ. වෙනසක් කියන්නෙ දිව ඔසුවක්.

රාගම හරියට එනකොට අපි යන්නෙ මුහුද මැද නැවක වගෙ අමුතුම හැගීමක් එනව. මොකද පේන තෙක්මානෙ වතුරෙන් යටවෙලා. කෝච්චියත් හෙමින් හෙමින් වතුරෙන් යටවුණ වෙල්යාය මැදින් ඉදිරියට ඇදෙනව.

කරදරයක් නැතුව පේරෙට ගියා. හවස හතර වෙද්දි වගේ ආපහු එන්න පිටත් වුණා. යද්දි වගේ නෙවෙයි. එනකොට කෝච්චිය රාගමින් නැවැත්තුව. පාර වතුරෙන් යටවෙලා. ඉස්සරහට යන්නම බෑ. කෝච්චියෙන් බැහැල බස් එකක කඩවතට ඇවිත් තමයි 10විතර වෙනකොට ආපහු හොස්ටල් එකට යාගත්තෙ.

2010
--------
ඒ රම්බොඩ. පවුලෙ ට්‍රිප් එකක් ගියාම පාර අයිනෙ රොටියක් වත් හදාගෙන කන එක ඒ දවස්වල ඉඳන් අපේ සිරිතක්. කලින් පාර ට්‍රිප් එකේදි රොටී හැදුවෙ රම්බොඩ ඇල්ල ගාව පාලම උඩ. මේ පාරත් පිටි ගුලිය අනාගෙන ආවට මොකද නුවර එළියෙ ඉඳන්ම රම්බොඩට එනකල්ම තදටම වහිනව. රම්බොඩ ඇල්ල දිහා බලන්නත් බයයි.

ඒත් එහෙම කියල බෑනෙ. රොටී ආතල් එක ගන්නම ඕන ආතල් එකක්. අහම්බෙන් වගේ මට වහපු කඩේක පිලක් පෙනුණෙ දෙයියො පෙන්නුව වගේ. බිංගෙය ගාවටම ගිහින් මම යූ ටර්න් එකක් ගැහුව, ඒ පස්සෙන්ම කාර් එකේ හිටපු ජාලිය මාමත් යූ ටර්න් එකක් ගැහුව. ලක්ෂ්මන් බාප්ප යූ ටර්න් එක ගහද්දි කොහෙද ඉඳල වැස්සෙම පාරට පැනපු ට්‍රැෆික් පොලිස් කාර් එක නවත්තල දඩ කොළයක් දීල. කාල වරෙංකො. දැන් ඉතින් බාප්පට වෙනම රම්බොඩ එන්න වෙනව ඕක ගෙවන්න.

ඒකෙන් කමක් නෑ. සැලෙන්ඩ නරකයි මමයි චතුර මල්ලියි වැඩට බැස්ස. අප්පච්චියි ලක්ෂ්මන් බාප්පයි ජාලිය මාමයි අපේ නංගියි චතුරි නංගියි උදව් කළා. ඒකටත් එක්ක අම්මයි ලොකු පුංචි අම්මයි සමු නැන්දම්මයි කතාවෙලා වගේ එකම කාර් එකක පිටිපස්සෙ සීට් එකට නැගල හවුලෙ පුපුර පුපුර හිටිය. "මේ ළමයින්ට පිස්සුද? මේ රෑ වැස්සෙ රොටී පුච්චන්නෙ. ගෙදර ගිය ගමන් රොටී හදල දෙන්නම් ඇති තරම්. දැන් ඉක්මනට යමු" වගේ නෝක්කඩු කතාත් අතරින් පතර ඇහුණ. රොටී කෑමයි පාර අයිනෙ දබ වැස්ස දවසක රෑ රොටී හැදිල්ලෙ ආතල් එකයි අතර වෙන විශලේෂණය කර කර කාලෙ කන්න අපිට ඕන වුණේ නෑ.

ටක් ගාල පොඩි ගෑස් ලිප බාල ගින්දර පත්තු කළා. රොටී කබල රත්වෙන්න තියල පාං ලෑල්ල උඩ රොටී වැඩුව. වඩල රත්වෙච්ච තැටිය උඩට දැම්ම. එන සුවඳට නිකං රොටී ලෝකෙ තියන රසම කෑම වගේ.

රොටිය පිච්චීගෙන එනකොට අනිත් පැත්ත හරවන්න ඕන. මදෑ. හැන්ද කාර් එකේ. දැන් ඕක ගේන්න ගියොත් ආයෙත් මෙතන නවත්තගෙන විකාර කරනවයි කියල බැණුං අහගන්න වෙනව. මම වටපිට බැලුව. මේ ඉන්නෙ මගෙ දෙයියා. මහින්ද මහත්තයගෙ ඡන්ද පෝස්ටරයක් ගහල තිබුණෙ එතනම. නැත නැතුව ඒකෙන් කෑල්ලක් ඉරල අරන් රොටියට යටින් දාල අනිත් පැත්ත පෙරලුව. බාන්නත් ඒ ක්‍රමයම පාවිච්චි කෙරුව.

හැන්ද කාර් එකේ දාල ගියා නේද? කොහොමද රොටී බෑවෙ? රොටී ව්‍යාපෘතිය ඉවර වෙලා ආපහු යන්න කාර් එකට නගිනකොට අම්මහරි ලොකු පුංචි අම්මහරි ඇහුව. "ආ ඒව මහින්ද මහත්තය බාල දුන්නනෙ" මං ඇගට පතට නොදැනී කියල දැම්ම.

2013
--------
අපි හිටියෙ බණ්ඩාරවෙල තේ වත්තක් මැද. ගිණිගොඩ උඩ දැලක ඌරු මස් පිච්චෙනව. මමයි, අමිලයි, දනුෂ්කයි, හසිතයි අපේ අන්තිම ට්‍රිප් එක විදියට කෝච්චියෙ බණ්ඩාරවෙල ගියා. නවාතැන මුඩ්ඩා මල්ලිගෙ ගෙදර. වැල්ලාත් මගින් සෙට් වුණා. කොළඹ ඉඳන්ම තේවත්ත මැද ගිණිගොඩක් වටේට පුච්චපු උෟරු මසුයි කිතුල් රායි එක්ක ගෙවෙන රැයක් ගැන හීන මවාගෙන ගියත් හැන්දෑ වෙද්දි වැස්ස කඩාවැටුණ. අපි කාගෙත් මූණු නරක් වෙලා ති⁣බුණෙ.

එහෙම ඉද්දි හවස හයට විතර ආපහු වැස්ස පෑව්ව. මරු. හැබැයි පොළව තෙමිල. ඒකට කමක් නෑ. තේවත්ත මැද කන්ද උඩ පොඩි ටකරමක් උඩ ගඩොල් වලින් හදපු ආවරණයක් ඇතුලෙ අපේ ලිප හැදුව. ඒක දර වලින් අවුලවල ඒ උඩට ගල් අඟුරු දැම්ම. ඊටත් උඩින් කම්බි දැලක් දාල ඌරු මස් ඒක උඩ. එහෙම රැයක්! ඊ⁣ට පස්සෙ වැස්ස කරදර කළෙත් නෑ.

2019
-------
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආවෙ අවුරුදු දෙකකට පස්සෙ. වෙනද වගේ නෙමෙයි. ⁣පොත් ගන්නව ඇරෙන්න වෙනත් අරමුණු වලට ආපු අයගෙ බලාපොරොත්තු කඩවුණා. ඒකට හේතුව වැස්ස. එක ශාලාවකින්‍ අනෙකට යන්න බැරි තරමට වැස්ස. ඉක්මනට මට අවශ්‍ය කරන කඩ ටිකට ගිහින් අවශ්‍යයි කියල කල්ඇතිව හිතාගෙන හිටපු පොත් ටික අරන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ පිලිකන්නෙ වාඩිවෙලා තනියම බලාගෙන හිටියෙ මාත් එක්ක ගියපු අනිත් කාණ්ඩෙ ආපහු එනකල්.

කොළඹ අහස කළු කරගෙන කාලෙකින් දැකල නැති තරම් මොර සූරන වැස්ස වහිනව මං බලාගෙන. අනේ ඉතිං වැස්ස. අපි පොඩි කාලෙ ඉදන් වහිනව. අපිත් තෙමෙනව. ඒ වැස්සත් එක්ක බැඳුන මතයන් කොච්චර එකිනෙකට වෙනස්ද? අපි වැහි පහකට තෙමෙන්නෙ මිනිස්සු පස් දෙනෙක් විදියට. එක පාරක් වැස්සට තෙමුණ විදියට ඒ මනුස්සය විදියටම තව වැස්සකට තෙමෙන්න කාටවත් බෑ. අහුවුණ හැම වැස්සක්ම ජීවිතේ මොකක්හරි පොඩි මතකයක් සුවිශේෂී බවක් වත් ඉතුරු කරල ගිහින් තියනව. ඒකයි වැස්ස සුන්දර.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...